දබ්බ ස්ථවිරගාථා වර්ණනාව
“යො දුද්දමයො” යනු ආයුෂ්මත් දබ්බතෙරුන්ගේ ගාථාවකි. එහි උපත කෙසේද? මොහු ද පදුමුත්තර බුදුන් දවස හංසවතී නුවර එක් කුලවත් ගෙදරක ඉපිද වැඩිවිය පැමිණි සිටු පුත්‍රයෙක් විය. පෙර කී පරිදිම මහජනයා සමග ගොස් බණ අසන විට දිනක්, ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් සෙනසුන් පනවන්නවුන් අතුරින් අග තනතුරෙහි තබනු දැක, ඒ සඳහා මහා පින්කම් කරමින් එම තනතුර ම ප්‍රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේ වෙතින් ඊට නියත විවරණ ලබා දිවි ඇති තාක් කුසල් දහම් සිදුකොට, ඉන් චුතව දෙව් මිනිස් දෙගතියෙහි සැරිසරා, කාශ්‍යප සම්බුදුන්ගේ සසුන පිරිහී ගෙන යන කාලයෙහි පැවිදි විය. එකල්හි ඔහු සමග තවත් සයදෙනෙක් එකම සිතින් පැවිදි වූහ. එම සත් භික්‍ෂූහු සෙසු පැවිද්දන් විසින් බුදු සසුනට කරන අගෞරව දැක, “මෙහි වාසය කරන්නේ කුමකටද? ඒකාන්තයෙන්ම මහණ දම් කොට දුක් කෙළවර කරන්නෙමු”යි කතිකා කරගෙන, හිණිමඟක් බඳවා, ඉතා උස් වූ පර්වතයක් මුදුනට නැංගහ. තමාගේ චිත්තබලයන් දන්නා වූ උන්වහන්සේලා “හිණිමඟ බිමදමත්වා, ජීවත්වීමට ආශා ඇත්තෝ බසිත්වා පසුව පසු නොතැවී අප්‍රමාදී වන්නෝ සිටිත්වා”යි යනුවෙන් සියල්ලෝම එකම සිතක් ඇත්තෝ වූවාහු හිණිමඟ බිමට දැමූහ. “ඇවැත්නි!, අප්‍රමාදීවවු” යි ඔවුනොවුන්ට අවවාද දී තම තමන්ට, කැමති කැමති තැන්වල හිඳ මහණ දම් පිරීමට පටන් ගත්හ.
ඔවුන්ගෙන් එක් භික්‍ෂුවක් භාවනාව අරඹා දින පහකින් රහත් විය. “මාගේ කටයුතු නිමාවිය. මම මෙතැන හිඳ කුමක් කරන්නෙම්ද?” යි සෘද්ධියෙන් උතුරුකුරු දිවයිනට ගොස් පිණ්ඩපාතය කරගෙන වුත්, “ඇවැත්නි මේ පිණ්ඩපාතය වළඳවු. පිඬුසිඟා යෑම මා හට ම වේවා, නුඹලා මහණ දම් පුරව”යි උන්වහන්සේ සෙසු භික්‍ෂූන්ට පැවසූහ. එවිට අන්‍ය භික්‍ෂූහු, “ඇවැත්නි, අපි හිණිමඟ පහත දමන විට මෙසේ කථා කර ගත්තෙමුද? “යමෙක් පළමුව ධර්මය සාක්‍ෂාත් කරගනියි ද ඔහු ආහාර (භික්‍ෂාව) ගෙනේවා! ඔහු ගෙනා දෙය සෙසු අය අනුභව කොට මහණදම් කරන්නෝය” යනුවෙන් සාකච්ඡාවක් කරන ලද ද?” යි රහතන් වහන්සේගෙන් ඇසූහ. එවිට උන්වහන්සේ “ඇවැත්නි, එබඳු සම්මුතියක් නොවීය” යි වදාළහ. එවිට එම භික්‍ෂූහු “නුඹ වහන්සේ පෙර පින් බලයෙන් (හේතු සම්පත් අනුව) රහත් වූහ. අපි ද කෙසේ හෝ උත්සාහ කර දුක් කෙළවර කරන්නෙමු. නුඹ දැන් පිටත්ව යන්න”යි පැවසූහ. රහතන් වහන්සේ ඔවුන්ට ආහාර දීමට නොහැකි වූ බැවින්, පහසු තැනක හිඳ පිණ්ඩපාතය වළඳා පිටත වැඩියහ. ඉතිරි භික්‍ෂූන් සදෙනාගෙන් එක් භික්‍ෂුවක් සත්වන දිනයේදී අනාගාමී ඵලයට පත්ව, ඉන් චුත වී සුද්ධාවාස බඹලොව උපන්නේය. ඉතිරි තෙරවරු ඉන් චුතවූවාහු එක් බුද්ධාන්තරයක් දෙව් මිනිසුන් අතර සැරිසරා, ඒ ඒ කුලවල උපන්හ. එම පස්දෙනාගෙන් අයෙක් ගන්‍ධාර රටෙහි තක්සිලා නුවර රජගෙයි උපන්නාහ. තව කෙනෙක් බාහිය රටෙහි කෙළෙඹි පුත්‍රයකුගේ පවුලෙහි උපන්හ. තව කෙනෙක් රජගහ නුවර සිටු පවුලක උපන්නේය. සිවුවැන්නා මජ්ඣන්තික රටෙහි පරිබ්‍රාජිකාවකගේ කුසෙහි උපන්නේය.
පස්වැනි මේ දබ්බ තෙරණුවෝ මල්ල රට, අනුපිය නම් නුවර එක් මල්ල රජකෙනෙකුගේ ගෙදර පිළිසිඳ ගත්හ. උන්වහන්සේගේ මව, ළංවූ ප්‍රසූති ඇත්තී කළුරිය කළාය. මළ සිරුර සොහොනට ගෙන ගොස් දරසෑයට නංවා ගිනි තැබූහ. ඇගේ උදර පටලය ගින්නෙන් ඉතා රත් වී දෙකට පැලුණි. දරුවා ඔහුගේම පුණ්‍ය බලය නිසා උඩ පැන, එක් තෘණ පඳුරක් මත වැටුණේය. සොහොන් ගිනි ලන්නෝ එය දැක එම දරුවා ගෙන සිටු මවුට (ආත්තම්මාට) දුන්හ. ඇය ඔහුට නම් තබන්නී, තණ පඳුරේ වැටී දිවිලද බැවින් “දබ්බ” යන නම තැබුවාය. ඒ දබ්බ කුමරුට සත් අවුරුදු කාලයේදී අපගේ ශාස්තෲන් වහන්සේ බික් සඟන පිරිවරාගෙන මල්ල රටෙහි චාරිකාවේ හැසිරෙමින් වැඩමවා අනුපිය අඹ වනයේ විසූ සේක. දබ්බ කුමරු ශාස්තෲන් වහන්සේ දුටු පමණින්ම පැහැදී පැවිදි වනු කැමතිව, “මම දසබලයන් වහන්සේගේ සමීපයේ පැවිදි වන්නෙමි”යි ආත්තම්මාට කියා ඇයගෙන් “දරුව, යහපත”යි අවසර ලැබුවේය. ඇය කුමරා ගෙන ශාස්තෲන් වහන්සේ ළඟට ගොස්, “ස්වාමීනි, මේ කුමරා පැවිදි කළ මැනව”යි කීවාය. ශාස්තෲන් වහන්සේ එක්තරා භික්‍ෂුවකට “මහණ, මේ දරුවා පැවිදි කරව”යි පැවරූ සේක. ඒ තෙරුන් වහන්සේ ශාස්තෲන් වහන්සේගේ වචනය පිළිගෙන දබ්බ කුමරු පැවිදි කරවමින් තච පංචක කමටහන ලබා දුන්නේය. පෙර හේතු සම්පත් ඇති කරන ලද ප්‍රාර්ථනා ඇති එකුමරු පළමු කෙස් වැටිය කපද්දීම සෝවාන් ඵලයෙහි පිහිටියේය. දෙවැනි කෙස් වැටිය කපන විට සකෘදාගාමී ඵලයෙහි ද තෙවෙනි කෙස් වැටිය කපන විට අනාගාමී ඵලයෙහි ද පිහිටි එකුමරුට, සියලු කෙස් ගා දැමීමත්, රහත් බවට පත්වීමත් පෙර පසු නොවී එක් විටම සිදුවිය. ශාස්තෲන් වහන්සේ මල්ල රටෙහි කැමති තාක් කල් වැස, නැවත රජගහ නුවරට වැඩමවා වේළුවනාරාමයෙහි වාසය කළ සේක.
එකල්හි ආයුෂ්මත් දබ්බ මල්ලපුත්‍ර තෙරණුවෝ හුදෙකලාව වූ විටක තමා විසින් කළ යුතු කටයුතු නිම වූ බව දැක, සංඝයාට වතාවත් කිරීමෙහි සිය කය යොදවනු කැමතිව මෙසේ සිතූ සේක. “මම සංඝයාට සෙනසුන් පැනවීමෙහි ද සඟ බත් නියම කිරීමෙහි ද යෙදෙන්නේ නම් මැනවි” යි යනුවෙනි. උන්වහන්සේ ශාස්තෲන් සමීපයට ගොස් තමන්ගේ සිතුවිල්ල දැන් වූ සේක. ශාස්තෲන් වහන්සේ ඔහුට සාධුකාර දී සෙනසුන් පැනවීමෙහි ද සඟබත් නියම කිරීමෙහිද යෙදීමට පවරාදුන් සේක. ඉක්බිති “මේ දබ්බ ඉතා ළදරුවෙකු වුවත් මහත් වූ ස්ථානයක හිඳියි” යනුවෙන් පැවසූ තථාගතයන් වහන්සේ, දබ්බ තෙරුන් සත් හැවිරිදි වියේදීම උපසම්පදා කළ සේක. දබ්බ තෙරණුවෝ උපසම්පදා කළ දිනයේ සිටම රජගහ නුවර වසන සියලු භික්‍ෂූන්ට සේනාසන පනවන සේක. සඟබත් ද නියම කරන සේක. උන්වහන්සේ සෙනසුන් පනවන බව සෑම දිසාවෙහි ම ප්‍රකට විය. දබ්බ මල්ලපුත්ත තෙරණුවෝ සමාන අදහස් ඇති භික්‍ෂූන්ට එක තැන අසුන් පනවති. සමීපව ද දුරින් ද සෙනසුන් පනවති. යෑමට අසමත් භික්‍ෂූහු සෘද්ධියෙන් රැගෙන යති.