පුණ්ණ ස්ථවිරගාථා වර්ණනාව
“සබ්භිරෙව සමාසෙථා” යනාදී ආයුෂ්මත් පුණ්ණ තෙරුන්ගේ ගාථාවෙහි උත්පත්තිය කෙසේද? උන්වහන්සේ ද පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙරදීම හංසවතී නුවර බමුණු මහසල් කුලයක ඉපිද, අනුක්රමයෙන් වැඩිවියට පැමිණියේය. ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ පසුව, එක් දිනක් බුදුරජාණන් වහන්සේ ධර්මදේශනා පවත්වන සමයේ පෙර කී පරිද්දෙන්ම මහජනයා සමග විහාරයට ගොස්, පිරිස් කෙළවර හිඳ බණ අසමින් සිටියේය. ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් ධර්ම කථික භික්ෂූන් අතුරින් අග්රස්ථානයෙහි තබනු දුටු එම බමුණා “අනාගතයේ මවිසින් ද මෙසේ වූ අගතනතුරක් ලැබීම සුදුසුයැ” යි සිතා, දේශනාව අවසානයේ පිරිස නැගී සිටි කල්හි ශාස්තෲන් වහන්සේ වෙත එළඹියේය. පැමිණ ඉහත කියන ලද පරිදිම සත්දිනක් දානය සඳහා ආරාධනා කර, බුද්ධ ප්රමුඛ මහා සංඝයාට මහදන් පවත්වා අනතුරුව භාග්යවතුන් වහන්සේට මෙසේ පැවසීය. “ස්වාමීනි මම මේ මහා පුණ්ය කර්මයෙන් වෙනත් සැපතක් නොපතමි. මින් සත් දිනකට පෙර ධර්ම කථිකයන් අතුරින් අගතැන්පත් භික්ෂුව මෙන් මම ද අනාගතයේ එක් බුදු සසුනක ධර්ම කථික භික්ෂූන් අතුරින් අග්ර වන්නේ නම් මැනවි” යි යනුවෙනි. මෙසේ පතන ලද ඔහුගේ අනාගතය බැලූ ශාස්තෲන් වහන්සේ එම පැතුම ඉටුවන බව දුටු සේක. “අනාගතයේදී මින් කල්ප ලක්ෂයකට පසුව ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන සේක. නුඹ උන්වහන්සේගේ සසුනෙහි පැවිදි භාවය ලබා ධර්මකථික භික්ෂූන් අතුරින් අග තනතුර ලබන්නෙහිය” යනුවෙන් පදුමුත්තර බුදුරජාණෝ නියත විවරණ ලබාදුන් සේක.
එම බමුණා දිවි ඇතිතාක් යහපත් කටයුතු කරමින් සිට, ඉන් චුතව කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පුණ්ය සම්භාර ධර්මයන් රැස් කරමින් දෙව් මිනිස් දෙගතියෙහි හැසිර අපගේ භාග්යවතුන් වහන්සේ පහළ වූ කාලයෙහි, කපිලවත්ථු නගරය සමීපයේ ‘ද්රෝණ වත්ථු’ නම් එක් බමුණු ගමක බමුණු මහසල් කුලයක අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ බෑණා වී උපන්නේය. ඔහුට නම් තබන දිනයේ “පුණ්ණ” යැයි නම් කළහ. ඔහු පසුව අප ශාස්තෲන් වහන්සේ සම්බුද්ධත්වයට පැමිණ පවත්වන ලද උතුම් දම්සක් දෙසුම් ඇතිව, අනුපිළිවෙලින් රජගහ නුවරට වැඩමවා එහි වාසය කරන කාලයෙහි දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ තෙරුන්ගේ සමීපයේ පැවිදිව උපසපන් බව ලබා ගත්තේය. ප්රධාන වීර්යයෙහි යෙදුණු උන්වහන්සේ සියලු කටයුතු නිමවා පැවිදිබවේ කටයුතු මස්තක ප්රාප්ත කරගත් සේක් “දස බලයෙන් වහන්සේගේ සමීපයට යන්නෙමි යි මාමා වූ තෙරුන් සමග ශාස්තෲ වහන්සේ සමීපයට නො ගොස්, කපිලවත්ථු නුවර (හාත්පස) සමීපයේ නැවතී නුවණැස මෙහෙයවා කටයුතු කරන සේක් නොබෝ දිනයකින්ම විදර්ශනාව වඩා රහත්බවට පත්වූ සේක. මෙය අපාදන පාළියෙහි මෙලෙසින් ගාථාවලින් කියන ලද්දේය. එහි සිංහලාර්ථ පහත දැක්වේ. (අපදාන පාළි I පුණ්ණත්ථෙරාපදාන)
“වේද උගන්වන, මන්ත්රධර වූ වේදත්රයෙහි පරතෙරට ගියා වූ මම, ශිෂ්යයන් විසින් පිරිවරාගෙන මනුෂ්යයන්ට උතුම් වූ බුදුරජාණන් වහන්සේ වෙතට ගියෙමි.
පුදසත්කාර පිළිගැනීමට සුදුසු වූ තුන් ලොව මැනවින් දත් මහා මුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඉතා සංක්ෂිප්තව මාගේ ධර්මය වදාළ සේක.
මම ඒ ධර්මය අසා බුදුරජාණන් වහන්සේට ඇඳිලි බැඳ, දකුණු දිගට මුහුණ ලා පැදකුණු කර ගියෙමි.
සංක්ෂිප්තව ඇසූ ධර්මය විස්තර කර ප්රකාශ කළෙමි. එම මාගේ වචන ඇසූ සියලු ශිෂ්යයෝ සතුටු වූහ.
ඔවුහු තම දෘෂ්ටීන් අත්හැර බුදුන් කෙරෙහි සිත පහදවා ගත්හ. මම සංක්ෂිප්තව ද විස්තර වශයෙන් ද ධර්මය දෙසුවෙමි.
අභිධර්ම ක්රම දන්නා වූ මම දශ කථා වස්තුවෙන් විශුද්ධීන් පිළිබඳව සියල්ලන්ටම අවබෝධ කරවා ආශ්රව රහිතව වෙසෙමි.
මම මීට කල්ප පන්සීයකට පෙර සිවු මහා දිවයින්හි ම අධිපති වූ, සත් රුවනින් හෙබියා වූ “සුප්පකාසක” නම් සක්විති රජවරු සිවු දෙනෙක්ව ඉපදුණෙමි.
සිව්පිළිසිඹියාවෝ ද අෂ්ට විමෝක්ෂයෝ ද ෂඩ් අභිඥාවෝ ද මවිසින් සාක්ෂාත් කරන ලද්දෙමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කළෙමි.” (438-445)
ඒ පුණ්ණ තෙරුන් සමීපයේ පැවිදි වූ කුල පුත්රයෝ පන්සීයක් වූහ. තෙරුන්වහන්සේ තමා ම දස කථා වස්තූන් ලබන ලද බැවින් ඔවුන්ට ද දශ විධ කථා වස්තුවෙන් අවවාද දුන්හ. ඔවුහු එම අවවාදයෙහි පිහිටා ක්රියා කළාහු සියල්ලෝ ම රහත් බවට පත්වූහ. ඔවුහු තමාගේ පැවිදි කිස මස්තක ප්රාප්ත වූ බව දැන උපාධ්යායන් වහන්සේ වෙත පැමිණ “ස්වාමීනි, අපගේ කටයුතු මස්තක ප්රාප්ත විය. දශවිධ කථා වස්තුව ද ලබන ලදහ. අපට දැන් දශ බලයන් වහන්සේ බැලීමට යෑමට සුදුසු කාලයයි.” යනුවෙන් පැවසූහ. තෙරුන් වහන්සේ ඔවුන්ගේ වචන අසා සිතූ සේක. “මගේ දශවිධ කථා වස්තු ලාභීත්වය ශාස්තෲන් වහන්සේ ද දන්නා සේක. මම දහම් දෙසන විට දශවිධ කථා වස්තුවෙන් බැහැර නොවීම ධර්මය දේශනා කරමි. ඉදින් මා බුදුන් වෙත යන්නේ නම් එකල්හි සියලු භික්ෂූහු මා පසුපස එති. මෙසේ සමූහ පිරිවරක් ගෙන මගේ දශබලයන් වහන්සේ දැකීමට යෑම නුසුදුසුය. මෙම භික්ෂූන් පළමුව ගොස් බුදුහු දකිත්වා”යි යනුවෙනි. මෙසේ සිතා එම භික්ෂූන්ට මෙසේ වදාළහ. “ඇවැත්නි, නුඹ වහන්සේලා පළමුව ගොස් තථාගතයන් වහන්සේ බැහැදකිවු. මගේ වචනයෙන් ද උන්වහන්සේගේ ශ්රී පාදය වඳිවු. මම ද නුඹලා ගිය මගින්ම පසුව එන්නෙමි” යනුවෙනි. දස බලයන් වහන්සේ උපන් රට වැසියෝ වූ ඒ සියලුම තෙරවරු, සැමදෙනම රහත්වූවාහු, දශකථා වස්තුලාභී වූවාහු තම උපාධ්යායන් වහන්සේගේ අවවාදය පිළිගෙන තෙරුන්ට වැඳ රජගහනුවර බලා පිටත් වූහ. එම තෙරවරු අනුපිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙමින් සැට යොදුන් මඟ ගෙවා රජගහනුවර වේළුවනාරාම මහා විහාරයට පැමිණ, දස බලයන් වහන්සේගේ පා වැඳ එකත් පසෙක සිටියහ.
“භාග්යවත් වූ බුදුවරයන් වහන්සේලාගේ බොහෝ කලක පටන් පුරුදු කළ සිරිතක් නම් ආගන්තුකව එන භික්ෂූන් වහන්සේලා සමඟ පිළිසඳර කථා පැවැත්වීමයි” යන පරිදි භාග්යවතුන් වහන්සේ ඒ භික්ෂූන් සමඟ “මහණෙනි! නුඹලාට ඉවසිය හැකිද? යැපිය හැකිද?” ආදී වශයෙන් ප්රිය වූ අයුරින් පිළිසඳර කථාව කළ සේක. “මහණෙනි! නුඹලා කොහි සිට පැමිණියාහුද? යි විචාළ සේක. උන්වහන්සේලා “ස්වාමීනි, ජාතිභූමියෙහි සිට” යැයි පැවසූහ. එවිට බුදුපියාණන් වහන්සේ, “මහණෙනි! ජාති භූමියෙහි ජාති භූමක වූ සබ්රහ්මචාරී භික්ෂූන්ගෙන් කවරෙක් නම් තමාද අල්පේච්ඡ වූයේ භික්ෂූන්ට ද අල්පේච්ඡබවෙහි ගුණ කියන්නේ වේද? එබඳු කවර භික්ෂුවක් නුඹලා විසින් මැනවින් ඇසුරු කරන ලද්දේ ද?” විමසූ සේක. (ම.නි.I රථ විනීත සූත්රය) මෙසේ දශවිධ කථාවස්තු ලාභී භික්ෂුවක් පිළිබඳ විමසූ විට, ඒ තෙරවරු, “ස්වාමීනි! මන්තානි බැමිණිපුත්ර පුණ්ණ ආයුෂ්මතුන් වහන්සේ මෙවැනි හැකියාවලින් පිරිපුන් වූ සේක. අප විසින් උන්වහන්සේ මැනවින් ඇසුරු කරන ලදහ”යි දැනුම් දුන්හ. මෙම කථාව අසා සිටි ආයුෂ්මත් සැරියුත් මහ තෙරණුවෝ පුණ්ණ හිමියන් දකිනු කැමති වූහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ රජගහ නුවරින් සැවැත් නුවරට වැඩියහ. පුණ්ණ හිමියෝ ද “තථාගතයෝ සැවැත්නුවර වසති” යි අසා දස බලයන් වහන්සේ දකිනු කැමති ව අවුත්, තථාගතයන් වසන ගඳකිළිය තුළට ම පිවිසියහ. ශාස්තෲන් වහන්සේ ද එ හිමියන්ට දහම් දෙසූ සේක. තෙරුන් වහන්සේ ධර්මය අසා, දස බලයන් වහන්සේට වැඳ, විවේකී වාසය සඳහා අන්ධවනයට ගොස් එක්තරා රුක් මුලක දිවා විහරණයෙන් හුන්සේක.