කඞ්ඛාරේවත ස්ථවිරගාථා වර්ණනාව
“පඤ්ඤං ඉමං පස්ස” යනු ආයුෂ්මත් කංඛාරේවත තෙරුන්ගේ ගාථාවයි. මේ ගාථාවෙහි උප්පත්තිය කෙසේද? මෙම තෙරුන් වහන්සේ ද පදුමුත්තර භාග්යවතුන් වහන්සේ පහළ වූ සමයෙහි හංසවතී නුවර බමුණු මහසල් කුලයක ඉපදුණහ. එක් දිනක් බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව ඇසීමට ඉහත කථා පුවත්පත් පැවසූ පරිදිම, මෙම බමුණා ද මහජනයා සමග විහාරයට ගොස්, පිරිස් කෙළවර හිඳ බණ ඇසුවේය. ශාස්තෲන් වහන්සේ එක් භික්ෂුවක් ධ්යානයන්හි ඇලුණු භික්ෂූන් අතුරින් අග තනතුරෙහි තබනු දුටු ඔහු “මම ද අනාගතයේ මෙවැනිම තනතුරක් ලැබීම සුදුසු”යි සිතා දේශනාව අවසන්හි ශාස්තෲන් වහන්සේට හෙට දින දානය සඳහා ඇරයුම් කළේය. පෙර කී පරිදිම මහත් සත්කාර කිරීමෙන් අනතුරුව භාග්යවතුන් වහන්සේට වැඳ මෙසේ පවසමින්, “ස්වාමීනි, මම මේ මහා පින්කම සිදු කිරීමෙන් අනික් කිසිදු සම්පත්තියක් නොපතමි. මින් සත් දිනකට පෙර, නුඹ වහන්සේ විසින් අගතනතුරෙහි පිහිට වූ භික්ෂුව මෙන් මම ද අනාගත බුදුවරයන් වහන්සේ කෙනෙකු හමුවේදී ධ්යානලාභී භික්ෂූන් වහන්සේලා අතුරින් අග්ර වන්නේ නම් මැනවි” යි ප්රාර්ථනා කළේය. ශාස්තෲන් වහන්සේ අනාගතය බලා, එම පැතුම ඉටුවන බව දුටු සේක්,” අනාගතයේ මින් කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ලොව උපදින සේක. උන්වහන්සේගේ සසුනෙහි ධ්යානලාභීන් අතුරින් නුඹ අග්ර වන්නේයැ”යි විවරණ දී විහාරයට වැඩි සේක.
ඒ බමුණා දිවිතාක් කුසල දහම් වඩා කල්ප ලක්ෂයක් දෙව් මිනිසුන් අතර සැරි සරා අපගේ භාග්යවතුන් වහන්සේ ලොව පහළ වූ කල්හි සැවැත් නුවර එක් මහා සැප සම්පත් ඇති පවුලක උපන්නේය. දිනක් ඔහු පසු බත් කල බණ ඇසීමට යන මහජනයා සමග විහාරයට ගොස් පිරිස් කෙළවර සිට, දස බලයන් වහන්සේගේ දහම් කථාව අසා තබන ලද ශ්රද්ධා ඇතිව, පැවිදිව උපසපන් බව ලැබීය. කමටහන් ගෙන ධ්යාන පරිකර්ම කරනුයේ ධ්යානලාභීව එම ධ්යානය ම පාදක කරගෙන රහත් බවට පත්වූ උන්වහන්සේ, බොහෝ සෙයින් දස බලයන් වහන්සේ විසින් සමවැදිය යුතු සමාපත්තිවලට සමවදිමින් දිවා රෑ සෑම වේලාවෙහිම ධ්යානයන් පුරුදු කරන ලදුව ඒ පිළිබඳ වශීකරණභාවයට (නිපුණතාවයට) පැමිණියහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ “මහණෙනි! මගේ ශ්රාවක භික්ෂූන්ගෙන් ධ්යානලාභීන් අතරින් මේ කඞ්ඛාරේවත තෙරණුවෝම අග්රවෙති”යි උන්වහන්සේ ධ්යානලාභීන් අතුරින් අග තනතුරෙහි තැබූ සේක. මෙය අපදානයේ මේ අයුරින් විස්තර වේ. අපදාන පාළියේ පාළි ගාථාවෙන් ඇති එම විස්තරයේ සිංහලාර්ථය මෙසේය. (අපදාන කඞ්ඛාරේවත ත්ථෙරාපදානය)
“මෙයින් කල්ප ලක්ෂයකට පෙර, සියලු ධර්මයන් පිළිබඳ විනිවිද දකින නුවණැස් ඇති ලෝකනායක වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක.
උන්වහන්සේට සිංහයෙකුගේ බඳු පිරුණු හණු ඇත්තේය. අට අංගයන්ගෙන් සමන්විත බ්රහ්ම ස්වර ඇති උන්වහන්සේට හංස බෙර හඬ වූ හඬක් ඇත්තේය. හස්තියෙකුගේ ගමනට බඳු ගමන් විලාස ඇත්තේය. සඳහිරු දෙනෙතට වඩා බබළන පැහැ ඇති සේක.
උන්වහන්සේ මහ නුවණැති සේක. මහාවීර්යවන්ත වූ සේක. මහත් ධ්යාන ඇති සේක. මහත් වූ බල ඇති සේක. මහාකාරුණිකයහ. අනාථයනට නාථ වන සේක. මහත් වූ මෝහාන්ධකාරය නසන සේක.
සත්ත්වයන්ගේ ආසයානුශය දන්නා වූ, තුන් ලොවට අග්ර වූ මොනෙය්ය ගුණයෙන් පිරුණු ඒ සම්බුදුරජාණන් වහන්සේ කිසි කලෙක බොහෝ හික්මෙන ජනයා, හික්මවමින් දහම් දෙසූ සේක.
ඒ බුදුරජ ධ්යාන කරන සුලු වූ ධ්යානයෙහි ඇලුනා වූ උපශාන්ත වූ නොකැළඹුනා වූ වීර වූ ශ්රාවකයෙකු පිරිස් මැදදී ධ්යානලාභීන්ට අග්ර යැයි වර්ණනා කරමින් ජන සමූහයා සතුටු කළ සේක.” (6056-6060)
“එකල මම හංසවතී නුවර උපන් වේද පාරගත බමුණෙක් වීමි. එම ධර්ම දේශනාව අසා සතුටු වූ මම එම අගතනතුරම පැතුවෙමි.
එවිට විශිෂ්ට නායක වූ බුදුරජාණන් වහන්සේ සඟමැද වැඩ හිඳ, “බමුණ, නුඹ සතුටුවන්නෙහිය. නුඹගේ ප්රාර්ථනාව ඉටු වන්නේය”යි වදාළ සේක.
“මෙයින් කල්ප ලක්ෂයකට පසුව ඔක්කාක කුලයේ උපදින, නමින් “ගෞතම” නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වූ කල්හි උන්වහන්සේගේ ධර්ම දායාද කරගත්, ධර්මයෙන් නිර්මිත වූවක් වැනි ඖරස පුත්ර “රේවත” නම් වූ ශ්රාවකයා වනුයේ නුඹයි.” (මෙසේ වදාරා බුදුපියාණන් වහන්සේ වැඩි සේක.)
මනාව රැස් කරන ලද පුණ්ය සම්භාර ධර්මය ද උසස් ප්රාර්ථනාව ද නිසා මම මිනිස් සිරුර හැර දමා තව්තිසාවෙහි ඉපදුනෙමි.
අවසන් භාවයට පැමිණි මම කෝලිය නගරයේ කුලවත් වූ සමෘද්ධ වූ සම්පූර්ණ වූ මහත් ධන ඇති ක්ෂත්රිය වංශයෙහි උපන්නෙමි.
බුදුරජාණන් වහන්සේ කපිලවස්තු නගරයට වැඩම කර දම්දෙසූ අවස්ථාවෙහි උන්වහන්සේ කෙරෙහි පැහැදුනු මම අනගාරික නම් වූ පැවිද්දට පැමිණියෙමි.
ඒ ඒ තැන්වල කැප, අකැප දෙය පිළිබඳව පැවති මාගේ බලවත් සැකය දහම් දෙසීම මගින් බුදුරජාණන් වහන්සේ දුරු කළ සේක.” (6061-6068)
“අනතුරුව මම තරණය කළ සංසාර සාගරය ඇතිව, සැම කල්හි ධ්යාන සුවයෙහිම ඇලී වාසය කළෙමි. මෙසේ වසන මා දුටු බුදුපියාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ධ්යාන කරන්නා වූ කෙලෙස් තවන වීර්යය ඇත්තා වූ බඹසරහි හැසිරෙන්නා වූ පුද්ගලයා; මෙලොව හෝ පරලොව හෝ පිළිබඳ ඇතිවන සැක සංකා සියල්ලම තමන්ගේම හෝ අනුන්ගේ නුවණින් දුරු කරන්නේමය.”