මහාකොට්ඨිත ස්ථවිරගාථා වර්ණනාව
“උපසන්තො” ආදී ගාථාව ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරුන් වහන්සේගේ ගාථාවකි. එහි උපත කෙසේද? මේ තෙරුන් වහන්සේ ද පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේගේ කාලයෙහි හංසවතී නම් නුවර මහත් වූ භෝග සම්පත් ඇති කුලයක ඉපිද, වැඩිවිය පැමිණ මවුපිය දෙදෙනාගේ ඇවෑමෙන් විවාහ වී ගෘහ වාසයෙහි වසයි. හේ එක් දිනක් පදුමුත්තර භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා පවත්වන කාලයේ හංසවතී නුවර වැසියන් සුවඳ මල් ආදිය ගත් අත් ඇතිව බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් වෙත එළඹෙනු දැක, ඔවුන් සමඟ විහාරයට ගියේය. ශාස්තෲන් වහන්සේ එක් භික්‍ෂුවක් සිවුපිළිසිඹියා පත් රහතන් වහන්සේලා අතරින් අග්‍රභාවයෙහි තබනු දැක ඔහුට “මේ භික්‍ෂුව මේ බුදු සසුනෙහි පිළිසිඹියාපත් තෙරවරු අතරින් අග්‍ර විය. මමත් අනාගතයේ පහළවන බුදුරජාණන් වහන්සේ නමකගේ සසුනෙහි පිළිසිඹියාපත් තෙරවරුන්ගෙන් අග්‍ර වන්නේ නම් මැනවැ”යි යන සිත ඇතිවිය. මෙසේ පහළ වූ සිත් ඇති ඔහු ශාස්තෲන් වහන්සේගේ ධර්ම දේශනාව නිමාවට පත් වූ කල්හි උන්වහන්සේ සමීපයට ගොස්, “ස්වාමීනි! හෙට මගේ දානය පිළිගනීවා”යි ආරාධනා කළේය. ශාස්තෲන් වහන්සේ ඇරයුම පිළිගත් සේක. ඔහු භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට, තම නිවසට ගොස් රාත්‍රිය මුළුල්ලෙහිම බුදුරජාණන් වහන්සේට ද භික්‍ෂූන් වහන්සේලා ද වැඩ හිඳින තැන් සුවඳ මල් දම් ආදියෙන් අලංකාර කොට, ප්‍රණීත වූ කන-බොන-ආහාර පාන පිළියෙල කරවීය. ඒ රාත්‍රිය ඇවෑමෙන් සිය නිවසෙහි භික්‍ෂූන් වහන්සේලා ලක්‍ෂයක් පිරිවරාගත් භාග්‍යවතුන් වහන්සේට විවිධ වූ කැඳ බත් කැවිලි ආදියෙන් සහ නානා රසවත් සූප ව්‍යඤ්ජන, සුවඳ හැල් බතින් වළඳවා, උන්වහන්සේලාට වළඳා නිම වූ කල්හි ඔහුට මෙසේ සිතුණේය. “මම ඉතා මහත් වූ තනතුරක් ප්‍රාර්ථනා කරමි. එක් දිනක් පමණක් දන් දී එම තනතුර පැතීම මට තරම් නොවේ. අනුපිළිවෙලින් සත් දිනක් මහ දන් පවත්වා සත්වන දින දන් වැළඳූ බුදුරජාණන් වහන්සේගේ පාමුල, වස්ත්‍ර භාණ්ඩාගාරය හැර තුන් සිවුරට ප්‍රමාණවත් උතුම් සියුම් වස්ත්‍රයක් තැබුවේය. ලක්‍ෂයක් භික්‍ෂූන්ට ද තුන් සිවුරු පිදීය. අනතුරුව තථාගතයන් වහන්සේ වෙත එළඹ “ස්වාමීනි! නුඹ වහන්සේ විසින් මීට සත් දිනකට පෙර අගතනතුරෙහි පිහිට වූ භික්‍ෂුව මෙන් මම ද අනාගතයේ පහළ වන බුදුරජාණන් වහන්සේ කෙනෙකුන්ගේ සස්නෙහි පැවිදිව සිවුපිළිසිඹියා පත් භික්‍ෂූන් අතුරින් අග්‍රවේවා!”යි පතමින් ශාස්තෲන් වහන්සේගේ පාමුල හොත්තේය. ශාස්තෲන් වහන්සේ ද ඔහුගේ පැතුම ඉටුවන බව දුටු සේක්, “මෙයින් කල්ප ලක්‍ෂයක් ගත වූ පසු අනාගතයෙහි ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ලොව උපදින සේක. උන්වහන්සේගේ සසුනෙහි දී නුඹගේ පැතුම ඉටු වන්නේයැ”යි වදාළ සේක. මෙය අපදානයෙහි ද ගාථාවලින් ප්‍රකාශිතය. (එහි සිංහලාර්ථය මෙසේය.) (අපදාන - II - කොට්ඨිත ථෙරාපදාන - බු.ජ.ත්‍රි. - පිටුව 326).
“පසැස් ඇති සියලු ලෝක පිළිබඳ තත්වාකාරයෙන් දත්තා වූ පස් මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ මින් කල්ප ලක්‍ෂයකට පෙරදී ලොව පහළ වූ සේක.
සියලු සතුනට අවවාද කරන්නා වූ දහම් දෙසා සත්ත්වයන් සසරින් එතෙර කරන්නා වූ, දේශනාවෙහි දක්‍ෂ වූ එම බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයා සසරින් එතෙර කරවූ සේක.
සව් සතුනට අනුකම්පා කරන කාරුණික වූ සියලු සතුනට හිත වැඩ සලසන්නාවූ බුදුපියාණන් වහන්සේ, තමා වෙත පැමිණි සියලු තීර්ථකයන් පන්සිල්හි පිහිට වූ සේක.
මෙලෙස එම කාලය තීර්ථකයන්ගෙන් තොර වූ නිරවුල් වූ තාදී ගුණ ඇති වශීභූත වූ රහතුන්ගෙන් පිරී විසිතුරු වූයේය.” (5881-5884)
ඒ බුදුරජාණන් වහන්සේ පනස් අට රියනක් උස් වූ රන් ඇගෑයක් වැනි වූ දෙතිස් මහ පුරිස් ලකුණින් හෙබි වූ සේක.
එකල අවුරුදු ලක්‍ෂයක් පරමායුෂ වේ. එපමණ කල් වැඩ සිටියා වූ ඒ සර්වඥයන් වහන්සේ බොහෝ ජනයා සසරින් එතෙර කරවූ සේක.
එසමයේ මම හංසවතී නුවර වේද පරප්‍රාප්ත වූ බමුණෙක් වූයෙමි. බුදුරජාණන් වහන්සේ වෙත එළඹ දම් දෙසුමක් ඇසුවෙමි.
එවිට ඒ වීරයන් වහන්සේ අර්ථයෙහි ද ධර්මයෙහි ද නිරුක්තියෙහි ද ප්‍රතිභානයෙහි ද දක්‍ෂ වූ ප්‍රභේද ගත ප්‍රතිසම්භිදාඥාන ඇති ශ්‍රාවකයෙකු අග තනතුරෙහි තැබූ සේක.
එය අසා සතුටට පත් වූ මම ශ්‍රාවකයන් සහිත වූ උතුම් වූ බුදුරජාණන් වහන්සේ සතියක් සියතින් වැළඳුවෙමි.
මම බුද්ධි සාගර වූ සිය ශ්‍රාවකයන් සහිත වූ බුදුරජාණන් වහන්සේට සිවුරු පිණිස වස්ත්‍ර පූජා කර, පාමුල වැටී එම තනතුර පැතුවෙමි. (5885-5890)
ඉක්බිති ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. “මාගේ පාමුල වැටුනා වූ පියුම් ගැබකට බඳු පැහැ ඇති මේ උතුම් බමුණා දෙස බලවු.
මොහු සිවු පිළිසිඹියාවන් දත් ශ්‍රේෂ්ඨ වූ භික්‍ෂුවකගේ තනතුර පතයි. මොහුගේ එම ශ්‍රද්ධාවෙන් ද ත්‍යාගයෙන් ද ධර්ම ශ්‍රවණයෙන් ද යුතු වූ සිත නිසා සැම තැන සැප ඇතිව කුදු මහත් භවයන්හි සැරිසරා මතු එම ප්‍රාර්ථනාව ඉටුකර ගත්තේය.
මින් කල්ප ලක්‍ෂයකට පසුව ඔක්කාක කුලයේ නමින් “ගෞතම” නම් වූ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙති.
උන්වහන්සේගේ සසුනෙහි ධර්මය දායාද කරගත්, ධර්මයෙන් නිර්මිත වූ වැනි, ඖරස පුත්‍ර වූ “කොට්ඨිත” නම් ශ්‍රාවකයෙක් ව නුඹ අගතනතුර ලබන්නෙහිය.” (5891-5895)