8. ගුථඛාදක ප්‍රෙතවස්තු වර්ණනාව
“ගූථ කූපතො උග්ගනත්‍වා” ආදී මේ ප්‍රේත කථා වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වාසය කරන්නේ එක් අශූචි අනුභව කරන්නා වූ ප්‍රේතයකු අරභයා වදාළ සේක. සැවැත් නුවරට නුදුරෙහි එක්තරා ගමක එක්තරා කෙළඹියෙක් කුළුපග භික්ෂුවක් උදෙසා විහාරයක් කරවීය. නොයෙක් ජනපදවලින් පළාත් වලින් පැමිණි භික්ෂූහු එහි විසූහ. ඒ භික්ෂූන් දුටු මිනිස්සු පැහැදුනු සිතින් යුතුව සිව්පසයෙන් උපස්ථාන කළහ. කුළුපග භික්ෂුව එය නොඉවසා ඊර්ෂ්‍යාවෙන් යුතුව ඒ භික්ෂූන්ගේ දොස් දක්වන්නේ කෙළෙඹියා වෙත නුගුණ කියවීය. කෙළෙඹියා ඒ භික්ෂූන්ට ද, කුළුපග භික්ෂුවට ද දොස් පැවරීය. අනතුරුව කුළුපග භික්ෂුව කළුරිය කොට එම විහාරයෙහිම වැසිකිළියේ ප්‍රේතයකු වී උපන්නේය. කෙළඹියා ද කළුරිය කොට ඒ ප්‍රේතයාගේ හිස මත්තෙහි ප්‍රේතයකු වී උපන්නේය. ආයුෂ්මත් මහා මුගලන් ස්ථවිරයෝ මේ දෙදෙනා දැක විමසමින් මේ ගාථාව කීහ.
කවරෙක් නම් අශූචි වළෙන් නැගී බැගෑපත්ව ඉන්නේ ද? පාප කර්මවලින් පෙළුණු ඔබ කෙසේ නම් නිසැකව හඳුනාගන්නේද?
එය ඇසු ප්‍රේතයෝ
[missing trans]
මා විසින් කරවන ලද ආවාසයෙහි ඊර්ෂ්‍යාවෙන් පෙළුණු කුලයා කෙරෙහි මසුරු වූ තද මසුරු සිත් ඇති පරිභව කරන්නා වූ, තෘෂ්ණාවෙන් බැඳුණු නේවාසික කුළුපග භික්ෂු නමක් සිටියේය.
ඒ කුළුපග භික්ෂුවගේ කීම් ඇසූ මම ප්‍රියශීලි ශික්ෂාකාමී භික්ෂූන්ට නින්දා කළෙමි. ඒ අකුසල කර්ම විපාකයෙන් ප්‍රේත ලෝකයේ උපන්නෙමි.
එහි අහු ආවාසිකො මය්හං - යනු මගේ ආවාසයෙහි, මා විසින් කරවන ලද විහාරයෙහි එක් භික්ෂුවක් නේවාසිකව ස්ථිර පදිංචිකරුවෙකුව සිටියේය. අජ්ඣාසිතො මය්හං ඝරෙ - හිතවත්කම නිසා කුළුපග වීම නිසා මගේ ගෙහි තෘෂ්ණාභි නිවේසන වසයෙන් බැදීමෙන් ඇතුළත් වීමෙන් (එය කරවීය)
තස්ස යනු ඒ කුළුපග භික්ෂුවට, භික්‍ඛවො - යනු භික්ෂුව, ශ්‍රමණයා පරිභාසිතන්ති - යනු ආක්‍රෝශ කළේය. (පරිභව කළේය) පෙතලොකෙ මිතො ගතො යනු මේ ආකාරයෙන් ප්‍රේත යෝනියට පැමිණියේ, ප්‍රේතයෙක් වූයේ,
තොපට මිත්‍ර ස්වරූපයෙන් කුළුපග වූ, අමිත්‍ර වූ යම් මහණෙක් වී ද? ඒ අනුවණයා මරණින් මතු පරලොව කෙබඳු ගතියකට පැමිණියේ ද?
එහි මිත්ත වණ්ණො - මිත්‍ර රූපයෙන් මිත්‍ර ප්‍රතිරූපකයෙක් වශයෙන්
නැවත ප්‍රේත තෙමේ තෙරුන්ට තම අදහස් ප්‍රකාශ කරන්නේ, ගාථා දෙකක් කීහ.
ඒ පාපකර්මය කරන ලද, ඒ ශ්‍රමණ ප්‍රේතයාගේ හිස මුදුනේම මම දැන් සිටිමි. හෙතෙමේ ද ප්‍රේත ලෝකයට පැමිණියේ මගේ මෙහෙකරුවෙක් වූයේය.
ස්වාමීනි! සෙස්සෝ යම් අශුචියක් හෙළත් ද? ඒ මගේ ආහාරය වේ. මම යම් අශුචියක් හෙළන්නේ ද ඒවා අනුභව කිරීමෙන් ඒ ශ්‍රමණ ප්‍රේතයා දිවි රැකගනියි.
එහි තස්සෙවා - යනු ඒ මගේ පූර්ව ආත්ම භාවයේ දී කුලුපග භික්ෂුව වූ ප්‍රේතයාගේ පාපකම්මස්සා - යනු පවිටු වූ වැරදි සහගත වූ හැසිරිම් ඇති පැවැතුම් ඇති - සීසෙ තිට්ඨාමි මත්‍ථ කෙ- යනු ඔළුව උඩ සිටිමි. සිටියේ ද මුදුනෙහිම සිටිමි. සීස ප්‍රමාණ වූ අහසෙහි නොවෙමි යන අර්ථයි. පරවිසයං පත්තො - යනු මිනිස් ලොව ඉපිද සිට, වෙනත් විෂයකට ආත්මභාවයකට යන්නේ ප්‍රේත විෂයටම ගියේය. පත්වූයේය. මමෙවා - යනු මගේම මෙහෙකරුවෙක් වූයේය යන වචනයි.
යංභදන්තෙ භදන්කඤ්ඤො - යනු ස්වාමිනි ආර්ය වූ මෞද්ගල්‍යානයන් වහන්ස! ඒ වැසිකිළියෙහි අන්‍යයෙහි වර්චස් හෙළත් ද? එතං මෙ හොති හොජනං - යනු ඒ අශූචි දවසක් දවසක් පාසා මට අහාර වේ. යං හදාමි - ඒ වර්චස් අනුභව කොට මම වර්චස් කෙරෙම් ද? එතං සො උපජීවතී - යනු ඒ මගේ වර්චස් ඒ කුලුපග ප්‍රේතයා දිනපතා අනුභව කරමින්, ඔහු ජීවත්වෙයි. ආත්ම භාවය පවත්වාගෙන යයි යන අර්ථයි.
ඔවුන් දෙදෙනා අතුරෙන් කෙළෙඹි තෙමේ සුපේශල සිල්වත් භික්ෂූන්ට “මේ ආහාර වළඳනවාට වඩා තොපගේ අශූචි කෑම හොඳ යයි බැණ වැදුනේය. කුලුපග භික්ෂුව වනාහි කෙළෙඹියා එසේ කීමෙන් පොළඹවා තෙමේ ද එසේම බැණ වැදුනේය. ඒ නිසා ඒ කුලුපග ප්‍රේතයාගේ ජීවිකාව කෙළෙඹියාගේ ජීවිකාවටත් වඩා කිලිටු වූයේමය. ආයුෂ්මත් මුගලන් ස්ථවිරයෝ මේ කථා පුවත භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන පරික්ෂා කිරීමෙහි ආක්‍රොශ කිරීමෙහි ආදීනව දක්වා පැමිණ සිටි පිරිසට ධර්මදේශනා කළහ. ඒ දේශනාව මහා ජනයාට සාර්ථක වූයේය.