ප්රේතවත්ථු අටුවාව
ග්රන්ථ ආරම්භ කථා
1. සියලු ලෝක සත්ත්වයන් වෙත පතල මහා කරුණා ඇති, දතයුතු සියළු දේ නමැති (දැනුම නමැති) සාගරයේ පරතෙරට පැමිණි, විවිධන්යායන්හි හා විචිත්ර ධර්ම දේශනා වෙහි ගැඹුරු නුවණැති දක්ෂවූ, සකල ලෝකයාට ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ නමස්කාර කරමි.
2. අෂ්ට විද්යා හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ, සම්මා සම්බුදු රජුන් විසින් පුදන ලද, ලෝක සත්ත්වයා නිවන්පුරට පමුණුවන්නා වූ උත්තම ශ්රී ධර්මරත්නය වඳිමි.
3. ශීල - සමාධී -ප්රඥා ආදී නිමල ගුණයෙන් යුක්තවූ, සතර සතර ඵලයන්ට පැමිණියාවූ අනුත්තර වූ පින් කෙතක් වන් මහා සංඝයා වඳිමි.
4. මෙසේ රත්නත්රයට වැඳීමෙන් අත්කර ගන්නාවූ පින් බලයෙන් ද, රත්නත්රයේ තේජසින් ද සියලු කරදර අතුරු ආන්තරා දුරු වේවා.!
5. මියගිය අය විසින් ඒ ඒ අයගේ පූර්ව ජන්මයන්හිදී, කරන ලද කර්මයන් නිසා, ලබාගත් ප්රේත ආත්මභාවයන්හි විවිධ ස්වරූපයන් විවිධ ආකාරයෙන්,
6. බුද්ධාදී උත්තමයන් විසින් වර්ණනා කරන ලද විස්තර කරන ලද, සංවේගය උපදවන්නාවූ කර්ම හා කර්ම විපාකයන් හෙළිකරන්නා වූ ධර්ම දේශනයක් වන
7. ත්රිපිටකය සංගායනා කරන ලද මහාස්ථවිරයන් වහන්සේලා විසින්, ඛුද්දක නිකායෙහි ඇතුළත් “ප්රේතවත්ථු” නම් වූ කරන ලද, විශේෂයෙන් දතයුතු කථාවස්තුන්ගෙන් පිරි “ප්රේතවත්ථු” නම් ග්රන්ථය.
8. ඒ ඒ කථාවන්හි නිදානය, විස්තරාර්ථ, විශේෂයෙන් සඳහන් කරමින්, පුරාණ අර්ථ කථාචාර්යවරුන්ගේ විස්තර කිරීම් අනුවම.,
9. සුපිරිසිදු වූ, අසඞ්කීර්ණ වූ, දක්ෂයන් විසින් විනිශ්චය කරන ලද්දා වූ, එම ප්රකරණය. මහා විහාර වාසීන්ගේ නය ක්රමය නො ඉක්මවා,
10. මගේ ශක්ති ප්රමාණයෙන් ප්රේත වත්ථුවේ අර්ථ වර්ණනාව කරන්නෙමි. සකස්කොට මැනවින් එය කියවන්නේ, යහපත් සේ සාවධානව ඇසිය යුතු.
එහි ප්රේතවත්ථු - සිටු ප්රත්රාදී වූ ඒ ඒ සත්ත්වයන්, ප්රේතව ඉපදීමට හේතු වූ යම් අකුසල කර්මයක් වේද? ඒ අකුසල කර්ම ප්රකාශ කිරීම් වශයෙන් පැවති “ඛෙත්තූපමා අරහන්තො” යනාදි වූ පර්යාප්ති ධර්මය පේතවත්ථු යන්නෙන් ගැනේ.
ඒ ප්රේතවස්තු දේශනාව කවරෙකු විසින් කියන ලද්දේ ද? කොතැන්හිදී කියන ලද්දේ ද? කිනම් හේතුවක් නිසා පවසන ලද්දේ ද? යන්න විස්තර මතු කියනු ලැබේ. මේ ප්රේතවස්තු වනාහි දෙපරිදිව පැවතේ. අර්ථෝත්පත්ති වශයෙන්ද , ප්රශ්න විසදීම් වශයෙන් ද වේ. යම් ප්රේත වස්තුවක් අර්ථෝත්පත්ති වශයෙන් පැවැත්තේද එය භාග්යවතුන් වහන්සේ විසින්ම වදාරන ලදි. ප්රශ්න විසදීම් නම් වූ අනේක නාරද ස්ථවිරයන් ආදීන් විසින් ඒ ඒ ප්රේතයන්ගෙන් විමසන ලද ප්රශ්නවලට පිළිතුරු වශයෙන් ඒ ඒ ප්රේතයින් විසින් කියන ලදී. නාරද ස්ථවිර ආදීන් විසින් ඒ ඒ ප්රශ්න විචාරණ ලදුව, ඒ ඒ ප්රේතයන් විසින් කියන ලද ගාථා යම් හෙයකින් නාරද ආදී ශ්රාවකයන් විසින් ඒ ඒ අවස්ථාවන්හි දී ශාස්තෲන් වහන්සේට ඉදිරිපත් කරන ලදුව, එය විසඳන මෙන් ආරාධනා කිරීමෙන්, ශාස්තෲන් වහන්සේ අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි සිව් පිරිසට ධර්මය දේශනා කරයි. එහෙයින් සියලු ප්රේතවස්තු ශාස්තෲන් වහන්සේ විසින්ම දේශිතයයි දතයුතුය.
ධර්මචක්ර සුත්ර දේශනාව පැවැත්වීමෙන් පසුව ශාස්තෲන් වහන්සේ රජගහ නුවර ආදී ඒ ඒ තැන්වල වැඩවසමින් බොහෝ සෙයින් අර්ථෝත්පත්ති වශයෙන් එළබ ප්රශ්නවලට පිළිතුරු සැපයීම් වශයෙන් සත්ත්වයන්ට කර්මඵල කර්මවිපාක ප්රත්යක්ෂ කිරීම සඳහා ඒ ඒ ප්රේත වස්තු දේශනාකොට ඇත. මෙහි පළමුකොට “කවරෙකු විසින් කියන ලද්දේ ද ආදී පදයන්ට සාධාරණ විසඳුමයි. අසාධාරණ විසදීම් වනාහි ඒ ඒ වස්තූන් සම්බන්ධ අර්ථවර්ණනාවන්හිම එන්නේය.
මේ ප්රේතවස්තු දේශනාව, විනය, සුත්ර, අභිධර්ම තුන් පිටකය අතුරෙන් සූත්ර පිටකයෙහිම ඇතුළත් වේ. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අඞ්ගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන නිකාය පහෙන් ඛුද්දක නිකායෙහිම ඇතුළත් වන්නේය. සුත්ත, ගෙය්ය, වෙය්යකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භුත ධම්ම, වේදල්ල, යන නවාංග ශාස්තෲ ශාසනයේ ගාථාඞ්ගයට ඇතුළත් වන්නේය.
සුවාසූ දහසක් ධර්මසේකන්ධයන්ගෙන් ද අසූ දහසක් සම්මා සම්බුදුන් වහන්සේ වෙතින් ද, දෙදහසක් සැරියුත් මුගලන් ආදී ශ්රාවක සඞ්ඝයා වෙතින් ද අවබෝධ කරගත්මි’යි
ධර්ම භාණ්ඩාගාරික (ආනන්ද) ස්ථවීරයන් විසින් ප්රතිඥා දෙන ලදී. ඒ අසූහාර දහසක් ධර්මසේකන්ධය ධර්මසේකන්ධ කිහිපයකින් සමන්විතය. බණවර වසයෙන් බණවර සතරක්, වර්ග වශයෙන් උරග වර්ගය, උබ්බරී වරිගය, චූල වර්ගය මහා වර්ගය යන වර්ග සතරකින් සමන්විතය. එහි පළමුවන වර්ගයේ කථාවස්තු දොළසකි. දෙවෙනි වර්ගයෙහි කථා වස්තු දහතුනකි. තුන්වෙනි වර්ගයෙහි කථා දහයෙකි. හතර වෙනි වර්ගයෙහි කථා දහසයෙකි. යනුවෙන් එක් පණස් කථා වලින් සරසන ලදීය. එහි වස්තු අතුරෙන් උරග වර්ගයට ඇතුළත් ඛෙත්තූපම ප්රේත වස්තුව මුල් වේ. ඒ වස්තුවෙන් ද “ඛෙත්තූපමා අරහන්තො” ආදී ගාථාව පළමුවම දැක්වේ.
1. උරගවර්ගය
1. ඛෙත්තූපම ප්රේතවස්තු වර්ණනාව
භාග්යවතුන් වහන්සේ රජගහනුවර ඇසුරු කරමින්, ලෙහෙනුන්ට බත් වැටුප් දුන් බැවින් කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වසන කල්හි එක්තරා සිටු පුතෙකු අරභයා මේ ඛෙත්තූපම ප්රේත වස්තුව දේශනා කළ සේක. රජගහනුවර ධන සම්පත්තියෙන් ආඪ්ය වූ, මහත් ධන ඇති, මහා සම්පත් ඇති, නොයෙක් වස්තු හා උපකරණ ඇති, රැසේකරන ලද කෝටි ගණන් ධනය ඇති, එක්තරා සිටුවරයෙක් සිටියේය. ඔහුගේ මහා ධන සම්භාරය නිසා ඔහු මහාධන සිටාණෝ යයි නම් ලදහ. ඔහුට එක් පුතෙක් විය. ඔහු ප්රිය මනාපය. ඒ පුත්රයා නුවණැති බවට පත් කල්හි දෙමාපියෝ මෙසේ සිතූහ. අපේ පුතා දිනපතා දහස බැගින් වියදම් කළත් අවුරුදු සියයකින්වත් මේ ධනය අවසන් නොවේ. ඒ නිසා ශිල්ප ශාස්ත්ර උගැන්වීමෙන් අර්ථයක් නැත. ක්ලාන්ත නුවූ කයින් හා සිතින් යුතුව සුවසේ මේ සම්පත්වලින් සැප විඳීවායි සිතා කිසිවක් නො ඉගැන්නුවේය. වයසට පැමිණිකල ඔහුට කුලයෙන් ද රූපයෙන් ද, යෞවන විලාසයෙන් ද සම්පූර්ණ වූ පඤ්චකාම රසාස්වාදයටම සිත නැමුණු. ධර්මය පිළිබඳ නො සිතන කාන්තාවක් විවාහ කර දුන්හ. ඔහු ඇය සමග අභිරමණය කරන්නේ කුසල ධර්මයන් පිළිබඳව කල්පනා නොකළේය. ශ්රමණ බ්රාහ්මණයන් හා ගුරු දෙමව්පියන් කෙරෙහි ආදර ගෞරව රහිතව, සුරා සොඬුන් ආදීන් ඇසුරු කරමින් තුටු පහටු වෙමින් පසේකම් සැප විඳීමෙහිම ඇලෙමින් මෝහයෙන් අන්ධ වී කල් යවා, දෙමාපියන් මිය ගිය කල්හි නළු නිළි ගායක ගායිකාවන්ට කැමති පරිදි දෙමින් ධනය විනාශ කොට, කෙටිකලකින්ම වස්තුව පිරිහී ණයට ගෙන ජීවත්වන්නේ, පසුව ණය ද නො ලබා, හිමියන්ට තමන් සතු ඉඩකඩම් ගෙවල් දොරවල් දී කබල් ගත් අත් ඇතිව හිඟා කමින්, එම නුවර අනාථ ශාලාවක ජීවත් වේ.