9. ගුථඛාදක ප්රේතීවස්තු වර්ණනාව
“ගූථ කූපතො උග්ගනත්වා” ආදී මේ ප්‍රේත වස්තු කථාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවාසය කරමින්, එක්තරා අශූචි කන්නා වූ ප්‍රේතියක අරභයා දේශනා කළහ. එහි වස්තුව ඉහත කී (ගූථඛාදක ප්‍රේතවස්තුව) හා සමාන වේ. එහි උපාසකයා විසින් විහාරය කරවන ලද්දේය කියා උපාසකයා වසයෙන් ආයේය. මෙහි වනාහි උපාසිකාවක වීමම විශේෂයි. ඒ කථා වස්තුවේත් ගාථාවලත් වෙනසක් නැත්තේය.
ගූථ ඛාදක පෙති වස්තු වර්ණනාව නිමියේය.
10. ගණ ප්‍රෙතවස්තු වර්ණනාව
“නග්ගා දුබ්බණ්ණ රූපාත්ථා” ආදී වශයෙන් ආරම්භවන ප්‍රේත වස්තුව, ශාස්තෲන් වහන්සේ ජේතවනයෙහි වැඩ වාසය කරන කල්හි ප්‍රේතයන් සමූහයක් අරභයා දේශිතයහ. සැවැත්නුවර වනාහි මිනිසුන් සමූහයක්, කණ්ඩායමක් වී අශ්‍රද්ධාවෙන් යුතුව, අප්‍රසන්න භාවයකින් යුතුව, මසුරු මළයෙන් පරිපීඩිත සිත් ඇතිව, දානාදී සුචරිත ක්‍රියාවන්ට විරුද්ධව, කාලයක් ජීවත් වී, කය බිඳීමෙන් (මරණයෙන්) පසුව නගරය සමීපයෙහි ප්‍රේත යෝනියෙක ඉපදුනාහු වෙති. එක්දවසක් ආයුෂ්මත් මුගලන් ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරෙන්නේ අතරමග දී ප්‍රේතයන් දැක මේ ගාථාවෙන් කරුණු විචාළහ.
තෙපි විලි වැස්මක් නැතිව නග්නව, කෘශ වී, ඉස්සී ගිය නහර වැල් ඇතිව, උස්ව නැගුණු ඉල ඇට පෑදී, දුර්වලව, දුර්වල ශරීර ඇත්තෝය. තෙපි කවරහු ද?
එහි දුබ්බණ්ණ රූපාත්ථා යනු දුර්වර්ණ ශරීර ඇත්තෝ වවු කෙනු තුමෙහත්ථා - යනු තෙපි කිනම්හු වෙත්ද? මාරිසා යනු ඔහු තමන්ගේ ස්වරූප වශයෙන් අමතයි.
ඒ අසා ප්‍රේතයෝ
ස්වාමීනි අපි යමලෝකය යයි කියනු ලබන ප්‍රේත ලෝකයේ උපන් දුකට පැමිණියා වූ ප්‍රේතයෝ වෙමු. මිනිස්ලොවදී පව්කම් කොට ප්‍රේත ලෝකයෙහි උත්පත්තිය ලැබුවෙමු.
යන ගාථාවෙන් තමන්ගේ ප්‍රේත භාවය ප්‍රකාශ කොට, නැවත තෙරුන් විසින් මෙසේ අසන ලදී.
ඔබලා මිනිස් ලොව දී කය වචනය සිත යන තිදොරින් කවරනම් අකුශල කර්ම කළාහු ද? කවර කර්මයක විපාකයකින් ප්‍රේතයන් වී උපන්නාහු ද?
යන ගාථාවෙන් කරන ලද කර්මය විචාළේය.
මහණ බමුණන් ඇති කල්හි, දිය යුතු දාන වස්තුව අප සන්තකව පැවති කල්හි, කිසිවෙකු විසින් නො වළක්වන ලද්දා වූ අපි, අඩ මස්සක් පවා විශේෂයෙන් රැස් කළෙමු. තමන්ට පිහිටක් වන පරිද්දෙන් කිසිවෙකුට කිසිවක් නො දුන්නෙමු. තෘෂ්ණායෙන් මැඩුණෙමු.
දිය පිපාස වූ විට නදිය කරා පැමිණියහොත් නදියේ ජලය හිඳී යයි. උෂ්ණය ඉවසනු නොහැකිව සෙවණ තැනකට පැමිණියේ නම් එතනට තද අව්ව වැටේ.
හමා එන සුළග ගින්දර හා සමානව ශරීරය දවමින් හමායේ. ස්වාමීනි! පව් කල තැනැත්තන්ට ලැබෙන මෙයට වඩා වැඩි වූ තවත් දුක්වලට ද සුදුසු වෙමු.
බොහෝකල් සාදුකින් පෙළෙන්නා වූ අපි ආහාර සඳහා ගිජුවෙමින් දීර්ඝ සැතපුම් ගණන් යන්නෙමු. එහෙත් කිසිවක් නොලබාම නවතිමු. අපගේ පින් නැති බව ගැන දුක්වෙමු.
බඩගිනිව සා පිපාසා දෙකින් ක්ලාන්ත වූ (අපි) කරකැවිල්ල ඇතිවී බිම වැටෙන්නෙමු. ඇද වැටෙන්නෝ වෙමු. උඩුකුරුව වැටුණාහු විසිරුණු අවයව ඇත්තෝ වෙමු. (සමහරවිට) යටිකුරුව ද වැටෙන්නෙමු.
ඒ හැම තැනම වැටුණා වූ, බිම වැටුණා වූ අපි ළය ද හිස ද පොළවේ ගලා ගන්නෙමු. අපගේ පින් නැති බව ඉතා දුක් ගෙනදේ, පුදුම සහගතය.
ස්වාමිනි! මේ දුකට ද, ළාමක වූ අනෙක් දුක්වලට ද අපි සුදුස්සෝ වෙමු. දෙය්ය ධර්මය ලඟ තබාගෙන අපි අනාගතය සඳහා පින් රැස් නො කෙළෙමු.
අපි මෙයින් චුතව ගොස් මිනිසත් බව ලැබ පරිත්‍යාගශීලීව සීල සම්පන්නව බොහෝ කුසල් ඒකාන්තයෙන්ම කරන්නෙමු.
මෙසේ තමන් විසින් කළයුතු කර්ම කීහු.
එහි අධියොජනානි ගච්ඡාම - යනු යොදුන් ගණනාවක් යමු. කුමකට ද? ඡාතා ආහාරගෙධිනො - යනු බොහෝකාලයක් සා පිපාසාවෙන් පීඩා විඳ ආහාර පිළිබද ගිජුකමින්, දැඩි ලෙස ආසා කරමින්, මෙසේ ගොස් ද කිසිම ආහාරයක් නොලැබම නවතින්නෙමු. අප්පපුඤ්ඤතා යනු පින් නැතිකමින්! යහපත් කටයුත්තක් නො කරන ලද බැවින්,
උත්තානා පතිකිරාමා - යනු කිසිදවසක උඩුකුරුවී බිම වැටී විසිරුණු අත පය ඇත්තේ වෙමු. අවකුජ්ජා පතාමසෙ යනු සමහර දවස්වල මුනින් වැටී සිටින්නෙමු.
තෙච යනු ඒ අපි උරං සීසඤ්ච ඝට්ටෙමා - යනු මුනින් යටවී වැටී නැගිට ගනු නොහැකිව, වධයට හා වේදනාවට පැමිණ වෙවුළමින් තමාගේම හිසත් ළයත් ගටා ගන්නෙමු. ඉතිරියට සඳහන්, කියන ලද පරිදිම දන්නේය.
ස්ථවිරයන් වහන්සේ මේ පුවත භාග්‍යවතුන් වහන්සේට දැක්වූහ. භාග්‍යවත්හු කාරණය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ. එය ඇසූ මහාජනයා මසුරුකළ හැර දන්දීම් ආදී පින්කම් කරමින් සුචරිතයෙහි නිරත වූවෝ වූහ.
සමූහ ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
11. පාටලිපුත්ත ප්‍රෙතවස්තු වර්ණනාව
“දිට්ඨා තයා නිරයා තිරච්ඡා න යොනි”- මේ ප්‍රේතවස්තු කථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයේ එක්තරා විමාන ප්‍රේතයකු අරභයා වදාළ සේක. සැවැත් නුවර වාසීහු ද, පැළලුප් නුවර වාසීහු ද, වෙළෙන්දෝ බොහෝ භාණ්ඩ පුරවාගත් නැවකින් ස්වර්ණ භූමියට ගියෝය. එහිදී එක් වෙළෙන්දෙක් රෝගාතුර වී මාගමක් කෙරෙහි බැඳුණු සිතින් කළුරිය කළේය. හේ කරන ලද කුසල් බලයෙන් දෙව්ලොව නො ඉපද මුහුද මැද විමාන ප්‍රේතයකු වී උපන්නේය. ඔහු යම් ස්ත්‍රියක් කෙරෙහි දැඩිසේ සිත් බැඳගත්තේ ද ඒ ස්ත්‍රිය ද ඒ නැවෙන්ම ස්වර්ණ භූමියට යමින් සිටියාය. ඉක්බිති ඒ විමාන ප්‍රේතයා අදාළ ස්ත්‍රිය ගනු කැමතිව නැවේ ගමන නතර කළේය. අනතුරු වෙළෙන්දෝ කවර හෙයින් අපගේ නැව නැවතුනේදැයි සිතා බලන්නේ කාලකණ්ණියා සොයා ගැනීමට කුසපත් ඇද්දේය. අමනුෂ්‍යයාගේ සෘද්ධි ශක්තියෙන් තුන් වරක්ම ඒ කාලකණ්ණි සලාකපත ඔහු විසින් පිළිබඳ සිත් බැඳි ස්ත්‍රිය වෙතම පැමිණියේය. ඒ දුටු වෙළෙන්දෝ හුණමිටියක් මුහුදට දමා ඒ මත්තට ස්ත්‍රිය බැස්සුවාය. ස්ත්‍රිය හුණ කලාපය මතු පිටට බැස්ස වූ කෙණෙහිම නැව ස්වර්ණ භූමිය කරා වේගයෙන් ගමන් කෙළේය. විමාන ප්‍රේතයා ඒ ස්ත්‍රිය තමන්ගේ විමානයට ගෙනගොස් ඇය සමග ජීවත්වූහ.
ඈ එක් අවුරුද්දක් ඔහු සමග ජීවත්වී කළකිරුණු සිතින් යුතුව ඒ විමාන ප්‍රේතයා යදිමින් මෙසේ කීවාය. මා මෙහි වසන්නී මගේ පරළොව ගමන සඳහා පිනක් දහමක් කර ගැනිමට මම අවකාශ නොලබමි. එබැවින් මා පැළලුප් නුවරට පමුණුවව. ඕතොමෝ මෙසේ ආයාචනා කරන ලද්දී, විමාන ප්‍රේතයා ඇයට,