4. මහා වර්ගය
1. අම්බසක්ඛර ප්රෙතවස්තු වර්ණනාව
වෙසාලී නාම නගරත්ථි වජ්ජිනං මේ අම්බසක්ඛර ප්රේත වස්තු කථාවයි. එය කවුරුත් නිසා උපන්නේ ද? භාග්යවතුන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වාසය කරන කල්හි අම්බසක්ඛර නම් ලිච්ඡවී රජු විශාලා නුවර රාජ්යය කරවීය. හේ මිථ්යා දෘෂ්ටිකය. නාස්තිකවාදීය. එසමයෙහි විසාලා නුවර එක්තරා වෙළෙන්ඳකුගේ වෙළඳපල ඉදිරිපිට මඩ වලින් ගැවසුණු බිම් පෙදෙසක් විය. බොහෝ මිනිස්සු එහි වැටී කරදරයට පත්වෙති. ක්ලාන්ත වෙති. සමහරු මඩ තැවරීමෙන් පිඩා විඳිති. එය දුටු මේ වෙළෙන්දා මේ මිනිසුන් මඩ නො පාගාවා, කරදරයට පත් නොවෙත්වායි සිතා දුගඳ නැති සුදු පැහැයෙන් යුත් ගව හිස් ඇට කටු ගෙන්වා මඩ මතුපිට දැම්මවීය. හෙතෙම ස්වභාවයෙන්ම සිල්වත් වූයේය. ක්රෝධ නො කළේය. මොලොක් වචන ඇත්තේය. අනුන්ගේ ඇති පරිදි ගුණ කියන්නේය.
හෙතෙම එක් දවසක් තම යහළුවකු දියනහන විට ප්රමාදයකින් හිමියාට නොපෙනී ඔහු හැඳි වස්ත්රය ක්රීඩා අදහසින් සඟවා තබා, ඔහුට දුක් උපදවා පසුව දුන්නේය. ඔහුගේ බෑණා කෙනෙක් අනුන්ගේ ගෙවල්වලින් බඩු සොරකම් කොට ඔහුගේ කඩේ තැබුවේය. බඩු හිමියෝ බඩු සොයා ගොස් කඩේ තිබුණු බඩු සමගම ඔහුත් ඔහුගේ බෑණත් අල්ලා ගෙන ගොස් රජුට භාරදුන්හ. රජු මොහුගේ හිස කපා දමව්, ඔහුගේ බෑණ උල තබවයි නියම කරවීය. රාජ භටයෝ එසේ කළහ. හෙතෙම කළුරිය කොට භූමාටු දෙවියෙක් වී උපන්නේය. හෙතෙම ගවහිස්වලින් මගතොට පිළිසකර කළ පිනෙන් සුදු පැහැවූ දිව්යමය මනෝ ජව සම්පන්න වූ ආජානීය අශ්වයකු ලැබීය. ගුණවතුන්ගේ ගුණ කීම් හේතුවෙන් ඔහුගේ ශරීරයෙන් දෙව් සුවද විහිදෙයි. වස්ත්රය සඟවා තැබු අකුශලයෙන් නග්න වූයේයි. හෙතෙම තමන් පෙර කළ කර්මය බලමින්, ඒ අනුසාරයෙන් උලතබන ලද තමන්ගේ බෑණා දැක කරුණාවෙන් චෝදනා කරන සිත් ඇතිව ශීඝ්රයෙන් යන අසු පිට නැගී අඩ රැයෙහි, උල සිටුවන තැනට ගොස් නුදුරෙහි සිට පින්වත ජීවත් වව ජීවත්වීමම ශ්රේෂ්ඨය යයි දවසින් දවස කියයි.
එකල්හි අම්බසක්ඛර රජු ඇතු පිට නැගී නගර ප්රදක්ෂිණාවෙහි යෙදුනේ, එක්තරා ගෙයක ජනේලය හැර වා කවුලුවෙන් රජසිරි නරඹමින් එක් ස්ත්රියක් දැක පිළිබඳ සිත් ඇති වූයේ, පසු අසුනෙහි සිටි පුරුෂයාට මේ ගෙයත් මේ ස්ත්රියත් සිත්හි තබා ගනුවයි කියා, පිළිවෙලින් රජගෙට ගොස් රජගෙට ඇතුල් වූයේ (පසුපස අසුනේ සිටි) පුරුෂයා කැඳවීය. සගය යව! අසවල් ස්ත්රිය විවාහක ද අවිවාහක දැයි වහා දැනගෙන එනුයි යැවීය. හෙතෙමේ එහි ගොස් ඇය විවාහක බව දැන, රජුට කීයේය. රජු ඇය ලබා ගැනීමට උපායක් සිතා ඇගේ ස්වාමි පුරුෂයා කැඳවා! එම්බල පුරුෂය! ඔබ මට උපස්ථාන කරවයි කීය. හෙතෙම අකමැත්තේම විය. එහෙත් රජුගේ වචනය නියමය නො කරන තමන් කෙරෙහි රාජ දණ්ඩනය පසු පස එන බව සිතා බියෙන් රාජ උපස්ථානය පිළිගෙන දිනපතා රාජ සේවය පිණිස යයි. රජු ද ඔහුට බත් වැටුප් දී, කිහිප දවසක් ඉකුත් වූ කල්හි උදේම උවැටන් සදහා පැමිණි ඔහුට මෙසේ කීය. සගය! අසවල් තැන එක් පොකුණක් ඇත. ඒ පොකුණෙන් අරුණුවන් මැටි හා රතු උපුල් රැගෙන එව යව්! ඉදින් අදම නො පැමිණයහොත් තොගේ ජීවිතය නැත. ඔහු ගිය කල්හි දොරටු පල්ලාට කීයේය. අද හිරු බසින්නට පෙරම නුවර සියලු දොරවල් වසා දමනු මැනවි.