6. කුමාර ප්‍රෙතවස්තු වර්ණනාව
“සාවත්‍ථි නාම නගරං” ආදියෙන් ඇරඹෙන මෙම කථා වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසද්දී, ප්‍රේතයන් දෙදෙනකු අරභයා වදාළ සේක. සැවැත් නුවර වනාහි කආසොල් රජුගේ පුත්‍රයන් දෙදෙනෙකු ප්‍රථම වයසෙහි සිටියාහු යෞවන මදයෙන් මත් වී පරදාර අකුශල කර්මය කොට, කළුරිය කොට, දිය අඟලක් මතුපිට ප්‍රේතයන් වී ඉපදුනාහ. ඔව්හු රාත්‍රියෙහි භයානක ශබ්දයකින් මුරගා හැඬුවාහුය. මිනිස්සු ඒ අසා බියෙන් (ත්‍රස්ත වී) තැති ගෙන මෙසේ කළ කල්හි මේ අවමඟුල සන්සිදේවි යයි සිතා බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහා දන් පවත්වා ඒ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට සැළකළාහුය. භාග්‍යවතුන් වහන්සේ උපාසකවරුනි! ඒ ශබ්දය ඇසීමෙන් තොපට කිසිත් අන්තරාවක් නොවේ යයි වදාරා ඔවුන්ට ධර්ම දේශනා කිරීම පිණිස මේ ගාථා වදාළහ.
හිමාලය වනයාගේ එක් පැත්තකින් සාවත්ථි නමින් නුවරක් වූයේය. එහි රජ පුත් වූ කුමාරවරු දෙදෙනෙක් සිටියාහු යයි මා විසින් අසන ලදී.
සිත් ඇලවිය යුතු කාමයන්හි ඇළුණු කම් සුව විදිමින් සතුටුවන සුළු වූ වර්තමාන සැප සම්පතෙහි පමණක් ගිජු වූ ඔවුහු අනාගත සැපය නො බැලුවාහුය.
ඔවුන් දෙදෙන මේ මනුෂ්‍ය ආත්ම භාවයෙන් චුතව, පරලොවට පැමිණියෝය. ඔහු තමන්ගේ පෙර දුශ්චරිතයන් නිසා නොපෙනෙන සුළු රූප ඇතිව මේ සැවැත්නුවර අසල දැන් විලාප දෙත්.
නොයෙක් පිදිය යුත්තන් සිටි කල්හි, දියයුතු වස්තුව තිබුණු කල්හි, තමන්ට සැප එලවන්නා වූ ස්වල්ප වූ ද පිනක් කරන්නට නොහැකි වීමු.
අපි යම් පව්කමකින් රාජ කුලයෙන් චුතව ප්‍රේත ලෝකයෙහි උපන්නාහු සාපිපාසා දුකින් මඩන ලදුව හැසිරෙමු. ඊට වඩා ළාමක වූ පාප කර්මයක් තවත් කොයින් ද?
මෙලොව දී (මිනිස් ලොවෙහි දී) ස්වාමියන් වී සිට දැන් අස්වාමිකයෝ වෙත්, මිනිස් බැවින් උසස් වූ ඒ මිනිස්සු ප්‍රේත යෝනියෙහි පහත්ව ඉපිද සා පිපාසා දෙකින් යුක්තව හැසිරෙත්.
මිනිස්සු ඉසුරු මදයෙන් මත් වී, එහි දෝෂය දැන, ඉසුරුදය හැරපියා ස්වර්ගයට යන්නෙක් වන්නේ ද ඤාණවන්ත වූ ඒ මිනිසා ශරීරයාගේ බිදීමෙන් ස්වර්ගයට පැමිණෙයි.
එහි - ඉති මෙ සුතං - යනු හුදෙක් තමන්ගේ නුවණැසින්ම දැක, ඉක්බිති ලෝකයෙහි ප්‍රකට බැවින් මෙසේ මා විසින් අසන ලදී යන අර්ථයි.
කාමස්සාදාභි නන්‍දිනො - යනු කාම ගුණයන්හි ආශ්වාද වසයෙන් සතුටුවන සුලු පච්චුප්පන්න සුඛෙ ගිද්ධා - යනු වර්තමාන සුවයෙහි පමණක් ගිලී ගැති වී, න තෙ පස්සං සුනාගතං - යනු දුසිරිත් හැර සුචරිතයෙහි හැසිර අනාගත භවයෙහි දෙව් මිනිස් සුව ලැබීමට සුව විඳීමට ඔව්හු නොසිතූහ.
තෙධ ඝොසෙන්න්‍ය දිස්සන්තා - යනු ඔව්හු පෙර රාජ පුත්‍රයන් ඝෝෂා කරත්, හඬත් කුමක් නිසා හඬන්නේ ද යත් කීයේය. පුබ්බෙ දුක්කට මත්තනො යනු
දැන් ඒ ඔවුන්ගේ හැඬීමට වැළපීමට කාරණ හේතු- ඵල බෙදා දැක්වීමට, බහුසු වත සන්නෙසු - ආදිය කියන ලදී.
එහි බහුසු සන්තෙසු - යනු අප්‍රමාණ වූ දක්ෂිණාර්හයන් පෙනි පෙනි, දෙය්‍ය ධම්මෙ උපට්ඨිතෙ - යනු තමන් සන්තකයෙහි දියයුතු දාන වස්තුව අත ළගම තිබිය දී, ලැබී තිබිය දී යන අර්ථයි. පරිත්ත සුඛාවහං - අනාගතය සදහා සැප එළවන්නා වූ ස්වල්පමය වූ පින්කමක් වත් කිරීමට තමන්ට සුවසේ නිරුපද්‍රිතව කරන්නට නොහැකි වූවෙමු යන යෙදීමයි.
කිං තතො පාපකං අස්සා - යනු එහෙයින් ළාමක වූ පාපී වූ අනිකක්ම අප විසින් කරන ලදී. යං නො රාජකුලා වුතා - යම්කිසි පාප කර්මයකින් අපි රජ කුලයෙන් චුත වූවෝ මෙහි ප්‍රේත විශයෙහි ප්‍රේතයන් වී ඉපදී සා පිපාසා දෙකින් යුක්තව හැසිරෙමු යන අර්ථයි.
සාමිනො ඉධ හුත්‍වාතා යනු මේ ලෝකයෙහි යම් කිසි තැනක පෙර ස්වාමීන් වී හැසිරෙත්. දැන් එහිම එතැනම අස්වාමිකයන් වී හැසිරෙති. මනුස්සා උන්නතොනතා - යනු මිනිසුන්ව සිටි කාලයේ ස්වාමීන් වී කළුරිය කොට කර්ම වශයෙන් අඩු පාඩු ඇතිව හැසිරෙත්. සා පිපාසා දෙකින් යුතුව, සංසාරයාගේ ප්‍රකෘති ස්වභාවය බලනු මැනවි.