5. උච්ඡු ප්රෙතවස්තු වර්ණනාව
“ඉදං මම උච්ඡුවන මහන්නං” යනු මේ උච්ඡු ප්රේතවස්තු කථාවය. කවරෙක් නිසා උපන්නේ ද? භාග්යවත් වූ බුදුරජාණන් වහන්සේ වේළුවන විහාරයේ වැඩ වසන කල්හි, එක්තරා මිනිසෙක් උක්දඬු මිටියක් කර තබාගෙන එක් උක්දඬු කැබැල්ලක් කමින් යයි. එකල්හි ශීලවන්ත වූ, කල්යාණ ධර්ම ඇති එක් උපාසකයෙක් පිටි පසින් එන්නා වූ බාල දරුවෙකු සමග මහ මඟ ගමන් කරයි. දරුවා උක්දඬු දැක උක්දඬු කෑල්ලක් ඉල්ලා හඬයි. උපාසක තෙමේ හඬන්නා වූ දරුවා දැක, උක්දඬු ගෙන යන මිනිසා සමග කථා කළේය. ඒ පුරුෂයා වනාහි උපාසකයා සමග කිසිවක් කථා නො කළේය. උපාසක තෙමේ හඬන්නා වූ දරුවා පෙන්නා මොහුට උක්දඬු කෑල්ලක් දෙවයි කීයේය. ඒ අසා ඒ මිනිසා නො ඉවසමින්, අවමන් සිත් උපදවා අනාදරයෙන් එක් උක්දඬු කෑල්ලක් පිටි පස්සට විසි කළේය.
හෙතෙම ඉන් පසු කලෙක කළුරිය කොට බොහෝ කාලයක් පුරුදු කරන ලද ලෝභකමේ විපාක වශයෙන් ප්රේත යෝනියේ උපන්නේය. එහි ඵලය නම් ස්වකීය කර්මයට සමාන වෙයි. අට කිරියක් (අමුණු තිස් දෙකක්) පමණ පැතිර පවත්නා වූ අඳුන්වන් මෝල් ගස් පමණ උක්ගස් වලින් ඝනව ගැවසීගත් මහත් උක් වනයක ඔහු උපත ලැබීය. ඒ ප්රේතයා උක් දණ්ඩක් කනු කැමතිව ඔහු උක් වනයට ගියහොත් උක්දඬු ඔහුට හිංසා පීඩා කෙරෙත්, ඒ ප්රේතයා එයින් සිහි නැතිව වැටෙයි.
එක් දවසක් ආයුෂ්මත් මහමුගලන් ස්ථවිරයන් වහන්සේ පිඬු පිණිස රජගහ නුවරට වඩිනා සේක්, අතරමග දී ප්රේතයා දුටුවේය. ඒ ප්රේත තෙමේ මුගලන් හිමියන් දැක තමන් විසින් කළ කර්මය පිළිබඳව විචාරමින් ගාථා කීය.
ස්වාමීනි ස්වල්ප නුවූ කුසල විපාක වශයෙන් මහත් වූ උක් වනයක මම උපත ලැබීමි. එහෙත් එය දැන් මගේ පරිභෝගයට අවකාශ නොදෙයි. මේ වූකලි කෙබඳු අකුසල කර්මයක්හුගේ විපාකයක් ද?
මම යම්කිසි උක් රසයක් අනුභව කිරීමට උත්සාහ කරමි ද? ප්රයෝග කරමි ද, එහිදී මම කපනු ලබමි, වැනසෙමි. සුන්බල ඇතිව බැගෑපත්ව, අතිශයින් විලාප කියමි. මේ කෙබඳු අකුසල කර්මයක විපාකයක් ද?
ස්වාමීනි! මම ශක්ති නැතිව (මුර්ඡාවී) බිම වැටෙමි. ගොඩට ගත් මත්ස්යයකු අව්වෙන් රත්වූවාක් මෙන් පෙරළෙමි. හඬන්නා වූ මගේ ඇස්වලින් කඳුළු ගලන්නේය. මේ කෙබඳු අකුශල කර්මයෙක විපාක ද? කියා කියනු මැනවි.
හිමියනි! බඩගිනි ඇත්තේ වෙමි. උගුර තොල් තල්ල වියලුනේය. සිහිල් සුවය නොවිඳිමි. කෙසේ නම් උක් රස අනුභව කරන්නෙම් ද? මේ කාරණය මම ඔබගෙන් විමසමි.
ඔබ පෙර ආත්ම භවයෙහි මිනිසෙක් වී ඉපිද සිටියේය. එහිදී අකුසල කර්මයන් කෙළෙහිය. ඒ පිළිබද විස්තර මම තොපට කියමි. තොප එය අසා දනුව.
ඔබ දිනක් උක් දණ්ඩක් කමින් (පාරේ) ගියේය. ඔබේ පිටුපසින් තව පුරුෂයෙක් ලුහු බැඳ ගියේය. හෙතෙමේ ඔබට කිට්ටු වී ළං වී ආමන්ත්රණය කරමින් කථා කළේය. ඔබ ඔහු සමග කථා නොකළේය.
හෙතෙමේ කථා නොකරන ඔබගෙන් උක්දණ්ඩක් දෙවයි ඇයැදීය. ඔබ ඔහුට පිටුපසින් උක් දණ්ඩක් දැමීය. ඒ කර්මයාගේ විපාකය මෙයයි.
එබැවින් තෝ පිටිපසින් උක්දඬු ගනුව, එසේ ගෙන යැපෙන තාක් කනු මැනවි. එයින් තෝ සතුටු සිත් ඇති වන්නෙහිය. තුටු වූයේ වන්නේය. ඔද වඩවා පිණා යන්නේය.
ඒ ප්රේත තෙමේ ගොස් පිටිපසින් උක්ගස් ගත්තේය. එසේ ගෙන යැපෙන තරම් ඇති තාක් කෑවේය. එයින් ඔහු සතුටු සිත් ඇත්තේ වූයේය. ඔදවැඩි බවට පැමිණියේය. ප්රමුදිත වූයේය.
මේ ප්රේතයා විසින් ද, මුගලන් තෙරුන් විසින් ද කියන ලද ගාථායි.
එහි කිස්සා - යනු කෙබඳු ආකාරයක කර්මයක් ද යන අදහසයි. හඤ්ඤාමි - යනු විනාශ වෙමි. පීඩාවට පත්වෙමි. විහඤ්ඤාමි - යනු බාධා කළෙමි. විශේෂයෙන් පෙළෙමි යන අර්ථයි. ඛජ්ජාමි - යනු කමි කඩුපත් වලින් කපන්නාක් මෙන් උක් කොළවලින් මගේ සිරුර කැපේ යන අර්ථයි. වායමාමී - යනු උක්දඬු කෑමට උත්සාහ කරමි. පරිසක්කාමි - යනු ප්රයෝග කරමි උපාය යොදමි. පරිභුඤ්ජිතුං - යනු උක්රස විඳීමට කෑමට යන අර්ථයි. ජින්නත්ථාමො - යනු සිඳුනා වූ උත්සාහ ඇතිව, සිඳුනා වූ වීර්ය ඇතිව, පිරිහී ගිය ශක්ති ඇතිව, කපණො - යන දීන වූ, ලාලපාමි - යනු දුකින් ආද්ර වී, දුකින් මැඩ පැවැත්වී, අතිශයින් වැළපීමි.