15. සෙට්ඨිපුත්ත ප්‍රෙතවස්තු වර්ණනාව
“සට්ඨිවස්ස සහස්සානි” යනු මේ සෙට්ඨිපුත්ත ප්‍රේතවත්ථු කථාවයි. කවුරුන් නිසා උපන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි, ප්‍රසේනජිත් කෝසල රජු අලංකාර රාජාභරණයෙන් සැරසී, උතුම් ඇතා පිට නැගී මහත් වූ රජසිරින් මහත් වූ රාජානුභාවයෙන් නගර සංචාරයේ යෙදෙද්දී, එක්තරා ගෙයක උඩුමහල් තලයෙහි කවුළු පියන් හැරගෙන රජසිරි බලන්නා වූ, රූප සම්පත්තියෙන් දෙවඟනක් බඳු වූ එක් ස්ත්‍රියක දැක, පෙර නොදුටු අරමුණෙහි වහාම උපන්නා වූ ක්ලේශ සහගත හැසිරීමෙන් යුක්ත වූ, වැළදගත් සිත් ඇතිව, කුල රූප ආචාර ආදී ගුණ යුත් ඇතොවුරු කාන්තාවන් ඇති කල්හිඳු ස්වභාව වශයෙන් මහා පෙරළෙන්නා වූ දමනය නොකට හැකි සිතේ ස්වභාව වශයෙන්, ඒ ස්ත්‍රිය කෙරෙහි පිළිබඳ සිත් ඇතිව, පසු අසුනෙහි සිටි පුරුෂයාට, මේ ගේ හා මේ ස්ත්‍රිය පිළිබඳව සනිටුහන් කරගනුවයි කියා රජ වාසලට පිවිසියයේය. අනෙක් සියල්ල අම්බසක්ඛර ප්‍රේත වස්තුවෙහි ආ පරිද්දෙන් දත යුතුය.
මෙහි කියන්නේ (ඊට වඩා) ඇති වෙනසයි - මෙහිදී ඒ පුරුෂයා හිරු බසින්නට පෙරම පැමිණ නුවර දොර වැසු කල්හි තමන් විසින් ගෙන එන ලද අරුණුවන් මැටි හා උපුල් ආදිය නුවර දොර කවුළුවෙහි එල්වා නිදා ගැනීමට ජේතවනයට ගියේය. රජු වනාහි සිරියහනෙහි නිදන්නේ මැදියම් රෑ ස, න, ද, සො, යන මේ අකුරු සතර යටි උගුරෙන් කියන ලදුව මරහඬක් මෙන් ඇසුණේය. ඒ වූකලි ඈත අතීතයේ සැවැත්නුවර වැසි සම්පත් මදයෙන් මත් වූ සිටුපුත්‍රයන් සිව් දෙනෙකු විසින් තරුණ කාලයේ දී පරදාර සේවන කර්ම වසයෙන් බොහෝ අකුසල් කොට, එයින් පසු කලෙක කළුරිය කොට ඒ නගරය සමීපයෙහිම ලෝකුඹු නරකයේ මුවවිටට පැමිණ එක එක ගාථාව කියනු කැමතිව කියන ලද ගාථාවන්ගේ මුල් අකුරු පමණක්ම කියා වේදනාවට පත්වී ලෝකුඹු නරකයෙහිම ගිලුණාහුය.
රජු ඒ ශබ්දය අසා බියෙන් තැතිගත් සිත් ඇතිව, උකටලීවැ, ලොමු දැහැගැනීම් ඇතිව, ඒ රාත්‍රිය දුකසේ කල් ගෙවා, රෑ පහන් වූ කල්හි පුරෝහිතයා කැඳවා ඒ ප්‍රවෘත්තිය කීවේය. පුරෝහිතයා රජු බිය පත් වූ බව දැන, ලාභයෙහි ගිජුව මට සහ බමුණන්ට ලාභ උපදින මගක් උපායක් ඇත්තේ යයි සිතා, මහරජ! ඒකාන්තයෙන් මහත් උපද්‍රවයක් ඇතිවන්නේය. සබ්බ චතුෂ්ක යාගය කළ යුතු යයි කීයේය. රජු ඔවුන්ගේ විසඳුම් පිළිතුරු අසා ඇමතිවරුන් කැඳවීය. සර්ව චතුෂ්ක යාගය කරන්නට උපකරණ සපයන්නැයි ඇමතිවරුන්ට නියෝග පැනවීය. මල්ලිකා දේවිය මෙය අසා මහරජතුමනි! කවර හෙයකින් මේ බමුණන්ගේ වචන අසා නොයෙක් සතුන්ට වධ හිංසා පමුණුවන්නේ කවර හෙයින් ද? සියලු තන්හි නොපැකිලෙන නුවණින් යුත් භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසියයුතු නොවේදැයි රජුට කීවාය. රජ තෙමේ ඇගේ වචනය අසා ශාස්තෲන් වහන්සේ වෙත ගොස් ඒ පුවත භාග්‍යවතුන් වහන්සේට දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ මහරජ තොපට ඒ ශබ්දයෙන් කිසිම අන්තරාවක් නැතැයි වදාරා අතීතයේ පටන් ඒ ලෝකුඹු නිරයේ උපන් සත්ත්වයන්ගේ සියලු කථා ප්‍රවෘත්තිය වදාරා ඔවුන් විසින් වෙන වෙනම කියන්නට පටන්ගත් ගාථා සම්පුර්ණ කොට වදාළ සේක.
ලෝකුඹු නරකයෙහි පැසෙන්නා වූ අපට සැට දහසක් අවුරුදු ඉක්ම ගියේය. කවර කලෙක අපගේ මේ දුක් කෙළවර වන්නේ ද?
නිදුකාණනි! මගේ ද ඔබගේ ද දුක් විදීමේ කෙළවරක් නැත. අවසානයක් කොයින්ද? කෙළවර දක්නට නොලැබේ. එබදු වූ පව්කම් අප විසින් කරන ලදී.
යම්කිසි වස්තූන් ඇති කල්හි අපි (දන්) නොදුනිමු. ඉතා නරක දිවි පැවැත්මක් ඇතිව ජීවත් වීමු. දාන වස්තුව තිබියදීත් තමන්ට පිහිටක් කර නොගත්තෙමු.
ඒ මම මෙයින් මිදී මිනිසකු වී ඉපදුනහොත්, සීල සම්පන්න වී බොහෝ වශයෙන් කුසල් කරන්නට යුහුසුළු වෙමියි කීයේය.
එහි සට්ඨිවස්ස සහස්සානි - යනු අවුරුදු සැට දහසක් එකල්හි වනාහි ලෝකුඹු නිරයේ උපන් සත්ත්වයෝ, එහි පතුලට යාමට වසර තිස් දහසක් ගතවෙයි. යටටම යයි. එයින් උඩට එන්නෝ වසර තිස්දාහක දී මුවවිටි පෙදෙසට (කටළගට) පැමිණෙති. ඒ හැඟීමෙන් හෙතෙම “සට්ඨිවස්ස සහස්සානි පරිපුණ්ණනි සබ්බසො” යන ගාථාව කියනු කැමැත්තේ, ස යන්න පමණක් කියා බලවත් වේදනාවට පැමිණියේ (නැවත) යටට ගිලී ගියේය. භාග්‍යවතුන් වහන්සේ ඒ ගාථාව රජුට සම්පූර්ණාකාර වදාළහ. අනෙක් ගාථා පිළිබඳව ද මේ ක්‍රමයමැයි. එහි කදා අන්තො භවිස්සති - යනු ලෝකුඹු නිරයේ පැසෙන්නා වූ අයගේ මේ දුක කවරදා නම් කෙළවර වන්නේ ද
තථාහි යනු ඔබගේ හා මගේ මේ දුකෙහි කෙළවරක් අන්තයක් නො පෙනෙන්නේය. යම්සේ ඔබ හා අප විසින් යම්කිසි ආකාරයක අකුසල කර්මයන් කරන ලද්දේ ද ඒ අනුව දුක් අවසන් නො වන්නේ යයි කිව යුතුයි.
දුජ්ජීවිතං - යනු නුවණැත්තන් විසින් ගර්හා කරන ලද දිව් පැවැත්ම, යෙ සන්නෙ - යනු අප සතුව දන් දිය යුතු වස්තූන් තිබියදී, න දදවහසෙ - යනු නුදුන්නෙමු අපට පිහිටවන්නා වූ කිසිවක් කරන්නට, අපි නො පෙළඹුනෙමු යන්න කීමට සන්තෙසු දෙය්ය ධම්මෙසු දීපං නාකම්හ අත්තනො - ආදිය කියන ලදී.
සො යනු ඒ මම නූනා - වත්ත පරිවිතර්කයෙහි නිපාතයි. ඉතො - යනු මේ ලෝකුඹු නරකයෙන්, ගනත්වා - යනු චුත වී ගොස් යොනිං ලද්ධාන මානුසිං - යනු මිනිස් යෝනියෙහි මනුෂ්‍ය ආත්මභාවය ලැබ, වදඤ්ඤ යනු යාචකයන් පරිත්‍යාගශීලි වෙමියි කියයි. සීලසම්පන්තො - යනු ශීලයෙන් හා ආචාර සම්පන්න බවින් යුක්ත වී, කාහාමි කුසලං බහු - යනු පෙර මෙන් ප්‍රමාදයට නොපැමිණ බොහෝ සෙයින් මහත් වූ කුසල කර්මයන් කරන්නෙමියි පින් රැස් කරන්නෙමි යන අර්ථයයි.
ශාස්තෲන් වහන්සේ මේ ගාථා වදාර විස්තර වශයෙන් ධර්ම දේශනාකළ සේක. දේශනාවසානයේ රතු උපුල් ගෙනා පුරුෂයා සෝවාන් පෙළෙහි පිහිටියේය. රජු හටගත් සංවේග ඇත්තේ පරදාර සේවන අදහසින් වෙන්වී ස්වදාර පරිහරණයෙන් සතුටු වූයේය.