16. සට්ඨිකූටසහස්ස ප්‍රෙතවස්තු වර්ණනාව
“කිං නු උම්මත්ත රූපොවා” මේ ප්‍රේත වත්‍ථු කථා ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවන විහාරයෙහි වැඩ වසද්දී එක්තරා ප්‍රේතයකු අරබයා වදාළ සේක. යටගිය දවස බරණැස් නුවර ගල්විදීමේ දක්ෂ හා අකුරු ගැසීමේ දක්ෂ එක්තරා කොරෙක් නුවර දොරටුවේ නුගරුක මුල හිඳගෙන ගල්කැට වීදීමෙන් ඇත්, අස්, රථ, මිනිස්, ගෙවල්, කොඩි, පුන්කළස් ආදී වූ රූප කොළවල සිතුවම් කර දක්වයි. නගරයේ දරුවෝ ක්‍රීඩා සදහා මස්සක් අඩමස්සක් කොරාට දී කොරා ලවා විවිධ රූප නිමවති.
එක් දිනක් බරණැස් රජු නුවරින් පිටත්ව ඒ නුගරුක මුලට පිවිසියේ නුග පත්වල ඇත් අස් ආදී විවිධ රූප බොහෝසෙයින් දැක මිනිසුන්ගෙන් මේ කොළවල මෙසේ නොයෙක් විධියේ රූප සටහන් කවරෙකු විසින් කරන ලද්දේදැයි විචාළහ. එවිට මිනිස්සු ස්වාමීනි! මොහු විසිනැයි කොරා පෙන්නූහ. රජු ඔහු කැඳවා මෙසේ කීය. සගය මා විසින් පෙන්වනු ලබන පුරුෂයකු කථාකරමින් සිටින විට, ඔහු නොදැනුවත්වම ඔහුගේ කුස එළුබෙටි වලින් පිරවිය හැකිදැයි විචාළේය. හෙතෙම පුළුවනි යයි කීය. රජු තමන්ගේ රාජ භවනයට ඔහු ගෙන්වා, බොහෝ කථා කරන්නා වූ පෙරෙවි බමුණා කෙරෙහි කළකිරුණු සිත් ඇතිව, පෙරෙවි බමුණ ගෙන්වා, තිරයෙන් වට කරන ලද, මහජනයාගෙන් හිස් වූ ස්ථානයක හිඳ පෙරෙවි බමුණු හා කථාව ආරම්භ කරමින් පිළා කැඳවීය. පිළා නැලියක් පමණ එළුබෙටි රැගෙන ගොස්, රජුගේ සිතුවිලි දැන, පුරෝහිතයාගේ අභිමුඛයෙහි හුන්නේ ඔහුගේ උගුර ලඟට එනතෙක් විද්දේය. පුරෝහිතයා ද එළුබෙටි වමාරා දැමිය නොහැකිව ගිල්ලේය. ඉක්බිති රජතෙම ඔහුට මෙසේ කීය. ඔබ විසින් තොරතෝංචියක් නැතිව කථා කිරීමේ විපාකය දැන් විඳින ලදී. ඔබගේ බඩ එළුබෙටි වලින් පිරි ඇත. පුරෝහිතය දැන් යව, ගොස් කුකුරුමාන් ගෙඩි හා පුවඟු කොළ ආදියෙන් සකස් කල කැඳ බී එළුබෙටි වමාරා දමවයි එසේ කළවිට ඔබ සුවපත් වන්නේ යයි පිටත්කර හැරියේය. පිළා කෙරෙහි පැහැදුණු රජු ඔහුට ගම්වර තුදුසක් දුන්නේය. එතැන් පටන් පිළා ගම්වර ලැබ තමන් සැපවත් වෙමින්, පිනමින් අනුන් ද පිරිවර ජනයා ද සැපවත් කරවමින් පිනවමින්, ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට සුදුසු පරිදි දන් දෙමින් මෙලොව හා පරලොව සඳහා අර්ථවත් වැඩෙහි යෙදෙමින් සුවසේ ජීවත් වේ. තමන් සමීපයට ශිල්ප ඉගෙනීම සඳහා එන්නා වූ අයට බත් වැටුප දුන්නේය.
ඉක්බිතිව එක් පුරුෂයෙක් ඔහු සමීපයට පැමිණ මෙසේ කීය. ආචාරීන් වහන්ස! මටත් මේ ශිල්පය උගන්වනු මැනැවි. මට බත් වැටුප් අවශ්‍ය නැත. හෙතෙම ඒ පුරුෂයාට ශිල්පය දී හික්මවීය. හෙතෙම ශිල්ප උගෙන උගත් ශිල්පය විමසනු කැමැතිව, ගංතෙරට ගොස්, ගංතෙර වැඩසිටි සුනෙත්ත නම් වූ පසේ බුදුන් වහන්සේගේ හිසට ගලක් අතකුරු ගැසීමෙන් හිස බින්දේය. පසේ බුදුන් වහන්සේ ගං තෙරම පිරිනිවන් පෑ සේක. මිනිස්සු ඒ පුවත අසා එහිදීම ගල් මුල් දඬු ආදියෙන් ගසා ඔහුගේ දිවි තොර කළහ. හෙතෙම කළුරිය කොට අවීචි මහා නිරයේ ඉපිද බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයේ පැසී එම කර්මයාගේ විපාක වශයෙන් මෙම බුද්ධෝත්පාදයෙහි රජගහ නුවරට නුදුරුව ප්‍රේතයකු වී උපන්නේය. ඔහුගේ කර්මයට සරිලන විපාක වශයෙන් අකුසල කර්ම වේගයෙන් ඔසවන ලදුව, පෙරවරුයේ ද, මධ්‍යාහ්නයේ ද, සවස් කාලයේ ද යකඩ කුළු සැට දහසක් හිස මතුපිට වැටී සුන් බුන් වූ හිස ඇතිව ඉතා බලවත් වේදනාවට පැමිණ බිම වැටෙයි. යකුළු පහර වැදීම අවසන් වූ විගස ප්‍රකෘති සිහි ඇතිව, තිබූ පරිදි හිසින් යුතුව සිටියි.
එක් දවසක් ආයුෂ්මත් මහා මුගලන් ස්ථවිරයෝ ගිජුකුළු පව්වෙන් බසිද්දී මේ ප්‍රේතයා දැක මේ ගාථාවෙන් කරුණු විචාළේය.
ඔබ උමතු ස්වභාව ඇත්තෙකු මෙන් ද, බියට පත් වූ මුවෙකු මෙන් ද කුමක් හෙයින් ඔබ මොබ දුවයි ද? නිසැක වම පව්කම් ඇත්තෙකි. කුමක් හෙයින් නාද කරමින් කෑ ගසමින් හැසිරෙන්නේ ද?
එහි උම්මත්ත රූපො වා - යනු උමතු වූවාක් මෙන්, උමතු බවට පැමිණියාක් මෙනි, මිගො හන්තොවධා වසී - යනු බියටපත් වූ මුවෙකු මෙන් එහා මෙහා දුවයි. හෙතෙමේ වනාහි යකුළු පහර හිසෙහි වැටෙන කල්හි ද, ආරක්ෂවක් නො දකින්නේ, ඒ පහර වළක්වාගනු රිසියෙන් ඔබ මොබ දුවයි. එසේ වුවත් අකුසල කර්ම වේගයෙන් ඔසවන ලදුව කොහේ හිටියත් යකුළු පහර හිස මත්තෙහි වැටේමය. කින්නු සද්දා යසෙ තුවං කුමක් නිසා ඉතා දුක් බව හඟවන ශබ්දයක් කරමින් හැසිරෙන්නේ ද?
ඒ අසා ප්‍රේතයා මෙසේ ගාථා දෙකකින් පිළිතුරු දුන්නේය.
ස්වාමීනි! යමලෝකය නමින් හඳුන්වන ප්‍රේත ලෝකයෙහි උපන්නා වූ මම ප්‍රේතයෙක් වෙමි. මිනිසකුව සිටින කල කරන ලද පාප කර්ම හේතුවෙන් මෙසේ ප්‍රේත ලෝකයෙහි දුගතියෙහි උපත ලද්දෙමි.
මගේ හිසෙහි අනූන වූ යකුළු පහර හැටදහසක් හැම දිසාවකින්ම වැටෙත්, ඒ යකුළු පහර මගේ හිස පොඩි කරත්. බිඳ දමති.
මෙහි සට්ඨිකූට සහස්සානි - හැට දහසක් පමණ වූ කුළු ගෙඩි පහරවල් පරිපුණ්ණානි - යනු අඩු නැතිව, සබ්බසො - හැම පැත්තෙන්ම, වැටේ ඒ ප්‍රේතයාට යකුළු පහරවල් හැට දහසක් වඳින්නට තරම් මහත් වූ විශාල වූ පර්වත කුටයක් පමණ හිසක් ඇත්තේ විය. ඒ හිසෙහි අස් ලොමක් බහාලන තරම්වත් ඉඩක් නොතබා ඔහුගේ හිස මතුපිට යකුළු පහර වදී. එයින් ඔහුගේ මස්තකය බිඳෙයි පොඩි වේ. ඒ නිසා මහත් හඬ දී ශබ්ද කරයි. සබ්බසො සීසෙ මය්හං නිපතන්ති, තෙ භින්‍දන්ති ච මත්‍ථකන්ති - එහෙයින් කියන ලදී.
ඉක්බිතිව ස්ථවිරයන් වහන්සේ ඔහු විසින් කළ කර්මය විචාරමින්
ඔබ ඔබගේ කය වචනය සිත යන මේ තිදොරින් කවර පාප කර්මයක් කළේ ද? කවර කර්ම විපාකයකින් මෙවන් දුකකට පැමිණියේ ද?
එකක්වත් අඩු නැතිව සැට දහසක් යකුළු පහරවල් වැදී, තොපගේ හිස බිඳී යයි. මස්තකය පොඩි වේ.
මේ ගාථා දෙක වදාළහ.
එවිට ප්‍රේතයා තමන් විසින් කරන ලද අකුසල කර්මය පැහැදිලි කරමින් මේ ගාථා තුන කීහ.
වඩන ලද ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් ඇතිව, ගසක් මුල භාවනානුයෝගීව වැඩ සිටි, බිය නැත්තා වූ සුනේත්‍ර නම් පසේ බුදුන් වැඩ සිටිනු මම දැක්කෙමි.
උන්වහන්සේගේ හිස ගල් විදුම් පහරකින් පොඩි කළෙමි. ඒ අකුසල කර්මයේ විපාකයෙන් මේ දුක මට පැමිණියේය.
නො අඩු වූ සැට දහසක් යකුළු පහරවල් හැම පැත්තෙන්ම, මගේ හිසට වදී, එයින් මගේ හිස පොඩි වෙත්.
එහි සම්බුද්ධස්ස - යනු පසේ බුදුන්, සුනෙත්තං - යනු සුනේත්‍ර නම් වී භාවිතින්‍ද්‍රියං - ආර්ය මාර්ග භාවනාවෙන් වැඩුණු ශ්‍රද්ධාදී ඉන්‍ද්‍රියයන් ඇති,