14. භොගසංහරණ ප්රෙතවස්තු වර්ණනාව
“මයං භොගෙ සංහරිම්හා” මේ භෝග සංහරන ප්රේත වස්තු කථාවයි. එය කවුරුන් නිසා උපන්නේ ද? භාග්යවතුන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වසන සමයේ රජගහනුවරවාසී ස්ත්රීහු සතර දෙනෙක් හොර මැණීම් කිරීම් ආදී වශයෙන් ගිතෙල්, පැණි, තෙල්, ධාන්ය ආදිය වෙළදාම් කොට නුනුවණින් ධනය රැස්කොට ජීවත් වී, මරණයෙන් පසුව පිටිනුවර දිය අඟලක් මතුපිට ප්රේතියන් වී උපන්නාහ. ඈලා රාත්රියෙහි දුකින් පීඩිතව මඩනා ලදුව.
මයං භොගෙ සංහරිමහා සමෙන විසමෙන ච
තෙ අඤ්ඤෙ පරි භුඤ්ජන්ති - මයං දුක්ඛස්ස භාගිනී
තෙ අඤ්ඤෙ පරි භුඤ්ජන්ති - මයං දුක්ඛස්ස භාගිනී
ආදී වශයෙන් විලාප කියමින්, භයානක වූ මහ හඬින් මුර ගෑවාහුය. මිනිස්සු අසා බියෙන් තැති ගැනී, රෑ නිදි නොලැබ, උදය කාලයේ බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහා දන් පිළියෙළ කොට ශාස්තෲන් ප්රමුඛ මහා සංඝයා පමුණුවා ප්රණීත වූ ආහාර පානාදියෙන් වළදවා, භාග්යවතුන් වහන්සේ වළදා අවසන පාත්රයෙන් ගත් අත් ඇතිව වැඩහුන් කල්හි ඒ ප්රවෘත්තිය උන්වහන්සේට සැළ කළහ. භාග්යවතුන් වහන්සේ උපාසකවරුණි! ඔවුන්ගේ ඒ ශබ්දයෙන් තොපට කිසිදු අන්තරාවක් නැත. ප්රේතියන් සතරදෙනෙක් දුකින් පීඩිත වී, තමන් විසින් කරන ලද පාපකර්මයන් කියමින් වැළපීම් වශයෙන් වැළපෙන්නා වූ ශබ්දයයි වදාරා
මේ ගාථාව වදාළහ.
එහි භොගෙ - යනු පරිභෝග කළ යුතු යන අර්ථයෙන් භෝග නම් වස්ත්රාභරණාදිය වශයෙන් මසුරු මළයෙන් බැඳුනු සිත් ඇතිව, සංහරිම්හා යනු මසුරු මළයෙන් බැදුණු සිත් ඇතිව, කිසිවකුට කිසිවක් නොදී ධනය රැස් කළෙමු සමෙන විසමෙනවා - යනු යුක්තියෙන් ද අයුක්තියෙන් ද, සාධාරණ නැති අසාධාරණ ප්රතිපත්ති මගින් ඒ වස්තූන් අපි රැස් කළෙමු. දැන් ඒවා වෙනත් අය භුක්ති විඳිති. මයං දුක්ඛස්ස භාගිනී යනු අපි වනාහි කිසිම සුචරිතයක් නොකොට, දුශ්චරිතයන්ම කරන ලද බැවින්, දැන් ප්රේත යෝනියෙහි ඉපදී මහත් වූ දුක්වලට හිමිකාරියෝ වීමු. මහත් දුක් විඳිමු යන අර්ථයයි.
මෙසේ භාග්යවතුන් වහන්සේ ප්රේතීන් විසින් කියන ලද ගාථාව වදාරා ඔවුන්ගේ අතීත ප්රවෘත්ති කථාව කියා එය මූලික හේතුව කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කොට මත්තෙහි සිව්සස් ප්රකාශ කළහ. සිව්සස් ප්රකාශය අවසානයේ දී බොහෝ දෙනා සෝවාන් ඵල ආදී මාර්ග ඵලයන්ට පැමිණුනාහුය.
භෝග සංහරණ ප්රේත වස්තු වර්ණනාව නිමියේය.
15. සෙට්ඨිපුත්ත ප්රෙතවස්තු වර්ණනාව
“සට්ඨිවස්ස සහස්සානි” යනු මේ සෙට්ඨිපුත්ත ප්රේතවත්ථු කථාවයි. කවුරුන් නිසා උපන්නේ ද? භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කල්හි, ප්රසේනජිත් කෝසල රජු අලංකාර රාජාභරණයෙන් සැරසී, උතුම් ඇතා පිට නැගී මහත් වූ රජසිරින් මහත් වූ රාජානුභාවයෙන් නගර සංචාරයේ යෙදෙද්දී, එක්තරා ගෙයක උඩුමහල් තලයෙහි කවුළු පියන් හැරගෙන රජසිරි බලන්නා වූ, රූප සම්පත්තියෙන් දෙවඟනක් බඳු වූ එක් ස්ත්රියක දැක, පෙර නොදුටු අරමුණෙහි වහාම උපන්නා වූ ක්ලේශ සහගත හැසිරීමෙන් යුක්ත වූ, වැළදගත් සිත් ඇතිව, කුල රූප ආචාර ආදී ගුණ යුත් ඇතොවුරු කාන්තාවන් ඇති කල්හිඳු ස්වභාව වශයෙන් මහා පෙරළෙන්නා වූ දමනය නොකට හැකි සිතේ ස්වභාව වශයෙන්, ඒ ස්ත්රිය කෙරෙහි පිළිබඳ සිත් ඇතිව, පසු අසුනෙහි සිටි පුරුෂයාට, මේ ගේ හා මේ ස්ත්රිය පිළිබඳව සනිටුහන් කරගනුවයි කියා රජ වාසලට පිවිසියයේය. අනෙක් සියල්ල අම්බසක්ඛර ප්රේත වස්තුවෙහි ආ පරිද්දෙන් දත යුතුය.
මෙහි කියන්නේ (ඊට වඩා) ඇති වෙනසයි - මෙහිදී ඒ පුරුෂයා හිරු බසින්නට පෙරම පැමිණ නුවර දොර වැසු කල්හි තමන් විසින් ගෙන එන ලද අරුණුවන් මැටි හා උපුල් ආදිය නුවර දොර කවුළුවෙහි එල්වා නිදා ගැනීමට ජේතවනයට ගියේය. රජු වනාහි සිරියහනෙහි නිදන්නේ මැදියම් රෑ ස, න, ද, සො, යන මේ අකුරු සතර යටි උගුරෙන් කියන ලදුව මරහඬක් මෙන් ඇසුණේය. ඒ වූකලි ඈත අතීතයේ සැවැත්නුවර වැසි සම්පත් මදයෙන් මත් වූ සිටුපුත්රයන් සිව් දෙනෙකු විසින් තරුණ කාලයේ දී පරදාර සේවන කර්ම වසයෙන් බොහෝ අකුසල් කොට, එයින් පසු කලෙක කළුරිය කොට ඒ නගරය සමීපයෙහිම ලෝකුඹු නරකයේ මුවවිටට පැමිණ එක එක ගාථාව කියනු කැමතිව කියන ලද ගාථාවන්ගේ මුල් අකුරු පමණක්ම කියා වේදනාවට පත්වී ලෝකුඹු නරකයෙහිම ගිලුණාහුය.
රජු ඒ ශබ්දය අසා බියෙන් තැතිගත් සිත් ඇතිව, උකටලීවැ, ලොමු දැහැගැනීම් ඇතිව, ඒ රාත්රිය දුකසේ කල් ගෙවා, රෑ පහන් වූ කල්හි පුරෝහිතයා කැඳවා ඒ ප්රවෘත්තිය කීවේය. පුරෝහිතයා රජු බිය පත් වූ බව දැන, ලාභයෙහි ගිජුව මට සහ බමුණන්ට ලාභ උපදින මගක් උපායක් ඇත්තේ යයි සිතා, මහරජ! ඒකාන්තයෙන් මහත් උපද්රවයක් ඇතිවන්නේය. සබ්බ චතුෂ්ක යාගය කළ යුතු යයි කීයේය. රජු ඔවුන්ගේ විසඳුම් පිළිතුරු අසා ඇමතිවරුන් කැඳවීය. සර්ව චතුෂ්ක යාගය කරන්නට උපකරණ සපයන්නැයි ඇමතිවරුන්ට නියෝග පැනවීය. මල්ලිකා දේවිය මෙය අසා මහරජතුමනි! කවර හෙයකින් මේ බමුණන්ගේ වචන අසා නොයෙක් සතුන්ට වධ හිංසා පමුණුවන්නේ කවර හෙයින් ද? සියලු තන්හි නොපැකිලෙන නුවණින් යුත් භාග්යවතුන් වහන්සේගෙන් ඇසියයුතු නොවේදැයි රජුට කීවාය. රජ තෙමේ ඇගේ වචනය අසා ශාස්තෲන් වහන්සේ වෙත ගොස් ඒ පුවත භාග්යවතුන් වහන්සේට දැන්වීය. භාග්යවතුන් වහන්සේ මහරජ තොපට ඒ ශබ්දයෙන් කිසිම අන්තරාවක් නැතැයි වදාරා අතීතයේ පටන් ඒ ලෝකුඹු නිරයේ උපන් සත්ත්වයන්ගේ සියලු කථා ප්රවෘත්තිය වදාරා ඔවුන් විසින් වෙන වෙනම කියන්නට පටන්ගත් ගාථා සම්පුර්ණ කොට වදාළ සේක.