13. අම්බරුක්ඛ ප්‍රෙතවස්තු වර්ණනාව
“යං දදාති න තං හොති” ආදී වූ මෙය අක්‍ඛදායක ප්‍රේතයාගේ කථා වස්තුවයි. කවරෙකු නිසා මෙය උපන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩ වසන සමයෙහි සැවැත්නුවර වාසී එක්තරා උපාසකයෙක් ගැල භාණ්ඩ පුරවාගෙන ආපසු සැවැත් නුවරට පැමිණීම සදහා කරත්තයට නැගී මාර්ගයට අවතීර්ණ විය. ඔහු මාර්ගයේ ගමන් කරමින් එනවිට අතරමග දී එක් කරත්තයක අලවංගුව බිදිණ. එකල්හි එක්තරා පුරුෂයෙක් ගසක් කපා ගැනීම සඳහා පොරවක් ද අත්පොරවක් ද රැගෙන තම ගමින් නික්ම වනයෙහි හැසිරෙන්නේ, ගැල බිඳුනු තැනට පැමිණ, අලවංගුව බිඳීයාම නිසා දොම්නසට පැමිණිසිටි වෙළෙන්දා දැක, මේ වෙළෙන්දා සිය ගැල බිඳීම නිසා යාමට නො හැකිව වනයේම ක්ලාන්ත වේ යයි අනුකම්පා කොට ගසක අත්තක් කපා අලවංගුවක් තනා කරත්තය තනා දුන්නේය.
හෙතෙම ඉන්පසු මෑත කාලයේ කළුරිය කොට ඒ වනයේම භූම්‍යස්ථ දෙවියෙකුව උපන්නේය. ඔහු තමා විසින් කරන ලද කර්ම සිහිනුවණින් සලකා බලන්නේ, රාත්‍රියෙහි යටකී උපාසක වෙළෙන්දගේ ගෙට ගොස් ගේ දොරකඩ සිට මේ ගාථාව කීහ.
යම් දාන වස්තුවක් දේ ද එයම නොවේ. (වැඩියක්ම) දෙන්නේමය එසේ දී දෙලොව දුකින් එතෙර වෙයි. ඒ දාන හේතුවෙන් දෙලොව සැපතට පැමිණේ. පුබුදුවව, පින්කම්හි පමා නොවෙව.
එහි - යං දදාති න තං හොති - යම් දෙය්‍ය ධර්මයක් දානවස්තුවක් දෙයි ද විපාක දෙන්නේ ඒ දෙයම නොවේ. තවත් බොහෝ දේ මනාප දේ, සිතට ප්‍රිය වූ දේ, සිත් අලවන දේ, විපාක වශයෙන් ලැබෙන්නේමය. එහෙයින් දෙථෙවදානං - කැමති වූ පරිද්දෙකින් දන් දිය යුත්තේමය. එයට කරුණු මෙසේ කියමි. දත්‍වා උභය තරතී - යනු දන් දී ඉහාත්මයෙහි ද, පරලොව ද දුක් අනර්ථ ඉක්මවයි. උභයං තෙන දානෙන ගච්ඡතී - යනු ඉහාත්ම වශයෙන් ද පරලො වශයෙන් ද, දොලොවම ඒ දානමය පිනෙන් සැපයට පැමිණෙයි. සැපයට පමුණුවයි. තමන්ගේ ද අනුන්ගේ ද හිත සුව පිණිසම මේ අර්ථය යෙදිය යුතුය. ජාගරථ මා පමජ්ජථා - යනු මෙසේ දෙලොවම අනතුරු දුක් නිවාරණය සදහා ද දෙලොවම හිත සුව පිණිස ද, දන් දීමම වටී. දානෝපකරණ පිළියෙළ කොට එහි අප්‍රමාදීව, නිදි නොලබව යන අර්ථයි. ආදර හිතවත්කම් වශයෙන් ද, නැවත නැවත කීම් වශයෙන් ද, මෙය කියන ලද්දේය.
වෙළෙන්දා ද තමන්ගේ කාර්යයන් අවසන් කොට, ක්‍රමයෙන් සැවැත්නුවරට පැමිණ දෙවැනි දවසේ ශාස්තෲන් වහන්සේ වෙත එළඹ වැඳ එකත්පස්ව සිටිමින් මේ ප්‍රවෘත්තිය බුදුන්වහන්සේට දැන්වීය. ශාස්තෲන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්මය දේශනා කළහ. ඒ දේශනා තොමෝ මහා ජනයාට සාර්ථක වූයේය.
අක්‍ඛරුක්‍ඛ ප්‍රේත වස්තුව නිමියේය.
14. භොගසංහරණ ප්‍රෙතවස්තු වර්ණනාව
“මයං භොගෙ සංහරිම්හා” මේ භෝග සංහරන ප්‍රේත වස්තු කථාවයි. එය කවුරුන් නිසා උපන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වසන සමයේ රජගහනුවරවාසී ස්ත්‍රීහු සතර දෙනෙක් හොර මැණීම් කිරීම් ආදී වශයෙන් ගිතෙල්, පැණි, තෙල්, ධාන්‍ය ආදිය වෙළදාම් කොට නුනුවණින් ධනය රැස්කොට ජීවත් වී, මරණයෙන් පසුව පිටිනුවර දිය අඟලක් මතුපිට ප්‍රේතියන් වී උපන්නාහ. ඈලා රාත්‍රියෙහි දුකින් පීඩිතව මඩනා ලදුව.
මයං භොගෙ සංහරිමහා සමෙන විසමෙන ච
තෙ අඤ්ඤෙ පරි භුඤ්ජන්ති - මයං දුක්‍ඛස්ස භාගිනී
ආදී වශයෙන් විලාප කියමින්, භයානක වූ මහ හඬින් මුර ගෑවාහුය. මිනිස්සු අසා බියෙන් තැති ගැනී, රෑ නිදි නොලැබ, උදය කාලයේ බුදුන් ප්‍රමුඛ භික්ෂු සංඝයාට මහා දන් පිළියෙළ කොට ශාස්තෲන් ප්‍රමුඛ මහා සංඝයා පමුණුවා ප්‍රණීත වූ ආහාර පානාදියෙන් වළදවා, භාග්‍යවතුන් වහන්සේ වළදා අවසන පාත්‍රයෙන් ගත් අත් ඇතිව වැඩහුන් කල්හි ඒ ප්‍රවෘත්තිය උන්වහන්සේට සැළ කළහ. භාග්‍යවතුන් වහන්සේ උපාසකවරුණි! ඔවුන්ගේ ඒ ශබ්දයෙන් තොපට කිසිදු අන්තරාවක් නැත. ප්‍රේතියන් සතරදෙනෙක් දුකින් පීඩිත වී, තමන් විසින් කරන ලද පාපකර්මයන් කියමින් වැළපීම් වශයෙන් වැළපෙන්නා වූ ශබ්දයයි වදාරා
මේ ගාථාව වදාළහ.
එහි භොගෙ - යනු පරිභෝග කළ යුතු යන අර්ථයෙන් භෝග නම් වස්ත්‍රාභරණාදිය වශයෙන් මසුරු මළයෙන් බැඳුනු සිත් ඇතිව, සංහරිම්හා යනු මසුරු මළයෙන් බැදුණු සිත් ඇතිව, කිසිවකුට කිසිවක් නොදී ධනය රැස් කළෙමු සමෙන විසමෙනවා - යනු යුක්තියෙන් ද අයුක්තියෙන් ද, සාධාරණ නැති අසාධාරණ ප්‍රතිපත්ති මගින් ඒ වස්තූන් අපි රැස් කළෙමු. දැන් ඒවා වෙනත් අය භුක්ති විඳිති. මයං දුක්‍ඛස්ස භාගිනී යනු අපි වනාහි කිසිම සුචරිතයක් නොකොට, දුශ්චරිතයන්ම කරන ලද බැවින්, දැන් ප්‍රේත යෝනියෙහි ඉපදී මහත් වූ දුක්වලට හිමිකාරියෝ වීමු. මහත් දුක් විඳිමු යන අර්ථයයි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රේතීන් විසින් කියන ලද ගාථාව වදාරා ඔවුන්ගේ අතීත ප්‍රවෘත්ති කථාව කියා එය මූලික හේතුව කොට ගෙන පැමිණ සිටි පිරිසට ධර්ම දේශනා කොට මත්තෙහි සිව්සස් ප්‍රකාශ කළහ. සිව්සස් ප්‍රකාශය අවසානයේ දී බොහෝ දෙනා සෝවාන් ඵල ආදී මාර්ග ඵලයන්ට පැමිණුනාහුය.