12. පොක්ඛරණී ප්‍රෙතවස්තු වර්ණනාව
“අයඤ්ච තෙ පොක්‍ඛරණී සුරම්මා” යන මේ ප්‍රේත වස්තු කථාව ශාස්තෲන් වහන්සේ සැවත් නුවර වැඩ වසද්දී අම්බ ප්‍රේතයා අරභයා වදාළහ. සැවැත්නුවර පිරිහීගිය සම්පත් ඇති එක්තරා ගෘහපතියෙක් සිටියේය. ඔහුගේ බිරිද කළුරිය කළාය. එකම දියණියක් ඔවුන්ට සිටියාය. ඒ ගෘහපතියා තමන්ගේ මිතුරෙකුගේ ගෙදර දියණිය නවත්වා ණය වශයෙන් ගත් කහවණු සියයකින් බඩු රැගෙන වෙළඳුන් සමග වෙළදාමේ ගියේ, ටික දිනකින් මුල් මුදල ද, ලාභ වශයෙන් කහවණු පන්සියයක් ද ලැබ වෙළද සමූහයා සමග නැවත සිය ගමට පැමිණියේය. අතරමග දී සොර මුළක් වෙළඳුන් මැඩගෙන පැමිණියාහුය. වෙළෙන්දෝ ඔබ මොබ පලාගියහ. ඒ ගෘහපතියා එක්තරා ගසෙක කහවණු සඟවා තබා අඳුරෙහි සැඟවිණි. සොරු ඔහු අල්ලා මැරීය. හෙතෙම ධනාශාවෙන් එහිම ප්‍රේතයෙක්ව උපන්නේය.
වෙළෙන්දෝ සැවැත් නුවරට ගොස් ඔහුගේ දියණියට ඒ ප්‍රවෘත්තිය කීහ. ඕ තොමෝ පියාගේ මරණයෙන් හා මතු ජීවත්වීමේ බියෙන් බලවත් ලෙස හටගත් කණගාටුවෙන් දැඩි සේ හැඬුවාය. ඉක්බිති ඇගේ පියාගේ යහළු කෙළඹියෙක් “යම් සේ කුඹලෙකු විසින් තනන මැටි භාණ්ඩ සියල්ල බිඳීමෙන් අවසන් වන්නේ ද? එමෙන්ම සත්ත්වයාගේ ජීවිතය ද බිඳීම මරණයෙන් අවසන් වේ. මරණය සර්ව සාධාරණයි. වැළැක්විය නො හැක්කේය. එබැවින් ඔබේ පියා මළ කල්හි ඉතා දැඩි සේ ශෝක නොකරව, නොවැළපෙනු මැනව මම තිගේ පියා වෙමි. තී මගේ දුවයි. මම තී කෙරෙහි පියාගේ යුතුකම් ඉටුකරමි. ඔබ තාත්තාගේ ගෙදරදී මෙන්ම මේ ගෙදර අමුතුකොට නොසිතා සිත් අලවා වසවයි කියා අස්වැසීය. ඕ තොමෝ ඔහුගේ වචනයෙන් සන්සිඳුණු ශෝක ඇතිව, පියා කෙරෙහි මෙන් ගෞරව පුර්වකව වතාවත් කරන්නී තමන්ගේ දුගී බැවින් ඔහුට වතාවත් කරන්නීව සිට, මිය ගිය පියා උදෙසා මතකදන් (ප්‍රේත කෘත්‍යය) දෙනු කැමතිව, කැඳ පිස සිරියෙල් පැහැය ඇති ඉදුණු අඹගෙඩි රං තැටියක තබාගෙන කැඳ සහ අඹ දාසියක ලවා ගෙන්වාගෙන විහාරයට ගොස් ශාස්තෲන් වහන්සේ වැඳ මෙසේ කීවාය. භාග්‍යවතුන් වහන්ස! මාගේ දක්ෂිණාව පිළිගෙන මා කෙරෙහි අනුකම්පා කරනු මැනැව, ශාස්තෲන් වහන්සේ මහා කරුණාවෙන් හටගත් සිත් ඇතිව ඇගේ අදහස් මුදුන්පත් කරමින් හිඳිනාකාර දැක්වීය. ඕ තොමෝ තුටු පහටු සිත් ඇතිව පණවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් බුදුන්ට, තමන් විසින් ගෙන එන ලද පිරිසිදු වස්ත්‍රය අතට දුන්නාය. පණවන ලද අසුනෙහි බුදුහු වැඩ උන්හ.
ඕ තොමෝ බුදුන්ට කැඳ පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ කැඳ පිළිගත් සේක. ඉක්බිති සඞ්ඝයා වෙත කැඳ පිළිගැන්වීය. කැඳ පුදා නැවත දෙ අත් සෝදා අඹගෙඩි බුදුන්ට පිළිගැන්වීය. භාග්‍යවතුන් වහන්සේ අඹ වැළදූහ. ඕ භාග්‍යවතුන් වහන්සේට වැඳ මෙසේ කීවාය. ස්වාමීනි! මා විසින් මේ කරන ලද, පසතුරණ, කැඳ හා අඹ පිළිගැන්වීම් වසයෙන් වූ දානමය පින්කමේ පිං මගේ මියගිය පියා වෙනුවෙන් අනුමෝදන් කරනු මැනවි, උදෙසාවා, භාග්‍යවතුන් වහන්සේ එසේ වේවායි පවසා පින් අනුමෝදන් කළේය. ඕ භාග්‍යවතුන් වැඳ පැදකුණු කොට ආපසු ගියාය. ඇය විසින් දක්ෂිණාව දුන් කෙණෙහිම ඒ ප්‍රේතයා අඹ උයන් විමාන, පොකුණු ආදිය හා මහත් දිව්‍ය සම්පත් ලදහ.
ඉක්බිති ඒ වෙළෙන්දෝ ඉන්මතු දවසෙක වෙළඳාමෙහි යන්නේ ඒ මගට සේන්දු වූයේ පෙර විසු තැනම එක් රාත්‍රියක් ගෙවූහ. ඒ දුටු ඒ විමාන ප්‍රේතයා උයන්, විමන් සමග තමන් ඔවුන්ට දැක්වීය. ඒ වෙළෙන්දෝ එය දැක ඒ ලත් සම්පත්තීන් පිළිබඳව විමසන්නේ, මේ ගාථා දෙක කීහ.
ඔබගේ මේ පොකුණු ඉතා රමණීය වේ. සමතලා මනා තොටුපළ ඇත්තේ ද පිරුණු දිය ඇත්තේ ද, පිපුණු මල් ඇත්තේ ද වේ. බඹර සමූහයා විසින් නිතර ගැවසී ගත්තේය. ඔබ විසින් මේ මනරම් පොකුණ කෙසේ ලබන ලද්දේ.