11. පාටලිපුත්ත ප්‍රෙතවස්තු වර්ණනාව
“දිට්ඨා තයා නිරයා තිරච්ඡා න යොනි”- මේ ප්‍රේතවස්තු කථාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයේ එක්තරා විමාන ප්‍රේතයකු අරභයා වදාළ සේක. සැවැත් නුවර වාසීහු ද, පැළලුප් නුවර වාසීහු ද, වෙළෙන්දෝ බොහෝ භාණ්ඩ පුරවාගත් නැවකින් ස්වර්ණ භූමියට ගියෝය. එහිදී එක් වෙළෙන්දෙක් රෝගාතුර වී මාගමක් කෙරෙහි බැඳුණු සිතින් කළුරිය කළේය. හේ කරන ලද කුසල් බලයෙන් දෙව්ලොව නො ඉපද මුහුද මැද විමාන ප්‍රේතයකු වී උපන්නේය. ඔහු යම් ස්ත්‍රියක් කෙරෙහි දැඩිසේ සිත් බැඳගත්තේ ද ඒ ස්ත්‍රිය ද ඒ නැවෙන්ම ස්වර්ණ භූමියට යමින් සිටියාය. ඉක්බිති ඒ විමාන ප්‍රේතයා අදාළ ස්ත්‍රිය ගනු කැමතිව නැවේ ගමන නතර කළේය. අනතුරු වෙළෙන්දෝ කවර හෙයින් අපගේ නැව නැවතුනේදැයි සිතා බලන්නේ කාලකණ්ණියා සොයා ගැනීමට කුසපත් ඇද්දේය. අමනුෂ්‍යයාගේ සෘද්ධි ශක්තියෙන් තුන් වරක්ම ඒ කාලකණ්ණි සලාකපත ඔහු විසින් පිළිබඳ සිත් බැඳි ස්ත්‍රිය වෙතම පැමිණියේය. ඒ දුටු වෙළෙන්දෝ හුණමිටියක් මුහුදට දමා ඒ මත්තට ස්ත්‍රිය බැස්සුවාය. ස්ත්‍රිය හුණ කලාපය මතු පිටට බැස්ස වූ කෙණෙහිම නැව ස්වර්ණ භූමිය කරා වේගයෙන් ගමන් කෙළේය. විමාන ප්‍රේතයා ඒ ස්ත්‍රිය තමන්ගේ විමානයට ගෙනගොස් ඇය සමග ජීවත්වූහ.
ඈ එක් අවුරුද්දක් ඔහු සමග ජීවත්වී කළකිරුණු සිතින් යුතුව ඒ විමාන ප්‍රේතයා යදිමින් මෙසේ කීවාය. මා මෙහි වසන්නී මගේ පරළොව ගමන සඳහා පිනක් දහමක් කර ගැනිමට මම අවකාශ නොලබමි. එබැවින් මා පැළලුප් නුවරට පමුණුවව. ඕතොමෝ මෙසේ ආයාචනා කරන ලද්දී, විමාන ප්‍රේතයා ඇයට,
තී විසින් නිරයෝ ද, තිරිසන්යෝනීහු ද, ප්‍රේතයෝ ද අසුරයෝ ද යළි මිනිස්සු ද දෙවියෝ ද දක්නා ලදී. තමාගේ කර්ම විපාක තෙමේම දුටුවෙහිය. තී කිසිකෙනෙකු විසින් නො දක්නා ලෙස පැළලුප් නුවරට ගෙන යමි.
එහිදී කුසල් දහම්හි හැසිරෙව යනුවෙන් කීවේය.
එහි දිට්ඨා තයා නිරයා - තී විසින් එක් පසෙක නිරය දකින ලදී. තිරච්ඡා න යොනි - යනු මහත් අනුහස් ඇති නාග සුපර්ණ ආදී තිරිසන් සත්ත්වයෝ ද තී විසින් දක්නා ලදී. පෙතා යනු සා පිපාසාදී දෙයින් දුක්විදින්නා වූ ප්‍රේතයෝ ද, අසුරා - යනු කාල කඤ්ජක ආදී භේදවලින් යුත් අසුරයෝ, දෙවා - යනු එක් පසෙක චාතුර්මහාරාජික දෙව්වරු ද දක්නා ලදී. ඒ විමාන ප්‍රේත තෙමේ තමන්ගේ ආනුභාවයෙන් අතරතුර ඇය කැඳවා ගෙන ගොස් ප්රත්යෙක නිරයාදිය පෙන්වමින් හැසිරුණේය. එහෙයින් මෙය කීය. සය මද්දස කම්මවිපාක මත්තනො - යනු නිරයාදී තැන්වල විශේෂයෙන් ගොස්, තම තමන් විසින් කරන ලද කර්මයන්ගේ විපාක තමන් විසින්ම විදින අන්දම ප්රත්යක්ෂයෙන් දුටුවේය. නෙස්සාමි තං පාටලිපුත්ත මක්ඛතං - යනු දැන් මම කිසි කෙනෙකුට නො පෙනෙන පරිදි මනුෂ්‍ය රූපයෙන්ම පැළලුප් නුවරට ගිහින් ඇරලමි. ඔබ වනාහි ගනත්වා ගොස් කුසලං කරොහි කම්මං - යනු කර්මයන්ගේ විපාක ඔබ ඇස් දෙකින්ම ප්රත්යක්ෂ වශයෙන්ම දක්නා ලද හෙයින් යුක්තියෙහි පිහිටා කුසල ධර්මයන්හි ඇලෙනු මැනවි යන අර්ථයයි.
ඉක්බිති ඒ ස්ත්‍රීය ඔහුගේ වචන අසා තමන් විසින් මෙසේ කියන ලදී.
යක්ෂය! ඔබ මට වැඩි කැමැත්තේ වෙහි, දෙවිය ඔබ මට හිත කැමැත්තේ වෙහි. ඔබගේ වචන අනුව මම කටයුතු කරමි. ඔබ මගේ ගුරුවරයා වන්නෙහිය.
මා විසින් නිරයෝ ද තිරිසන් ගත සත්ත්වයෝ ද, ප්‍රේතයෝ ද, අසුරයෝ ද, නැවත දෙවියෝ ද දක්නා ලද්දෙමි. තමන් විසින් කරන ලද පින් පව්වල විපාක තමන් විසින්ම විඳින අන්දම දුටුමි. එහෙයින් මම බොහෝ කුසල කර්මයන් කරමි.
ඉක්බිති ඒ ප්‍රේත තෙමේ ඒ ස්ත්‍රිය ගෙන අහසින් ගොස් පැළලුප් නුවර මැද සිටුවා ගියේය. ඉක්බිති ඇගේ ඤාති මිත්රාදීහු ඇය දැක අපි පෙර ඔබ මුහුදේ දමන ලදුව මළේ යයි ඇසුවෙමු. ඒ ඔබ සුවසේ ආපසු පැමිණ දැකීමෙන් ඉතා සතුටට පත්වීමුයි කැදවා රැස් වී ඇගේ ප්‍රවෘත්තිය විචාළේය. ඕ ඔවුන්ට මුල පටන් තමන් දුටු දේ ද, අනුභව කළ සම්පත් ද ආදී සියල්ල කීවාය. සැවැත්නුවර වැසි ඒ වෙළෙන්දෝ පිළිවෙළින් පැමිණි කල්හි ශාස්තෲන් වහන්සේ සමීපයට එළඹ වැඳ එකත්පස්ව සිටිමින් ඒ ප්‍රවෘත්තිය භාග්‍යවතුන් වහන්සේට සැළකළෝය. භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය අර්ථෝත්පත්ති කොට ගෙන මේ ධර්ම දේශනාව කළේය. ඒ අසා මහාජනයා සංවේගයට පත්වූයේ දානාදී කුසල ධර්මයන්හි නියැලුනෝ වූහ.
පැළලුප් නුවර ප්‍රේතවස්තු වර්ණනාව නිමියේය.
12. පොක්ඛරණී ප්‍රෙතවස්තු වර්ණනාව
“අයඤ්ච තෙ පොක්ඛරණී සුරම්මා” යන මේ ප්‍රේත වස්තු කථාව ශාස්තෲන් වහන්සේ සැවත් නුවර වැඩ වසද්දී අම්බ ප්‍රේතයා අරභයා වදාළහ. සැවැත්නුවර පිරිහීගිය සම්පත් ඇති එක්තරා ගෘහපතියෙක් සිටියේය. ඔහුගේ බිරිද කළුරිය කළාය. එකම දියණියක් ඔවුන්ට සිටියාය. ඒ ගෘහපතියා තමන්ගේ මිතුරෙකුගේ ගෙදර දියණිය නවත්වා ණය වශයෙන් ගත් කහවණු සියයකින් බඩු රැගෙන වෙළඳුන් සමග වෙළදාමේ ගියේ, ටික දිනකින් මුල් මුදල ද, ලාභ වශයෙන් කහවණු පන්සියයක් ද ලැබ වෙළද සමූහයා සමග නැවත සිය ගමට පැමිණියේය. අතරමග දී සොර මුළක් වෙළඳුන් මැඩගෙන පැමිණියාහුය. වෙළෙන්දෝ ඔබ මොබ පලාගියහ. ඒ ගෘහපතියා එක්තරා ගසෙක කහවණු සඟවා තබා අඳුරෙහි සැඟවිණි. සොරු ඔහු අල්ලා මැරීය. හෙතෙම ධනාශාවෙන් එහිම ප්‍රේතයෙක්ව උපන්නේය.