9. නවවැනි කූටවිනිජයික ප්‍රෙතවස්තු වර්ණනාව
“මාලි කිරීටි කෙයුරී” ආදී වූ මෙම ප්‍රේ කථා වස්තුව ශාස්තෲන් වහන්සේ වේළුවන විහාරයෙහි වැඩ වසන කල්හි එක් වංචනික ලෙස නඩු ඇසූ ප්‍රේතයකු අරභයා වදාළහ. එකල්හි බිම්බිසාර මහ රජු මාසයකට සය දිනක් පෙහෙවස් සමාදන් වේ. ඒ රජුට අනුව බොහෝ මිනිස්සු ද පෙහෙවස් සමාදන් වෙති. රජතුමා තමන් ලඟට පැමිණි අයගෙන්, කිම ඔබ විසින් පෙහෙවස් සමාදන් වන ලද්දේ ද? නැතිනම් පෙහෙවස් සමාදන් නොවන ලද්දේදැයි විමසයි. ඒ මිනිසුන් අතරෙහි එක්තරා අධිකරණ නායකයෙක් විය. හේ කේලාම් කියන, කෛරාටික, අල්ලස් ගන්නා දරුණු ක්‍රියා ඇත්තෙකි. ඔහු පෙහෙවස් සමාදන් නො වූයෙමියි රජුට කියන්ට බියවෙමින් දේවයිනි පෙහෙවස් සමාදන් වෙමියි කීයේය. ඉක්බිති ඔහු රජු සමීපයෙන් නික්මුණු විට, යහළුව කිම ඔබ අද පෙහෙවස් සමාදන් වූයේ ද කියා යහළුවෙක් ඇසීය. මම රජුට බියෙන් රජු ඉදිරියේ දී මෙසේ කීවෙමි. මම පෙහෙවස් සමාදන් නුවූයෙමියි කීයේය.
එවිට යහළුවා කියන්නේ, ඉදින් එසේ වී නම් ඔබට අද අර්ධ උපෝසථය සමාදන් විය හැකිය. ඔබට අර්ධ උපෝසථය වේවා! අර්ධ උපෝසථාඞ්ගයන් සමාදන් වෙවය, කීයේය. හෙතෙම ඔහුගේ වචනය මැනැවැයි පිළිගෙන ගෙදර ගොස් ආහාර නොගෙනම, මුව සෝදා උපෝසථ ශීලය ඉටා රාත්‍රියෙහි වාසයට පැමිණියේ ආහාරයෙන් හිස් වූ කුස තුළ බලවත් වාතය හේතුවෙන් හටගත් උදර රෝගයකින් සිඳින ලද ආයුසංස්කාර ඇත්තේ මිය ගියේය. මරණයට අනතුරුව පර්වත කුහරයෙක විමාන ප්‍රේතයෙක්ව උපන්නේය. ඔහු එක් රැයක් අර්ධ උපෝසථය රැකීම් පමණකින් දිව්‍ය විමානයක් ලැබීය දෙවඟනන් දස දහසක් පිරිවර ඇතිවිය. දිව සැප ලැබීය. චඤ්චනික ලෙස විනිශ්චය කළ විපාකයෙන් ද පිසුණු බස් කීමේ විපාකයෙන් ද තමන්ගේ පිටේ මස් තමන්ම කඩාගෙන කයි. ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නා වූ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ මේ ප්‍රේතයා දැක,
දිවමල් දරන්නා වූ, හිස් වෙළුම් ඇති, බාහු වළලු ඇති ඔබගේ ශරීරයේ සඳුන් ගල්වන ලදහ. මුවෙහි වර්ණය ප්‍රසන්නයහ. ළහිරු වර්ණයෙන් බබළයි.
ඔබට අත් පා මෙහෙවර කරන දෙවි වූ පරිචාරිකාවෝ මේ පිරිසෙහි ඇත් ද ඒ පරිචාරිකාවෝ දස දහසක් දෙවඟනෝම වෙති. සක්වළලු හා අඟු පළඳනා දරන්නාහ. ස්වර්ණමය වූ මුදුන් මල්කඩින් සැරසුණාහ.
ලොමු දැහැගන්වන සුළු මහානුභාව ඇත්තෙහිය. එහෙත් තමාගේ අතින්ම තමන්ගේම පිටේ මස් කඩාගෙන කයි.
කයින් වදනින් සිතින් කරන ලද අකුශල කර්මය කුමක් ද? කවර වූ කර්ම විපාකයකින් තමාගේම පිටේ මස් තමාම කඩා ගෙන කන්නේද?
මම මිනිස් ලොව දී මුසාවාදයෙන් හිස් වචන වලින් ශඨ බවින් හා වඤ්චාවෙන් ද තමන්ට අයත් රාජකාරි කටයුතුවල දී අවැඩ පිණිස හැසිරුණෙමි.
එහිදී මම පිරිස් මැදට ගොස් ඇත්ත කිවයුතු තන්හි දී, න්‍යාය යුක්ති ධර්මය හැර දමා අධර්මය අනුව පැවතියේය.
යම්සේ මම අද මගේ පිටමස් කමි ද? යමෙක් අනුන්ගේ පිටමස් කන්නේ ද යුක්තිය අයුක්තිය කරන්නේ ද හෙතෙමේ ද මා සේම තමා විසින්ම තමන් කා දමයි.
පින්වත් නාරදයන් වහන්ස, නුඹ වහන්සේ විසින් මගේ රූපය දක්නා ලදී. අනුකම්පා පූර්වකව යමෙක් යම් යහපතක් හොඳක් කියන්නේ ද? පිසුණු බස් හා බොරු නොකියනු මැනැවි. කේලාම් නොකියනු මැනවි. නුඹලා ද බොරු හා කේලාම් කියා මා සේ පිටමස් කන්නෙක් නොවෙනු මැනවි.
තෙරුන් වහන්සේ ගාථා සතරකින් ඇසීය. ඔහු ද ගාථා සතරකින් එහි අර්ථය විසඳීය.
එහි - මාලි. මල්දම් දරන්නා - දිව්‍ය පුෂ්පයන්ගෙන් සැදුම්ලද යන අදහසයි. කිරීටි - හිස් වෙළුම, තලප්පාව, කෙයුරී වළලු අත් සැරසීම සඳහා යන අර්ථයි. ගත්තා - යනු ශරීර අවයව, චන්‍දනුස්සදා යනු සඳුන් රස (සුවද ආලේප) ගැල් වූ සුරිය වණ්ණාව සොහසි - යනු ළහිරු පාටින් බබළන්නෙක් වී, අරණ සදිසි වණ්ණවා යනු ද පෙළේ සඳහනි. අරණනති අරණ යනු අරණ දෙවියන් කෙරෙන් පෙනෙන වර්ණයට සමාන යනුයි. එය ආර්ය කාශ්‍යප වර්ණයයි. දෙවියන් සමාන වර්ණ ඇති.
පාරිසජ්ජා - යනු පිරිස් පිරිවරා ගෙන, උපස්ථායකයින් යන අර්ථයි. තුවං යනු ඔබ, ලොමහංසන රූපවා - යනු බලන්නන් ලොමු දැහැ ගන්වන සුළු රූපයන් යුත්, මහානුභාවයෙන් යුත් බව කියන ලදී. උක්කඩ්ඪා - යනු උගුල්ලා උදුරා කපා යන අර්ථයි.
අවාරිසං - යනු හැසිරුණෙමි. පිළිපැද්දෙමි, පෙසුඤ්ඤ මුසාවාදෙන - හිස්වචන, කේලාම් හා බොරු කීමෙන්, නිකතී වඤ්චනාය වා - යනු කෛරාටික කමින්, වඤ්චා කිරීමෙන්, නියම ප්‍රතිරූපය දක්වන්නේ යයි අනුන්ට පෙන්වා වෙනස් විධියකින් වංචා කිරීම.
සච්චකාලෙ - යනු සත්‍යය පැහැදිලි කළයුතු කාලයෙහි, අත්‍ථං - යනු මෙලොවදීම විපාක දීම් ආදියට හිතවත් වූ, ධම්මං - යනු කාරණය, න්‍යාය, නිරාකත්‍වා - යනු හැරදමා අත්හැර. සො - යනු යමෙක් පිසුනාවාචාදියෙහි යෙදේද එවැනි සත්ත්වයෝ අනෙක් සියල්ල යට කියන ලද පරිදිමය.
කූට විනිච්ඡයික ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
10. ධාතුවිවණ්ණක ප්‍රෙතවස්තු වර්ණනාව
“අන්තළික්‍ඛස්මිං තිට්ඨන්නෙ” යනුවෙන් දැක්වෙන්නේ ධාතු විවණ්ණක ප්‍රේත වස්තු කථාවයි. භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම් මල්ල රජවරුන්ගේ සල්වනයෙහි සල් ගස් දෙකක් අතර (පනවන ලද ආසනයේ) පිරිනිවන් පෑ වදාළ කල්හි, ධාතු බෙදීම ද කළ කල්හි අජාසත් රජු තමන් විසින් ලත් ධාතු කොටස ගෙන සත් හවුරුදු සත්මස් සත් දිනක් මුළුල්ලෙහි බුදුගුණ සිහිකරමින් මහත් පූජා පැවැත්වීය. ඒ ධාතු පුජෝත්සවයේ දී, අප්‍රමාණ වූ අසඞ්ඛ්‍ය ගණන් මිනිස්සු සිත් පහදවාගෙන ස්වර්ග ලෝකවල ඉපදුනාහු වෙති. අසූහය දහසක් පමණ මිනිස්සු බොහෝ කලක් පුරුදු පුහුණු කළ අශ්‍රද්ධාවෙන් හා මිථ්‍යා දර්ශනයෙන් ද වරදවා ගනු ලැබු සිත් ඇතිව, පැහැදිය යුතු තන්හි තමන්ගේ සිත් දූෂිත කරගෙන ප්‍රේතයන් වී උපන්නාහුය. එකල්හි රජගහ නුවර ධන සම්පත් ඇති එක්තරා කෙළඹියක්හුගේ බිරින්ඳ, දුවණිය හා යෙහෙළිය පහන් සිතින් යුතුව ධාතු පූජාවන් කරන්නෙමු යයි සුවඳ ද්‍රව්‍ය මල් ආදිය ගෙන ධාතු තැන්පත් කළ ස්ථානයට යාමට පිටත් වූහ. එවිට ඒ කෙළඹි තෙම “ඇටවලට පූජා කිරිමෙන් කවර ප්‍රයෝජනයක්දැයි කියා ඔවුන්ට බැණ නින්දා කොට ධාතු පූජාවේ නුගුණ කීවේය. පවුලේ උදවිය ඒ කීම භාර නොගෙන ධාතු පූජාව සඳහා ගොස් ධාතුන් වහන්සේලා වැඳ පුදා ගෙට ආහ. ඔවුහු හදිසි අසනීපයකින් මඩනා ලදුව ටික දිනකින් මිය ගොස් දෙව්ලොව උපන්හ. ගෘහපතියා වනාහි ක්‍රෝධයෙන් මඩනා ලදු ව, නොබෝ කලකින් මිය ගොස් ඒ පාප කර්මයෙන් ප්‍රේතයකු වී උපනි.