10. ධාතුවිවණ්ණක ප්‍රෙතවස්තු වර්ණනාව
“අන්තළික්ඛස්මිං තිට්ඨන්නෙ” යනුවෙන් දැක්වෙන්නේ ධාතු විවණ්ණක ප්‍රේත වස්තු කථාවයි. භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන නම් මල්ල රජවරුන්ගේ සල්වනයෙහි සල් ගස් දෙකක් අතර (පනවන ලද ආසනයේ) පිරිනිවන් පෑ වදාළ කල්හි, ධාතු බෙදීම ද කළ කල්හි අජාසත් රජු තමන් විසින් ලත් ධාතු කොටස ගෙන සත් හවුරුදු සත්මස් සත් දිනක් මුළුල්ලෙහි බුදුගුණ සිහිකරමින් මහත් පූජා පැවැත්වීය. ඒ ධාතු පුජෝත්සවයේ දී, අප්‍රමාණ වූ අසඞ්ඛ්‍ය ගණන් මිනිස්සු සිත් පහදවාගෙන ස්වර්ග ලෝකවල ඉපදුනාහු වෙති. අසූහය දහසක් පමණ මිනිස්සු බොහෝ කලක් පුරුදු පුහුණු කළ අශ්‍රද්ධාවෙන් හා මිථ්‍යා දර්ශනයෙන් ද වරදවා ගනු ලැබු සිත් ඇතිව, පැහැදිය යුතු තන්හි තමන්ගේ සිත් දූෂිත කරගෙන ප්‍රේතයන් වී උපන්නාහුය. එකල්හි රජගහ නුවර ධන සම්පත් ඇති එක්තරා කෙළඹියක්හුගේ බිරින්ඳ, දුවණිය හා යෙහෙළිය පහන් සිතින් යුතුව ධාතු පූජාවන් කරන්නෙමු යයි සුවඳ ද්‍රව්‍ය මල් ආදිය ගෙන ධාතු තැන්පත් කළ ස්ථානයට යාමට පිටත් වූහ. එවිට ඒ කෙළඹි තෙම “ඇටවලට පූජා කිරිමෙන් කවර ප්‍රයෝජනයක්දැයි කියා ඔවුන්ට බැණ නින්දා කොට ධාතු පූජාවේ නුගුණ කීවේය. පවුලේ උදවිය ඒ කීම භාර නොගෙන ධාතු පූජාව සඳහා ගොස් ධාතුන් වහන්සේලා වැඳ පුදා ගෙට ආහ. ඔවුහු හදිසි අසනීපයකින් මඩනා ලදුව ටික දිනකින් මිය ගොස් දෙව්ලොව උපන්හ. ගෘහපතියා වනාහි ක්‍රෝධයෙන් මඩනා ලදු ව, නොබෝ කලකින් මිය ගොස් ඒ පාප කර්මයෙන් ප්‍රේතයකු වී උපනි.
එක් දවසක් ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයෝ සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් යම්සේ මනුෂ්‍යයෝ ඒ දේවතාවන් හා ප්‍රේතයන් දක්නා කැමැත්තෝය. එබඳු වූ ඍද්ධ්යභිසංස්කාරයක් අධිෂ්ඨාන කළහ. එසේ කොට මළුවෙහි සිටි (ඉහත කී) ධාතු පූජාවේ නුගුණ කී ප්‍රේතයාගෙන් ගාථා තුනකින් කරුණු විමසීය.
අහසෙහි සිටින්නා වූ ඔබගේ ශරීරයෙන් කුණු ගඳ හමන්නේය. දුගඳම හමා යන්නේය. තොපගේ කුණු ගඳ හමන්නා වූ මුඛය කෘමීහු කති. පූර්ව ජාතියෙහි කිනම් පාප කර්මයක් කළෙහි ද?
එහෙයින් තියුණු මුවහත් ඇති ශස්ත්‍රයක් ආයුධයක් ගෙන නැවත නැවත කට කපත් ලුණු ජලය ඉසිමින් නැවත නැවත කට කපන්නේය.
ඔබ කයින්, වචනයෙන් මනසින් කවර නම් අකුසල කර්මයක් කරන ලද්දේ ද? කවර කර්මයක විපාකයකින් මෙවන් දුකකට පැමිණියේ ද? දුකක් විඳින්නේ ද?
නිදුකාණනි මම පෙර ආත්මයේ, සිත් අලවන්නා වූ අලංකාර වූ, ගිරිබ්බජ යන නම් ඇති රජගහනුවර බොහෝ යස ඉසුරු සම්පත් ඇති ඓශ්චර්යයෙන් යුත් කෙළඹියෙක් වීමි.
එකල්හි (පෙර ආත්මයේ) මෝ තොමෝ මගේ බිරිඳ වූවාය. මෑ දියණිය ද, මෑ යෙහෙළිය ද වූහ. ඔවුන් මල් ද, උපුල් ද අලුත් වූ සුවඳ විලෙවුන් ද ගෙන, චෛත්‍ය පූජාවට යන්නියෝ මම වැළැක්වීමි. ඒ පාප කර්මය මා විසින් කරන ලදී.
සයාසු දහසක් පමණ වූ අපි, ස්ථූප පූජාවන් පවත්වන කල්හි, ඒ පිළිබඳව දොස් කීවෝ ද? ඒ නිසාම වෙන් වෙන් වශයෙන් තමන් විඳිනු ලබන මහ දුක් වේදනා ඇතිව අතිශයින් නරකය හා සමාන ප්‍රේත අපායෙහි පැසෙමි. දුක් විදිමි.
බුදුන්ගේ චෛත්‍ය පූජාව පිළිබඳව උත්සවය පවත්වන කල්හි යමෙක් දොස් කියයි ද ඔවුන් ඒ පිනෙන් බැහැරව යයි.
දිව මල් මාලා දරමින් අලඞ්කාර ලෙස සැරසුණු, මල් පූජා කිරීමේ විපාකය භුක්ති විඳින්නා වූ, සම්පතින් සමෘද්ධ වූ පිරිවර සමග එන්නා වූ මේ දෙවඟනුන් දෙස බලව,
ආශ්චර්යමත් වූ, අද්භූත වූ, ලොමු දැහැ ගන්වන සුළු, මේ විපාක දැක නුවණැත්තෝ ඒ තථාගතයන් කෙරෙහි නමස්කාර කෙරෙත්.
ඒ එසේය. මම මෙයින් චුතව ගොස් නැවත මිනිසත් බව ලබා ප්‍රමාද නොවී නැවත නැවතත් ස්ථූප වන්දනාව කරමි.
මෙහි - දුග්ගන්ධො යනු ප්‍රිය නොවූ ගඳ, මිණී කුණු වූ ගඳ ඇති යන අර්ථයි. පූතිවායසී - යන්න එහෙයින් කියන ලදී. තතො - යනු දුර්ගන්ධය වහනය වන්නේ මත්තෙහි කෘමීන්, පණුවන් විසින් කණු ලබන්නේ, සත්ථං ගහෙත්වාන ඔක්කන්තන්ති පුනප්පුනං - යනු කර්මය විසින් මෙහෙයවන ලද සත්ත්වයෝ තියුණු මුවහත් ඇති ආයුධ ගෙන, නැවත නැවත ඔබගේ මුඛය කපයි. ඛාරෙන පරිපෙථාසිත්වා ඔක්කන්තන්ති පුනප්පුනං - කැපු කැපු කෙණෙහි කරදිය ඉසීමෙන් නැවත නැවත කපත්.
ඉස්සරො ධන ධඤ්ඤස්ස සුපහුතස්සා - යනු අතිශය බොහෝ වූ ධන ධාන්‍යයන්ගෙන් ඓශ්චර්යයෙන් යුත් කෙනෙක් වීමි. ආඪ්‍ය වූ මහා ධන ඇති යන අර්ථයි.
තස්සායං මෙ භරියා ච ධීතාච සුණීසා වා - යනු ඇය මගේ පෙර අත්බැව්හි භාර්යාවය. මෝ දියණියයි. මැ පෙර යෙහෙළිය වන නිසා මෙහිද යෙහෙළියම විය යුතුය. නැතහොත් මුලින් හමුවන දෙතැනම ලේළිය කළ යුතුයයි ඔව්හු දෙවියන් වී අහසේ සිටියවුන් දක්වමින් කියයි. පච්චඞ්ග යනු අළුත්, ථූපං හරන්තියො වාරෙසි යනු ස්තූප පූජාවට පිටත්වන්නේ ධාතු වන්දනාව හරහා ප්‍රතික්ෂේප කළෙමි. තං පාපං පකතං මයා - යන ඒ පාප කර්මය මා විසින් කරන ලදී. ඒ ධාතු පූජාවේ නුගුණ කීමේ පාපය, විඳවමි. මා විසින් විපිළිසරට පැමිණ කීය.