3. චූළ වර්ගය
1. අභිජ්ජමාන ප්රෙතවස්තු වර්ණනාව
“අභිජ්ජමානෙ වාරිම්හා” - යන මේ කථා වස්තුව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි වැඩ වසන කල්හි එක්තරා වැදි ප්රේතයකු අරභයා වදාරණ ලදී. බරණැස් නුවර බටහිර දිසාවෙහි ගඟින් එතෙර වාසභ නම් ගම ඉක්මවා චුන්දත්ථික නම් ගමෙහි එක් වැද්දෙක් විසීය. ඔහු කැලයෙහි මුවන් මරා යහපත් මස් අඟුරු මත පිස කා ඉතිරි ඒවා කොල ගොටුවල බහා බැඳ කඳින් ගෙන ගමට ආයේය. ඒ ගමැ බාල දරුවෝ ගම්දොර දී ඔහු දැක මට මස් දෙව, මට මස් දෙවයි අත් දිගු කොට ලඟට දිවයති. හෙතෙම ඔවුන්ට මස් ටික ටික දෙයි. ඉක්බිති එක් දවසක් මස් නොලැබ, කොබෝලීල මල් පැළද මල් බොහෝවක් අතින් ගෙන ගමට යන්නාවූ ඔහු ගම්දොර දී, මට දෙව මට දෙවයි අත් ඔසවා ළගට දිවගියාහුය. හෙතෙම ඔවුන්ට එක එක මල් පොකුර බැගින් දුන්හ.
ඔහු මෑත කාලයෙක මැරී ගොස් ප්රේත යෝනියෙහි උපන්නේය. හේ විලිවැසුම් නැත්තේය. විරූප වූ ශරීර ඇත්තේය. බියකරු දැකුම් ඇත්තේය. සිහිනෙන්වත් ආහාර පාන නොලබන්නේය. හිසේ පැළඳගත් කොබෝලීල මල් කළඹ ඇත්තේය. ඔහු දිනක් චුන්දත්ථික නම් ගම නෑයින්ගෙන් කිසියම් ආහාරයක් ලබන්නෙමියි සිතා ගංගානම් ගඟ දියමත උඩුගං බලා යයි. එසමයෙහි බිම්බිසාර රජුගේ මහ ඇමති කෝලිය තෙම කුපිත වූ පිටිසර ගමක් සංසිදුවා ආපසු එන්නේ, ඇත් අස් ආදී බලසෙනඟ ගොඩ බිමින් යවා, ඔහු ගංගා නම් ගඟේ යටි ගං බලා එන්නේ ඒ ප්රේතයා දුටුවේය. දැක ඔහුගෙන් මෙසේ විචාළේය.
1. ගඞ්ගා නදියේ දිය මත්තෙහි නග්නව, (එහෙත්) ශරීරයේ උඩ කොටස දෙවියකු වැනිව මල් පැළදි සරසන ලද හිස ඇතිව කොහේ යන්නේ ද? කොහේ වසන්නේ ද?
එහි, අභිජ්ජමානෙ - යනු පා තැබීමෙන් නො කැඩෙන නො බිදෙන වාරිම්හි ගඞ්ගායං - යනු ගංගා නම් ගඟේ දිය මතුපිට, ඉධා යනු මෙතැන, පුබ්බද්ධ පෙතාවා - යනු ශරීරයෙහි උඩකොටස ප්රේතයකු නොවන්නාක් මෙන්, ප්රේත යෝනියෙන් පහවූවාක් මෙන්, දිව්ය පුත්රයෙක් මෙන්, කෙසේ මාලාධාරී අලඞ්කතො - යනු මල් පැළද. මල්වලින් හිස් මුදුන අලංකාර කරන ලද යන අර්ථයි. කත්ථ වා සො භවිස්සති - යනු කවර නම් ප්රදේශයක කවර නම් ගමක තොපගේ වාසස්ථානය වන්නේ ද කියව යන තේරුමයි.
දැන් එකල්හි ඒ ප්රේතයා විසින් කෝලිය ඇමතියා සමග කියන ප්රවෘත්තිය සඞ්ගීතිකාරකයෝ මෙසේ දක්වති.
වාසභ ගමටත්, බරණැසටත් අතර පිහිටි චුන්දන්ථික නම් ගමට යන්නෙමියි ඒ ප්රේත තෙම කියයි.
කෝලිය නමින් ප්රකට වූ මහ ඇමති තෙමේ ඒ ප්රේතයා දැක ඔහුට අත්සුණු ද වස්ත්ර යුගලයක් ද දුන්නේය.
නැව සිටි කල්හි කරනවෑමි උපාසකයකුට ඒ වස්ත්ර යුගල දෙව්වේය. කපුවාට දුන් කල්හි එකෙණෙහිම ප්රේතයාගේ ශරීරයෙහි (රෙදි) වස්ත්ර දක්නා ලදී.
ඉන්පසුව යහපත් දිවසළු හැඳ මල් පැළැඳ, සැරසුණේය. දියයුතු සුදුසු ස්ථානයෙහි (දක්ෂිණාර්භ ස්ථානය) පිහිටියාහු දක්ෂිණාව මේ ප්රේතයාට පැමිණියේය. එහෙයින් ප්රේතයන්ට අනුකම්පාවෙන් නැවත නැවත දක්ෂිණාව දියයුතු වන්නේය.
එහි චුන්දත්ථිතං - යනු එනම් වූ ගමයි. අන්තරෙ වාසභ ගාමං බාරාණසියං ව සන්තිකෙ යනු වාසභ ගමට ද බරුණැස් නගරයට ද මැද මෙහි අන්තරා ශබ්ද යෝගය සාම්යත්ථයෙහි උපයෝග වචනයි. බරණැස් නුවර සමීපයෙහි ඒ ගම වේ. මෙහිද ඒ අර්ථය මැයි. වාසභ ගමට ද, බරණැසට ද අතර පිහිටි චුන්දත්ථික නම් ගම, බරණැසට නුදුරෙහි වූ ඒ ගමට යන්නෙමි.
කොලිකෙ ඉති විස්සුතො - යනු කෝලිය නම් වූ ප්රචලිත නමයි. සත්තුං භත්තඤ්චා යනු අත්සුණු, බැදපු පිට්ටු හා බත්, පීතකඤ්ච යුගං අදා යනු කහ පාට සහ රන්වන් පැහැ වස්ත්ර දෙකක්, දුන්නේය.
කවර හෙයකින් දෙකක් දුන්නේ ද? නාවාය තිට්ඨමානාය කප්පකස්ස අදාපයී - යනු ගමන් කරන්නා වූ නැව නවත්වා එහි සිටි එක් උපාසක කරණවෑමියකුට දුන්නේය. වස්ත්ර දෙකක් දෙන ලදැයි දැක්වේ. ඨානෙ - යනු ස්ථානයෙහිම, එකෙණෙහිම, එතැන්දීම, පෙතස්සු දිස්සථා - යනු ප්රේතයාගේ ශරීරයෙහි වස්ත්ර එකක් හැඳ එකක් පෙරවා දැක්වීය. එහෙයින් කියන ලදී. තතො සුවත්ථවසනො මාලාධාරී අලඞ්කතො සුවත්ථවසනො - මල් පැළැද යහපත් වස්ත්ර හැඳ ප්රසාදයට සතුටට පත්වැ, ඨානෙ ඨිතස්ස පෙතස්ස දක්ඛිණා උපකප්පථා - දක්ෂිණාව පිරිනැමු මොහොතේම, එහි ඵල විපාක යම්හෙයකින් ප්රේතයා අනුමෝදන් වී ද, එකෙණෙහිම භුක්ති විදීමට පත්විය. තස්මා දජ්ජෙථ පෙතානං අනුකම්පාය පුනප්පුනං - යනු ප්රේතයන්ට අනුකම්පාකොට, ප්රේතයන් උදෙසා, නැවත නැවත දක්ෂිණාව දිය යුතුය යන අර්ථයි.