8. දෙවැනි මිගලුද්දක ප්‍රෙතවස්තු වර්ණනාව
“කූටගාරෙ ච පාසාදෙ” ආදී මෙම ප්‍රේත වස්තු දේශනාව භාග්‍යවතුන් වහන්සේ වේළුවන විහාරයෙහි වැඩ වාසය කරන කල්හි වෙනත් මිගලුද්දක ප්‍රේතයකු අරභයා වදාරණ ලදහ. රජගහනුවර වනාහි මුවන් මරා ජීවත්වන එක්තරා මාණවකයෙක් මහත් සම්පත් ඇත්තේ වී නමුත් ඒ භෝග සම්පත් හැර දමා රෑ දවල් දෙකෙහි මුවන් මරමින් ජීවත් වේ. ඔහුගේ එක් යහළු උපාසකයෙක් දයානුකම්පාව නිසා “යහළුව” ප්‍රාණඝාතයෙන් වෙන් වෙව, මේ අකුශලය නුඹට දීර්ඝ කාලයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ යයි අවවාද දුන්නේය. හෙතෙම එය නො පිළිගත්තේය. ඉක්බිත්තෙන් ඒ උපාසක තෙමේ තමන්ගේ සිත් ඇදගන්නා වූ එක්තරා රහතන් වහන්සේ නමකගෙන්, ස්වාමීනි! අසවල් පුරුෂයා වෙත, ඔහු ප්‍රාණඝාත අකුසලයෙන් යම්සේ මිදේද? එසේ ඒ සඳහා ඔහුට ධර්ම දේශනා කළ මැනවැයි ඉල්ලීමක් කළේය.
අනතුරුව එක් දවසක් ඒ ස්ථවිරයන් වහන්සේ රජගහ නුවර පිඬු සිඟමින් හැසිරෙන්නේ ඔහුගේ ගේ දොරකඩ වැඩ සිටිසේක. එය දුටු ඒ වැදි තෙම ගරු බුහුමන් පෙරදැරිව පෙරගමන් කොට, ගෙට වඩමවා ආසනයක් පනවා පිරිනැමීය. පණවන ලද අසුනෙහි උන්වහන්සේ වැඩ සිටියහ. ඔහු ද තෙරුන් වෙත එළඹ හිඳගත්තේය. ඒ තෙරුන් වහන්සේ ප්‍රාණඝාතයෙහි ආදීනව පවසා, එයින් වෙන්වීමේ ආනිසංස ද වදාළ සේක. හෙතෙම එය අසා එයින් මිදෙන්නට නොකැමැති විය. ඉක්බිති තෙරණුවෝ ඔහුට මෙසේ කීය. මාණවකය! ඉදින් තොපට සම්පූර්ණයෙන් ප්‍රාණඝාතයෙන් මිදෙන්නට නො හැක්කේ නම් අවම වසයෙන් රාත්‍රි කාලයෙහිවත් එයින් මිදෙනු මැනැවි. හෙතෙම යහපති ස්වාමීනි, රාත්‍රි කාලයෙහි මිදෙමියි පොරොන්දු විය. සෙස්ස පෙර කී වස්තුව හා සමාන වේ. ගාථාවෝ වනාහි.
දිව්‍යමය වූ, කූටාගාරයෙහි ද ප්‍රාසාදයෙහි ද, දික් ලොම් ඇති කොඳු පලස් අතුරන ලද යහන්හි සැතපෙමින්, මනාව වාදනය කරන පඤ්චාඞ්ගික තූර්ය වාදනයෙන් සිත් අලවමින් සිටියි. (කූටාගාරය නම් එක් කැණිමඬලක් යොදා තැනු වටගෙයයි.)
ඉන්පසු රැය පහන් වූ කල්හි හිරු උදා වූ කල්හි සොහොනෙහි දමන ලදුව බොහෝ දුක් විදින්නෙහිය.
ඔබ පෙර ආත්මයේ කයින් වචනයෙන් සිතෙන් කවරාකාර පාපකර්ම කළේ ද?
මම රමණීය වූ, සිත් පිනවන්නා වූ ගිරිබ්රජ නම් වු රජගහ නුවර, පෙර ඉපදී අසංවර වූ රෞද්‍ර වූ, මුව වැද්දෙක් වීමි.
එහිදී ශ්රද්ධාවන්ත උපාසකයෙක් මගේ සමීපම සුහද වූ මිත්‍රයෙක් විය. ගෞතම බුද්ධ ශාසනයේ එක් භික්ෂුවක් මගේ කුලුපග භික්ෂුවක් විය. ඒ අය මා කෙරෙහි අනුකම්පාවෙන් මා ප්‍රාණඝාතයෙන් වැළැක්වීමට නැවත නැවත උත්සාහ කළේය.
ප්‍රාණඝාත අකුසල කර්ම නොකරව! මතු භවයෙහි දුගතියකට නො යවා ඉදින් පරලොව දී සැප කැමැත්තේ නම් සංවර නොවූ ප්‍රාණඝාතයෙන් වෙන්වව,
මම හිතානුකම්පී වූ ඔවුන්ගේ වචන සුව කැමති වූ මා නොඅසා, බොහෝ කලක් පවෙහි ඇලුනා වු, අනුවණ වූ මම ඔවුන්ගේ වචනය පිළි නොගත්තෙමි.
බොහෝ යහපත් නුවණැති හෙතෙම මා කෙරෙහි දයාවෙන් සංවරයෙහි පිහිටුවීය. ඉදින් ඔබ දවල් කාලයෙහි සතුන් මරන්නේ නම් - රාත්‍රි කාලයෙහි සංයමයෙන් යුතුව ප්‍රාණඝාතයෙන් වෙන්වීමි.
මම රාත්‍රි කාලයෙහි දෙව් සැප විදිමි. දවල් කාලයෙහි දුකට පැමිණෙන්නෙමි.
ඒ කුශල කර්මයාගේ විපාකයෙන් අමානුෂික වූ දිව්‍ය සැප වළදමි. දවල් කාලයෙහි බද්ධ වෛර ඇත්තවුන් මෙන් සුනඛයෝ හාත්පසින් මා කෑමට පැමිණෙති.
ඒ පුරුෂයෝ වනාහි තථාගත ශාසනයෙහි ස්ථිර වශයෙන්ම ශීලාදී කුශල ධර්මයන්හි යෙදුණේ ද? ඒ පින්වත්හු හුදෙක් නිවණටම පැමිණෙන්නේ යයි හඟිමි.
මේ ගාථාවල අටුවාව පෙර කියන ලද පරිදිමය.
දෙවන මිගලුද්දක ප්‍රේතවත්ථු වර්ණනාව නිමියේය.
9. නවවැනි කූටවිනිජයික ප්‍රෙතවස්තු වර්ණනාව
“මාලි කිරීටි කෙයුරී” ආදී වූ මෙම ප්‍රේ කථා වස්තුව ශාස්තෲන් වහන්සේ වේළුවන විහාරයෙහි වැඩ වසන කල්හි එක් වංචනික ලෙස නඩු ඇසූ ප්‍රේතයකු අරභයා වදාළහ. එකල්හි බිම්බිසාර මහ රජු මාසයකට සය දිනක් පෙහෙවස් සමාදන් වේ. ඒ රජුට අනුව බොහෝ මිනිස්සු ද පෙහෙවස් සමාදන් වෙති. රජතුමා තමන් ලඟට පැමිණි අයගෙන්, කිම ඔබ විසින් පෙහෙවස් සමාදන් වන ලද්දේ ද? නැතිනම් පෙහෙවස් සමාදන් නොවන ලද්දේදැයි විමසයි. ඒ මිනිසුන් අතරෙහි එක්තරා අධිකරණ නායකයෙක් විය. හේ කේලාම් කියන, කෛරාටික, අල්ලස් ගන්නා දරුණු ක්‍රියා ඇත්තෙකි. ඔහු පෙහෙවස් සමාදන් නො වූයෙමියි රජුට කියන්ට බියවෙමින් දේවයිනි පෙහෙවස් සමාදන් වෙමියි කීයේය. ඉක්බිති ඔහු රජු සමීපයෙන් නික්මුණු විට, යහළුව කිම ඔබ අද පෙහෙවස් සමාදන් වූයේ ද කියා යහළුවෙක් ඇසීය. මම රජුට බියෙන් රජු ඉදිරියේ දී මෙසේ කීවෙමි. මම පෙහෙවස් සමාදන් නුවූයෙමියි කීයේය.
එවිට යහළුවා කියන්නේ, ඉදින් එසේ වී නම් ඔබට අද අර්ධ උපෝසථය සමාදන් විය හැකිය. ඔබට අර්ධ උපෝසථය වේවා! අර්ධ උපෝසථාඞ්ගයන් සමාදන් වෙවය, කීයේය. හෙතෙම ඔහුගේ වචනය මැනැවැයි පිළිගෙන ගෙදර ගොස් ආහාර නොගෙනම, මුව සෝදා උපෝසථ ශීලය ඉටා රාත්‍රියෙහි වාසයට පැමිණියේ ආහාරයෙන් හිස් වූ කුස තුළ බලවත් වාතය හේතුවෙන් හටගත් උදර රෝගයකින් සිඳින ලද ආයුසංස්කාර ඇත්තේ මිය ගියේය. මරණයට අනතුරුව පර්වත කුහරයෙක විමාන ප්‍රේතයෙක්ව උපන්නේය. ඔහු එක් රැයක් අර්ධ උපෝසථය රැකීම් පමණකින් දිව්‍ය විමානයක් ලැබීය දෙවඟනන් දස දහසක් පිරිවර ඇතිවිය. දිව සැප ලැබීය. චඤ්චනික ලෙස විනිශ්චය කළ විපාකයෙන් ද පිසුණු බස් කීමේ විපාකයෙන් ද තමන්ගේ පිටේ මස් තමන්ම කඩාගෙන කයි. ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නා වූ ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ මේ ප්‍රේතයා දැක,
දිවමල් දරන්නා වූ, හිස් වෙළුම් ඇති, බාහු වළලු ඇති ඔබගේ ශරීරයේ සඳුන් ගල්වන ලදහ. මුවෙහි වර්ණය ප්‍රසන්නයහ. ළහිරු වර්ණයෙන් බබළයි.