7. මිගලුද්දක ප්‍රෙතවස්තු වර්ණනාව
“නරනාරි පුරක්ඛතො යුවා” ආදී මේ ප්‍රේතවත්ථු දේසනාව භාග්‍යවතුන් වහන්සේ වේළුවන විහාරයෙහි වාසය කරද්දී මිගලුද්ද නම් ප්‍රේතයා අරභයා වදාළ සේක. රජගහනුවර එක්තරා වැද්දෙක් රෑ දාවල් දෙකෙහි මුවන් විද බැඳ මරා ජීවිකාව කරයි. ඔහුට එක් උපාසකයෙක් මිත්‍රව සිටියේය. ඒ උපාසක තෙමේ ඔහු සියලු අයුරින් පව්කම්වලින් වලක්වා ලීමට නො හැකිව, යහළුව මෙහි එව රාත්‍රි කාලයෙහි වළකුවයි රාත්‍රි කාලයෙහි පින්කම්හි යෙදවීය. ඒ වැද්දා රාත්‍රියෙහි ප්‍රාණඝාතයෙන් වැළකී දහවල් දවසේ ප්‍රාණඝාතය කරයි.
හෙතෙම ටික කලකින් කළුරිය කොට රජගහ නුවර සමීපයේ විමාන ප්‍රේතයෙක්ව ඉපදී දහවල් කාලයෙහි මහත් දුක් විඳ, රාත්‍රි කාලයෙහි දිව්‍යමය පඤ්චකාම සම්පත් විඳියි. ඔහු දැක ආයුෂ්මත් නාරද ස්ථවිරයන් වහන්සේ ගාථාව කියා මෙය පිළිවිසීය.
දිව්‍ය පුත්‍රයන් හා දෙව් දූවරුන් විසින් පිරිවරන ලදුව, තරුණ වූ ඔබ රාත්‍රි කාලයේ සිත්කලු වූ කාම ගුණයන්ගෙන් යුක්තව හොබී. දවල් දවස නොයෙක් කම්කටොළු අනුභව කරයි. ඔබ පෙර අත් බැවිහි දී කවර නම් අකුශල කර්මයක් කළේ ද?
එහි - “නරනාරී පුරක්ඛතො” යනු පිරිවර සහිතව, දිව්‍ය පුත්‍රයන් විසින් ද දිව්‍ය දුහිතෲන් විසින් ද පෙරටු කරගනිමින් ඇසුරු කරමින්, යුවා, තරුණ වූ, රජනීයෙහි යනු කැමති විය යුතු රාගාදිය උපදින්න හේතු වන්නා වූ, කාමගුණෙහි, කාම කොට්ඨාසයන්හි, සොභසි සමගි බවින් බබළයි. රාත්‍රි කාලයෙහි බබළයි යන අදහසයි. දිවසං අනුහොසි කාරණං - යනු දවල් කාලයෙහි නොයෙක් ආකාරයේ දුක් මරණ (අනුභව කරයි) පීඩා ආදිය විඳියි. රජනී යනු රාත්‍රියෙහි යනු නිපාතය පමණි. කිං අකාසි පුරිමාය ජාතියා - යනු මෙසේ සුව දුක් දෙක මේ අන්දමින් පැවතීමට මෙයින් පෙර ජාතියෙහි කුමන කර්මයක් ඔබ කළෙහි ද? එය විස්තරව කියනු මැනැවි.
එය අසා ප්‍රේතයා තමන් විසින් කරන ලද කර්මය කියන්නේ,
මම රම්‍ය වූ සිත් අලවන්නා වූ ගිරිව්‍රජ නම් වූ රජගහනුවර පෙර ආත්මයෙහි අත්වල ලේ වැකුණු දරුණු වූ මුව වැද්දෙක් වීමි.
එකල්හි ඉතා දරුණු වූ, අනුන්ට හිංසා කිරීමෙහිම ඇලුණු, නොහික්මුණු මම කිසිවකු සමග විරුද්ධත්වයක් නැති බොහෝ තිරිසන් සතුන් කෙරෙහි ඉතා නපුරු සිත් ඇතිව හැසිරුණෙමි.
ඒ මට එක්තරා සහාය වු කුළුපග වූ උපාසක මිත්රයක් සිටියේය. ඔහු යහපත් සිත් ඇතිව, මා කෙරෙහි අනුකම්පා කරමින් මා පවින් වළක්වාලීමට නැවත නැවත උත්සාහ කළේය.
සහෝදරය! ළාමක අකුසල කර්ම නො කරව, දුගතියට නොයව, පරලොව දී සැප විදීමට නම් ප්‍රාණඝාත අකුසල කර්මයන්ගෙන් වෙන්වව!
පරලොව සැප කැමති වූ, අනුකම්පක වූ ඔහුගේ වචනය අසා, නුවණ නැතිව බොහෝ කලක් පවෙහි ඇලුණා වූ මම ඔහුගේ අනුශාසනාව නොපිළි පැද්දෙමි.
ගුණ යහපත් නුවණැති ඒ උපාසකයා නැවත නැවතත් මා වෙත දයාවෙන් මා සුචරිතයෙහි පිහිටුවීය. දහවල් කාලයෙහි සතුන් මරන්නේ නම් රාත්‍රි කාලයෙහි පව්කම්වලින් වලක්වා!
මම ඒ අනුව දහවල් දවස සතුන් මරා රාත්‍රි කාලයෙහි වෙන්වූයේ සංවර ඇත්තෙක් වීමි. මම රාත්‍රි කාලයෙහි දිව්‍ය සම්පත් විඳිමි. දවල් දවස දුගතිගාමීව දුක් විඳිමි.
ඒ කුශල කර්ම හේතුවෙන් රාත්‍රියෙහි දෙවි සැප විඳිමි. දවල් කාලයහි බද්ධ වෛර ඇත්තවුන් මෙන් හාත්පසින්ම සුනඛයෝ සපා කෑමට එළවාගෙන එති.
යම් පුරුෂයෝ ස්ථිර වශයෙන් තථාගත ශාසනයෙහි දහම්හි හැසුරුණේ ද නිතර නිතර පින්කම්හි අනුගත වේ ද? ඒ පින්වත්හු ඒකාන්තයෙන් අසඞ්ඛත වූ නිවන් මගට පැමිණෙන්නේ යයි සිතමියි.
මේ ගාථා කීහ.
සඤ්ඤක එහි ලුද්දො - යනු දරුණු වූ ලොහිතපාණී යනු නිතර නිතර සත්ත්ව ඝාතනයෙන් පිපාසයෙන් පෙළුණේ, දාරුණෙ - යනු දරුණු ලෙස සත්ත්වයන්ට හිංසා කළේය යන අර්ථයි. අවිරොධ කරෙසු - යනු කිසිම විරුද්ධත්වයක් නොකරන්නා වූ මුව - සා ආදී සතුන්,
අසංයමා - යනු අසංවර ශීල, සකලානු සාසති, සර්වප්රකාරයෙන් අනුශාසනා කළේය. හැම කල්හිම ප්‍රාණඝාතයෙන් වෙන් වෙනු යනු අර්ථයි. චිර පාපාභිරතො - යනු බොහෝ කාලයක් පාපයෙහි නියැලුනේ,
සංයමෙ හැසිරිමෙහි, නිවෙසයී - යනු යෙදෙන්නේය. සචෙ දිවා හන්සි පාණිනො අථ තෙ රත්තිං භවතු සංයමො - යනු කටයුතු කරන ලද ආකාරය දැක්වීමයි. හුල් උගුල් සෑදීම ආදියෙන් රාත්‍රියෙහි ද ප්‍රාණවධ කිරීමෙහි අනුයුක්ත වූයෙමි.
දිවා ඛජ්ජාමි දුග්ගතො - යනු දැන් දුගතියට ගියේ මහා දුකට පැමිණියේ දවල් කාලයෙහි කනු ලබන්නෙමි. ඔහුගේ වනාහි දවල් කාලයෙහි බල්ලන් විසින් මුවන් කනු ලබන්නාක් මෙන් කර්මයට සරිලන විපාක වශයෙන් දවල් කාලයෙහි මහත් මහත් වූ බල්ලන් දුවවිත් මොහු වෙත පැමිණ ඇට පමණක් ඉතිරිකොට ශරීරයේ අන් සියල්ල කා දමයි. රාත්‍රි කාලය පැමිණි කල්හි ඔහු ප්‍රකෘති තත්ත්වයට පත් වේ. දිව්‍ය සම්පත් විදියි. එසේ හෙයින් කියන ලදී.
ඒ කුශල කර්මයාගේ විපාකයෙන් රාත්‍රියෙහි දිව්‍ය සම්පත් වළදමි. දවල් කාලයෙහි බද්ධ වෛර ඇත්තවුන් මෙන් සුනඛයෝ හාත්පසින් කෑමට දිව එති.
එහි - පටිහතා - යනු බද්ධ වෛරයකින් බැඳුනු සිත් ඇත්තාක් මෙන් වී, සමන්තා ඛාදිතුං යනු මගේ ශරීරය කෑමට හාත්පසින් දිව එත්. මෙය තමන්ට අතිශය භය උපදවන්නා වූ කාලය - ගෙන දක්වන ලදී. ඔවුන් පැමිණ ශරීරයේ ඇට පමණක් ඉතිරිකොට කා දමා යති.
යෙච තෙ සත්තානුයොගිනො - යනු මේ අවසාන ගාථාවේ සංක්ෂේපාර්ථයයි. මම වනාහි රාත්‍රි කාලයෙහි ප්‍රාණවධයෙන් වෙන්වූ පමණකින් මෙබඳු වූ සම්පත් භුක්ති විඳිමි. යම්කිසි පුරුෂයෙක් සුගත වූ බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි අධිශීල සංඛ්‍යාත ධූරයන්හි යෙදෙන්නෝ නම්, දැඩිකොට යෙදෙන්නේ නම්, නිරන්තරයෙන් සැම කල්හිම ඒ පුණ්‍යවන්තයන් අනුව යෙදෙමින් හුදෙක් ලෞකික සැප ද, අසම්මිශ්‍ර වූ නිර්වාණ පදය ද ලබා අමෘත පදයට පැමිණෙන්නේ යයි හඟිමි. ඔවුන් කිසිදු බැඳීමකින් තොරව අධිගමයට පැමිණේ. එහි අධිගමය ද නැත. වෙන්වීමක් අදහස් කරයි.