6. සෙරණි ප්‍රෙතවස්තු වර්ණනාව
“නග්ගා දුබ්බණ්ණ රූපාසි” යන ප්‍රේත කතාව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වාසය කරන කල්හි “සේරිණී” නම් ප්‍රේතියක් අරභයා වදාළ සේක. කුරුරට හත්ථිනී පුරයෙහි සේරිණී නම් වූ එක්තරා වෙසඟනක් වූවාය. එකල භික්ෂූන් වහන්සේලා වරින් වර උපෝසථ විනය කර්ම කිරීම සදහා හත්ථිනා පුරයට වැඩම කරවති. එක්වරක් එහි මහා භික්ෂු රැස්වීමක් විය. ඒ දුටු මිනිස්සු තල, සහල්, ගිතෙල් වෙඬරු, මී පැණි ආදී දානෝපකරණ පිළියෙළ කොට මහදන් පැවැත්වූහ. එසමයෙහි සැදැහැ නැති වූ, පැහැදීම් නැත්තාවූ, මසුරු මළයෙන් යුක්ත වූ සිත් ඇති ඒ ගණිකාව වෙත, මෙහි එව! මේ දාන වස්තුවට තීත් අනුමෝදන් වවයි කියා ඒ මිනිසුන් විසින් පොළඹවන ලද්දේ උත්සාහ කරන ලද්දේ නමුත් “මේ හිස මුඩු මහණුන්ට දන් දීමෙන් කවර ප්‍රයෝජනයක්දැයි කියා අප්‍රසාදයම ඔවුන්ට ප්‍රකාශ කළාය. පරිත්‍යාගමය වූ දානවස්තුවක අල්පයක් නම් කොයින් ද?
ඕ තොමෝ මෑත කාලයෙහි කළුරිය කොට එක්තරා ප්‍රත්‍යන්ත ජනපදයක අගලක් මත්තෙහි ප්‍රේතියක්ව උපන්නීය. ඉක්බිත්තෙන් හස්තිනී පුර වාසී එක්තරා වෙළෙන්දෙක් වෙළදාම පිණිස ඒ ප්‍රත්‍යන්ත ජනපදයට ගොස් රෑ අළුයම් වේලේ යම්කිසි ප්‍රයෝජනයක් සදහා අගල මත්තට ගියේය. ඒ ප්‍රේතිය ඔහු දැක හැදින ගෙන නිර්වස්ත්‍රව ඇට සම් පමණක් ඉතිරි වූ වස්ත්‍ර ඇතිව, ඉතාමත් බියකරු දැකුම් ඇතිව, නුදුරෙහි සිට තමන් දැක්වීමය. ඒ උවසු වෙළෙන්දා ඇය දැක,
80. නිර්වස්ත්‍රව විරූප වූ බියකරු දැකුම් ඇති, කෘශ වී මස් ලේ නැති බැවින් ඉල්පී ගිය නහර වැල් ඇති, උස්ව ගිය ඉල ඇට ඇතිව මෙහි සිටින්නා වූ තී කවරී ද? යයි විමසීය.
ඒ ප්‍රේතිය ද?
ස්වාමීනි! මම ප්‍රේතියක් වෙමි. පෙර පාප කර්ම කරන ලදුව යම ලෝකය යයි හඳුන්වන ප්‍රේත ලෝකයෙහි ඉපදී, ඉතා දුකට පත් ප්‍රේතියක් වෙමි.
ගාථාවෙන් තමන් හැඳින්වූවාය. නැවත වෙළෙන්දා විසින්
එම්බල ප්‍රේතිය තී කයින් වචනයෙන් සිතින් කිනම් අකුශලයක් කරන ලද්දේ ද? කවර වූ කර්මයක විපාක වශයෙන් මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයේ උපන්නී ද?
යනුවෙන් ඇය විසින් කරන ලද අකුසල් ගැන විමසීය.
නොවළක්වන ලද (සසර සයුරෙන් එතෙර වීමට තොටුපළක් බඳු වූ) තීර්ථ නම් වූ මහණ බමුණන් ඇති කල්හි, කිසිම දෙයක් නොදී, අඩමස්සක් පවා විශේෂයෙන් රැස් කළෙමි. දානවස්තු ගෙදර තිබියදීත් තමන්ට පිහිටක් සඳහා එය නොයෙදුවෙමි.
දිය තිබහ ඇතිව නදිය කරා ආ විට නදියේ දිය හිස් වේ. ඌෂ්ණ වේලාවක ගහක් යටට පැමිණිය හොත් එතැනට අව්ව පැමිණේ.
වාතය ද ගිනි සමානව මාගේ ශරීරය දවමින් හමයි. වහන්ස! මේ දුක් ද ඊට වඩා දරුණු වූ අනෙක් දුකටත් සුදුසු වෙමි.
ඔබ හත්ථිනා පුරයට ගොස් මගේ මවට මෙසේ කියන්න. යම ලෝකයයි හඳුන්වන ප්‍රේත ලෝකයේ ප්‍රේතියක්ව ඉපදී සිටින ඔබේ දියණිය මා විසින් දක්නා ලදී. මට හමුවීය. මෙලොව දී පව්කම් කොට, මෙලොවින් චුතව දැන් ප්‍රේතියක්ව ඉපදී සිටී.
කිසිවකුට නො කියා, නො දන්වා මා විසින් එකතු කර තබන ලද වස්තුවක් ඇත්තේය. (මා නිදාගන්නා ලද) පර්යඞ්කයාගේ (ඇඳේ) යටින් සාරලක්ෂයක ධනයක් තබන ලද්දේය.
ඒ වස්තුව ගෙන මා උදෙසා දන් දෙන ලෙස ද, මවගේ ජීවිකාව කරගන්නා ලෙස ද කියව! 89. මාගේ මව් තොමෝ දන් දී මට පින් අනුමෝදන් කෙරේවා එකල්හි මම සියලු සම්පත් වලින් සමෘද්ධ වී සුවපත් වන්නෙමි.
මේ ගාථා හයෙන් තමන් විසින් කරන ලද කර්මයන් ද, ඒ උපාසකයා විසින් හා මව විසින් කළ යුතු ක්‍රියාවන් ද කියන ලද්දේය.
එහි - අනාවටෙසු තිත්ථෙසු - යනු කිසිවෙකු විසින් නො නවත්වන ලද ගංගා පොකුණු ආදී තොටුපලවල දී මිනිස්සු නහත් ද? දිය කිස කරද්ද එබඳු තැන් වලදී, විචිණිං අද්ධමාසකං - යනු මිනිසුන් සිහිනැතිව අමතකව තබාගිය යම් කිසි දෙයක් ලබන්නෙමි නම් මැනවැයි සිතා ආශාවෙන් මඩනා ලදුව අඩමසක් පමණ, නොහොත් අනාවටෙසු තිත්ථෙසු - යනු එළඹීමෙන් කිසිවෙකු විසින් නො නවත්වන ලද සත්ත්වයන්ගේ යහපත් ව්‍යාපාරයන්ගේ ශුද්ධියට ඉවහල්වන නිසා තීර්ථ නම් වූ, ශ්‍රමණ බමුණන් ඇති කල්හි විචිණිං අද්ධමාසකං - යනු තද මසුරු මළයෙන් යුක්ත වූ සිත් ඇති බැවින් කිසිවක් කිසිවකුට නො දෙමින් විශේෂයෙන් අඩමසක් තණ්හාවෙන් එකතු කළෙමි. පිනක් රැස් නොකෙළෙමි. එහෙයින් කියන ලදී. සන්තෙසු දෙය්ය ධම්මෙසු දීපං නාකාසි මත්තහොති