5. කුමාර ප්රෙතවස්තු වර්ණනාව
“අච්ඡෙර රූපං සුගතස්ස ඤාණං” යනු කුමාර ප්රේත වස්තුවයි, එය කවරෙකු නිසා උපන්නේ ද? සැවැත් නුවර බොහෝ උපාසකයෝ දහම්හි හැසිරෙන්නන්ව නගරයෙහි මහත් මණ්ඩපයක් කරවා විවිධ පැහැයන්ගෙන් යුත් රෙදිවලින් අලංකාර කරවා කල් ඇතිවම බුදුරජාණන් වහන්සේට හා භික්ෂු සංඝයාට ආරාධනා කොට, මහා වටිනා පසතුරුණු අතුරා පිළියෙළ කළ අසුන්වල බුද්ධ ප්රමුඛ මහා සංඝයා වඩා හිඳුවා සුවද මල් ආදියෙන් පුදා මහා දන් පවත්වති. ඒ දැක එක්තරා මසුරු මළයෙන් නැගී සිටින ලද සිත් ඇති එක් පුරුෂයෙක්, ඒ සත්කාර නො ඉවසන්නේ මෙසේ කීහ. මේ සියල්ල කසල ගොඩේ දැමුවේ නම් යහපත්ය. මේ හිස මුඩු මහණුන්ට දීම යහපත් නොවේ” යයි කීයේය. උපාසකවරු එය අසා කළකිරුණු සිත් ඇතිව, යම් හෙයකින් මේ පුරුෂයා විසින් බුද්ධ ප්රමුඛ මහා සඞ්ඝයා කෙරෙහි අපරාධයක් කොට, පාපයෙහි නියුක්ත වූයේ යයි, ඒ බව ඔහුගේ මවට දන්වා, “යව ශ්රාවක සඞ්ඝයා සහිත භාග්යවතුන් වහන්සේ ක්ෂමා කරවා ගන්නැයි කීහ. ඕ තොමෝ මැනවැයි පිළිගෙන පුත්රයා තැතිගන්වමින් වැරැද්ද හඟවා භාග්යවතුන් වහන්සේ හා භික්ෂු සංඝයා වෙත එළඹ පුත්රයා විසින් කරන ලද වරද කියමින් ක්ෂමා කරවාගෙන භාග්යවතුන් වහන්සේට හා භික්ෂු සංඝයාට සත් දිනක් කැඳ දානයක් පූජා කළේය. ඇගේ පුත්රයා වැඩි කල් නොගොස්ම කළුරිය කොට, අපවිත්ර වූ ක්රියාවන්ගෙන් ජීවිතය රක්නා වෛශ්යාවකගේ කුසෙහි උපන්නේය. ඕ තොමෝ ද ඔහු උපන් කෙණෙහිම පිරිමි දරුවකු යයි දැන සොහොනෙහි දැම්මවීය. හෙතෙම තමන්ගේ කුසල ශක්තියෙන් ගන්නා ලද ආරක්ෂාව ඇත්තේ කිසිදු උවදුරකින් තොරව මවගේ ඇකයෙහි මෙන්ම සුවසේ නිදා ගත්තේය. දෙවියෝ ඔහුට අරක් ගත්තහු යයි කියති.
එකල්හි භාග්යවතුන් වහන්සේ අළුයම් කාලයෙහි කරුණා සමාපත්තියෙන් නැගී සිට බුදු ඇසින් ලොව බලා වදාරන්නේ, සොහොනෙහි හැර දමන ලද ඒ දරුවා දැක හිරු උදාවන වේලාවෙහි සොහොනට වැඩම කළේය. ශාස්තෲන් වහන්සේ මෙහි වඩින්නේ යම්කිසි කාරණයක් සඳහාම විය යුතුයයි සිතු මහා ජනයා ද එහි රැස්වූහ. භාග්යවතුන් වහන්සේ පැමිණ සිටි පිරිස ඉදිරියේ “මේ දරුවා ළාමක කෙනෙකැයි නො සිතිය යුතුය. යම්කිසි හෙයකින් දැන් සොහොන් බිම හැර දමන ලදුව අසරණව අනාථව සිටියි, මතු කාලයෙහි වනාහි මේ අත්බැව්හි ද, පරලොව අත්බැව්හි ද මහත් සම්පත් ලබන්නේ යයි වදාරා, රැස්ව සිටි මිනිසුන් විසින්, කුමක් ද ස්වාමීනි මේ ළදරුවා විසින් පෙර ජාතියේ කරන ලද කර්මය කවරේදැයි විචාරන ලදුව,
(සැවැත් නුවර) ජනයා විසින් බුදුන් ප්රමුඛ භික්ෂු සංඝයාට මහත් වූ පූජාවක් කළේය. එහිදී මේ ළමයාගේ සිතට අනාදරයක් අගෞරවයක් අන්යථාත්වයක් ඇති වී ඵරුස වූ අසභ්ය වූ වචන කීයේය.
ආදී වශයෙන් ඒ දරුවා විසින් කරන ලද කර්මය, අනාගත කාලයෙහි පැමිණිය යුතු සැප සම්පත් ද ප්රකාශකොට රැස් වූ පිරිසෙහි අදහස්වලට අනුරූප වූ ධර්මයක් කියා, මත්තෙහි චතුරාර්ය සත්යය ගැබ් වූ සාමුක්කංසික ධර්ම දේශනාවක් කෙළේය. සිව්සස් දේශනාවගේ කෙළවර අසූහාර දහසකට ධර්මය අවබෝධ වූයේය. අනතුරුව අසූකෙළක් ධනය ඇත්තා වූ එක් කෙළඹියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයේ දී ම ඒ දරුවා මගේ පුතා යයි භාර ගත්තේය. භාග්යවතුන් වහන්සේ මෙපමණකින් මේ දරුවා රක්නා ලද්දේය. මහා ජනයාට අනුග්රහ කරන ලද්දේ යයි සිතා විහාරයට වැඩමවීය.
හෙතෙම මෑත කාලයෙහි, ඒ කෙළෙඹියා කළුරිය කළ කල්හි, ඔහු විසින් උරුම කරන ලද ධනය පිළිපදිමින් කුල පරම්පරාව පිහිටුවමින්, එම නගරයෙහි මහත් සම්පත් ඇති ගෘහපතියකු වී දානාදී කුසල කර්මයන්හි නියුක්ත වූයේය. ඉක්බිතිව එක් දවසක් භික්ෂු සඞ්ඝයා දම් සභාවෙහි රැස්වී (මේ පිළිබඳ) කථාවක් ඉපිදවූහ. ආශ්චර්යයකි, ශාස්තෲන් වහන්සේ ඒකාන්තයෙන්ම සත්ත්වයන් කෙරෙහි අනුකම්පා ඇත්තේය. අද මහත් සැප සම්පත් අනුභව කරන, උදාර ලෙස මහත් වූ පින්කම් කරන මේ දරුවා (පුද්ගලයා) එදා අනාථව සොහොන් බිම සිටියේය. ඒ අසා ශාස්තෲන් වහන්සේ මහණෙනි! මෙහුගේ සම්පත් මෙපමණක්ම නොවේ. මොහුගේ ආයුකෙළවර තව්තිසා දෙව්ලොව සක් දෙවිරජුගේ පුත්රයා වී උපදින්නේය. මහත් වූ දිව සැපත් ද ලබන්නේ යයි ප්රකාශ කළහ. ඒ අසා භික්ෂූන් ද මහජනයා ද මේ කාරණය දැක උපන් ඇසිල්ලේ අමු සොහොනේ දමන ලද එකුමරුට එහි වැඩමවා සංග්රහ කළසේකැයි කියා ශාස්තෲන් වහන්සේගේ ඤාණ විෂයට ස්තුති කොට ඒ ආත්මයේ ඔහුගේ ප්රවෘත්තිය කථා කළාහුය. ඒ කාරණය ප්රකාශ කරන සංගීති කාරකයෝ මේ ගාථා සය කීහ.
ශාස්තෲන් වහන්සේ යම්සේ පුද්ගලයා ප්රකාශ කළ සේක් ද, සර්වඥයන් වහන්සේගේ සර්වඥතාඥාන ආශ්චර්යමත් වන්නේය. උත්සන්න කුසල ධර්ම ඇත්තා වූ සමහර පුද්ගලයෝ (උපතේදී) නිහීන වෙතී. ඉතා සුළු පින් ඇති සමහරු උසස්ව උපදිත්.