4. භුස ප්‍රෙතවස්තු වර්ණනාව
“භූසානි එකො සාලිං පුනාපරො” ආදී වූ මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ප්‍රේතයන් සතර දෙනෙකු අරභයා වදාළහ. සැවැත් නුවරට නුදුරු එක්තරා ගමක එක් කූට වෙළෙන්දෙක් හොරට කිරීම් මැනීම් ආදියෙන් ජීවිකාව කළේය. හෙතෙම හැල් වී වල බොල් රැගෙන, තඹ පැහැති මැටි තවරා ඉතා බරකොට රත්හැල් හා කලවම් කොට විකුණුවේය. ඔහුගේ පුතා ගෙට ආවා වූ මගේ මිත්‍ර සහෘදයන්ට ආගන්තුක සත්කාර නොකළේ යයි කිපී වියගහ ගෙන මව්ගේ හිසට ගැසුවේය. ඒ වෙළෙන්දාගේ යෙහෙළිය, සියල්ලන්ගේම ප්‍රයෝජනය පිණිස තබන ලද මස් සොරෙන් කා, නැවත ගෙදර අය විසින් විචාරණ ලදුව “ඉදින් මා විසින් මස් කන ලද්දේ නම් සසර උපදින භවයක් පාසා තමාගේ පිටමස් කඩාගෙන කන්නියක් වෙම්වා” දිව්රුම් කළාය. ඒ වෙළෙන්දාගේ භාර්යාව වනාහි යම්කිසි උපකරණයක් ඉල්වන අයට නැතැයි කියන ඉදින් ඔවුන් විසින් නැවතත් ඉල්ලමින් පීඩා කරන ලදුව, “ඉදින් තිබෙන දේ නැතැයි කියා මා කියන්නේ නම් උපන් උපන් තන්හි අසූචි කන්නියක් වෙම්වායි මුසාවාදයෙන් දිව්ළාය.
ඒ සතර දෙනාම මෑත කාලයක කළුරිය කොට වින්ධ්‍යා වනයෙහි ප්‍රේතයන් වී උපන්නාහුය. එහි සොර වෙළඳ තෙමේ කර්ම ඵලයෙන් දිලිසෙන්නා වූ රත්හැල් බොල් දෙ අතින් හැරගෙන තමන් හිස් මුදුනේ විසුරුවා ගනිමින් මහා දුක් අනුභව කරයි. ඔහුගේ පුතා යකඩ පොල්ලකින් තමාගේම හිසට ගසා හිස පොඩි කරගනිමින් මහත් වූ දුක් අනුභව කරයි. වෙළෙන්දාගේ යෙහෙළිය කර්ම විපාකයෙන් ඉතා මුවහත් ඇති පුළුල් වූ දික් වූ තමාගේම නියවලින් තම පිටමස් ඇද කඩ කඩා කඩා කමින් අප්‍රමාණ දුක් විදියි. ඔහුගේ බිරිඳට සුවදැති, සුපිරිසිදු, පහකළ කළු සහල් ඇති හැල් සහල් බත් ලඟට ලැබුණු කල්හිම නොයෙක් මැස්සන් ආදී කෘමි සමූහයාගෙන් ගැවසීගත් අතිශයින් පිළිකුල් වූ දුගඳ වූ අසූචි බවට පැමිණේ. ඒ අසූචි ඇය දෙ අතින් ගෙන කමින් මහා දුකක් විදියි.
මෙසේ ඒ සතරදෙනා ප්රේතාත්මභවයෙහි ඉපිද මහා දුක් අනුභව කරන කල්හි ආයුෂ්මත් මහා මුගලන් තෙරණුවෝ පර්වත චාරිකාවෙහි යෙදෙන කල්හි එක් දවසක් එතැනට වැඩියේ මේ ප්‍රේතයන් දැක - මේ ගාථාවෙන් ඔවුන් විසින් කරන ලද කර්මයන් විචාළේය.
එකෙක් හැල් වී තම හිස විසුරුවා ගනියි. නැවත තවත් කෙනෙක් (ඔළුවට ගසාගනියි) මේ ස්ත්‍රිය ද තම පිටිමස් කඩාගෙන කයි. තී ද අපවිත්‍ර වූ අමනාප වූ පිළිකුල් කටයුතු වූ අසුචි අනුභව කෙරෙයි මේ කවර අකුශල කර්මයක්හුගේ විපාක ද?
එහි භුසානි - යනු බොල් වී, එකො - යනු එකෙක්, සාලිං යනු සහල්, මෙය සාමි අර්ථයෙහි උපයෝග වචනයි. හැල් බොල් වී තමන්ගේ හිසෙහි විසුරුවා ගනී යන අදහසයි. පුනාපරො - යනු නැවත අනිකෙක්, යම් කිසිවෙක් තම මවගේ හිසට පහර දුන්නේ ද? හෙතෙම යකඩ මුගුරකින් තමාගේම හිසට පහර දී හිස දෙකඩ වීමට පැමිණෙයි. ඒ සඳහා කියන ලදී. සකමංස ලෝහිතං - යනු තමාගේම පිට මස් ද ලේ ද පරිභෝග කරත්, කති යන යෙදීමයි. අකන්තිකං - යනු කැමති නො වන, මනාප නො වන පිළිකුල් කිස්ස අයං විපාකො - මේ ප්‍රතිඵල කවර පාප කර්මයන්ගේ ද? මේ කොළ විදින්නේ කවර කර්මයන්ගේ විපාක ද?
මෙසේ තෙරුන් වහන්සේ විසින් කරන ලද කර්මයන් විචාරණ ලදුව කුට වෙළෙන්දා භාර්යාව ද, අනෙක් සියල්ලෝ ද, තමන් විසින් කරන ලද කර්ම කියති.
මෙතෙම පෙර ආත්ම භාවයේ දී මවට පීඩා කළේය. මෙතෙම වනාහි කූට වෙළෙන්දෙකි. මැය මස් කා බොරු කීමෙන් වඤ්චා කළාය.
මම මිනිස් ලොව ඉපදී සියලු කුලයන් අතර පොහොසත් වූ ගෘහපතිනියක් වීමි. යම් යම් ගෘහ භාණ්ඩ තබාගෙනම සැඟවෙමි. කිසිවකුත් නොදුන්නෙමි.
මෙය මාගේ ගෙයි නැතැයි කීමෙන් බොරු කීමෙන් වසාලීම් ද මාගේ ගෙයි තිබියදීම සැඟවූයේ ද මගේ ආහාරය අශූචි වේවා.
ඒ අකුශල කර්මයාගේ ද මුසාවාද අකුසලයේ ද, කර්ම දෙදෙනාගේ විපාකයෙන් සුවඳසැල් හාලේ බත් ද මා හට අසූචි බවට පෙරළෙයි.