3. රථකාර ප්‍රෙතවස්තු වර්ණනාව
“වෙළුරියථම්හං රුවිරං පභස්සරං” - මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන කල්හි එක්තරා ප්‍රේතියක අරභයා වදාළහ. යටගිය දවස කාශ්‍යප බුදුරජුන්ගේ කාලයේ දී, එක්තරා ස්ත්‍රියක් සිල්වත් වූයේ ආචාර සම්පන්න වූයේ, කල්‍යාණ මිත්‍රයන් සමග හැසිරෙමින් ශාසනයෙහි ප්‍රසාදයට පැමිණියේ, මැනැවින් බෙදන ලද, විසිතුරු ටැම් හා හිණිපෙති පංතිවලින් යුත් භූමිතල ඇති ඉතා අලංකාර දැකුම්කළු, එක් සොල්දර තට්ටු ආවාසයක් කරවා එහි භික්ෂූන් පදිංචි කරවා ප්‍රණීත වූ ආහාර පානයන්ගෙන් වළදවා භික්ෂු සඞ්ඝයාට පවරා දුන්නීය. ඕ තොමෝ ඊට මෑත භාගයෙහි කළුරිය කොට, අනෙක් පාපකර්මයක හේතුවෙන් හිමවත් පර්වත රාජයා සමීපයේ රථකාර විල අසල විමාන ප්‍රේතියක් වී උපන්නීය. සඞ්ඝයාට ආවාස පූජාකළ පුණ්‍යානුභාවයෙන් සියල්ල රුවන් මුවා වූ මහත් වූ හාත්පස අතිශයින් ප්‍රසාදය එළවන්නා වූ මනහර වූ රමණීය වූ සිත්කළු වූ පොකුණු සහිත වූ, නන්දන වනය හා සමානව බබළන්නා වූ විමානයක් ඇයට පහළවිය.
ඕ තොමෝ ද රන්වන් පැහැ ඇති, සිත් ගන්නා රූ ඇති දැකුම්කළු වූ දුටු දුටුවන් පහදවන්නියක් වූවාය. ඕ තොමෝ පුරුෂයන්ගෙන් තොරව දිව සැප විදින්නා වූ ඈ තුළ කළකිරීමක් නො ඇල්මක් උපන්නේය. ඕ තොමෝ උකටලී බවෙන් යුතුව එක් උපායක් ඇතැයි සිතා දිව්‍යමය වූ අඹගෙඩි නදියෙහි පා කෙළේය. සියල්ල කණ්ණමුණ්ඩ ප්‍රේත වස්තුවේ ආ නයින්ම දතයුතුයි. මෙහි වනාහි බරණැස් වැසි එක් තරුණයෙක් ගඞ්ගාවෙහි පාවූ එක් අඹ ගෙඩියක් දැක ඒ අඹවල හටගැනීම සොයා පිළිවෙළින් ගොස්, ඒ නදිය දැක ඒ අනුව ඇය වසන තැනට ගියේය. ඕ තොමෝ ඔහු දැක තමන් වසන තැනට කැඳවාගෙන ගොස් පිළිසඳර කථාකරමින් හුන්නේය. හෙතෙමේ ඇය වසන තැන සම්පත් දැක ඒ පිළිබඳ තොරතුරු මේ ගාථා මගින් විමසීය.
මහත් දිව්යනුභාව ඇති දෙවඟන! වයිරෝඩි මැණික්වලින් තැනූ කුළුණු ඇති, පැහැපත් වූ, රැස් විහිදුණු, නොයෙක් සිතියම් ඇති විමානයට නැගී අහස්තලයෙහි චන්ද්‍රයා මෙන් බබළමින් සිටින්නීය.
ඔබගේ ශරීරය රන්වන් පැහැ ඇත්තේය. රත් වී දිළිසෙන පැහැ ඇත්තීය. වාත්තුකළ වැනි වූ රූපය අතිශයින් දර්ශනීය වේ. අසමාන වූ රූපවත් දෙවඟන! ඔබ හුදෙකලාව වසන්නේ, ඔබට ස්වාමියෙක් නැත්තේ ද?
ඔබගේ මේ පොකුණු සමීපයේ හාත්පස බොහෝ මල් ඇත. බොහෝ හෙළ පියුම් ඇත. රුවන් වැල්ලෙන් හාත්පස ගැවසී ගත්තේය. එහි මඩ ද දියසෙවෙල් ද නැත.
දර්ශනීය වූ නෙත් පිනවන්නා වූ, මේ හංසයෝ ද ජලයෙහි හැමකල්හි හැසිරෙති. සියලු හංසයන් එක්ව නාද කරන්නේ නො විසුරුණු හඬ ඇත්තේ, මිහිඟු බෙර වාදනයෙහි මෙන් හඬ ඇත්තේය.
ඉසුරුමතිය! ඔබ දිව්‍යමය සෘද්ධියෙන්, ඉතාමත් දිලිසෙමින්, රුවන් නැවෙහි එල්ඹී සිටින්නෙහිය. දිගු නෙත්හි කළු වූ ඇහි බැම ඇත්තේය. නිතර සිනහවෙන් යුත් ඔබ ප්‍රියවදන් කියන්නීය. සියළු අඟ පසඟ ඉතා ශෝභනවත්ය. අතිශයින් බබළයි.
මේ විමන රජස් රහිතය. සමභූමියෙහි පිහිටියේය. සිත්කළු වනය හිත සතුටු කරමින් සුවය හා ප්‍රීතිය වර්ධනය කරන්නේය. අළාමක දැකුම් ඇති ස්ත්‍රිය! මම ඔබ සමග මේ නන්දන වනයෙහි හෝ විමනෙහි ඇලෙන්නට කැමැත්තෙමි.
එහි, තත්ථ එම විමානයෙහි, අපච්ඡසි, කැමති කැමති තාක් කල් හිඳියි වසයි, දෙවී! ඇයට අමතයි. මහානුභාවෙ - මහත් වූ දිව්‍යානුභාවයෙන් සමන්විත වූ, පථද්ධනී - තමන්ගේ ගමන් මාර්ගයෙහි බොහෝ කාලයක්, ගුවන් තල මතුයෙහි යන අර්ථයි. පණ්ණරසෙව චන්දිමා - වෙසක් මස පිරිපුන් සඳ මඬල මෙන් බැබළෙයි යන අර්ථයි.
වණ්ණෙපි තෙ කනකස්ස සන්නි භො - යනු ඔබගේ ශරීර පැහැය ද ගින්නෙන් රත් වූ රන්වන් රත්රන් හා සමානය, ඉතාමත් සිත් ගන්නා සුළුය. එහෙයින් කියන ලදී. “උත්තත්ත රූපො භූසදස්සනීයො” - මහාර්ග වූ අතුලෙ, යනු දෙවඟනට ඇමතීමයි. අසමාන රූප ශ්‍රී ඇත්තේ යන අර්ථයි. නත්ථිච තුය්හ සාමිකො - ඔබට සැමියෙක් නැත්ද?