2. සානුවාසී ප්‍රෙතවස්තු වර්ණනාව
“කුණ්ඩිනගරියො ථෙරො” ආදී වූ මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ වාසය කරන කල්හි ආයුෂ්මත් සානුවාසී ස්ථවීරයන්ගේ ඤාති ප්‍රේතයකු අරභයා දේශනා කළහ. යටගිය දවස බරණැස් නුවර කිතවස්ස නම් රජුගේ පුත්‍රයා උයන්කෙළි කෙළ නැවැත් වූයේ, සුනෙත්ත නම් පසේ බුදුන්වහන්සේ පිඬු පිණිස හැසිර නගරයෙන් නික්ම යනු දැක රාජ ඌෂ්ණයෙන් මත්වී “මේ හිස මුඩු තැනැත්තා මට ප්‍රණාමය නො කොට යන්නේ යයි ඉතා නපුරු සිතින් ඇතු පිටින් බැස, කිම ඔබ විසින් පිණ්ඩපාතය ලබන ලදදැයි, කියා කථා කරමින්ම අතින් පාත්‍රය ගෙන පොළවේ ගසා බින්දේය. එකල්හි උන්වහන්සේ සියලු තන්හි කම්පා නොවන අතින් වෙනසක් නොකොට කරුණාවෙන් පැතිරුණු සෞම්‍ය වූ සොම්නස් සහගතව නෙත් හෙලා පහන් සිත් ඇතිවම ඔහු දෙස බැලීය. එහෙත්, නිකරුණේ උපදවා ගත් ක්‍රෝධයෙන් යුත් සිත් ඇතිව “මා කිතවස්ස රජුගේ පුතා බව නො දන්නේ ද? ඔබ මා දෙස බලා කුමක් කරන්න ද? කියා අවමන් කරමින් ගියේය. ඔහු එතැනින් පිට වූ ඇසිල්ලේම ඔහුට නරකයේ ගිනිදැල් වැදුනාක් මෙන් ශරීරය පුරා බලවත් දැවිල්ලක් හටගත්තේය. හෙතෙම ඒ මහා සන්තාපයෙන් මැඩුණු ශරීරය ඇතිව ඉතා දැඩි දුක් වේදනාවන්ගෙන් මිරිකී කළුරිය කොට අවීචි මහා නරකයෙහි උපන්නේය.
හෙතෙම එහි දකුණු පසින් ද වම් පසින් ද, උඩුකුරුව හා යටිකුරුව ද බොහෝ ප්‍රකාරයෙන් පෙරළී සිට අසූහාරදහසක් අවුරුදු ගෙවා එයින් චුත වැ, ප්‍රේතයෙක් වී අසීමිත කාලයක් සාපිපාසා දී දුක් අනුභව කොට එයින් චුත වී මේ බුද්ධෝත්පාද කාලයෙහි කුණ්ඩි නුවර සමීපයේ ධීවර ගම්මානයක ඉපදුනේය. ඔහුට අතීත ජාතීන් සිහිකිරීමේ නුවණ පහළ විය. එහෙයින් හෙතෙම පෙර තමන් විසින්, පිළිවෙලින් අනුභව කළ දුක් සිහිකරමින් තරුණ වියට පැමිණියේ නමුත් පවට ඇති බිය නිසා නෑයන් සමග ද මසුන් ඇල්ලීමට නො යයි. නෑයන් යන කල්හි මසුන් මරන්නට අකමැත්තෙන් සැඟවෙයි. ඉක්බිතිව මසුන් අල්ලන දැල්කපා දමයි. ජීවත්වන මසුන් ගෙන ගොස් දියට දමයි. ඔහුගේ ඒ ක්‍රියාවන් නොරුස්නා නෑයෝ ගෙයින් එලවා දැමූහ. ඔහුගේ එක් සහෝදරයෙක් ස්නේහයෙන් සතුටු සිත් ඇත්තේ විය.
එසමයෙහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කුණ්ඩ නගරය ඇසුරු කොට සානුවාසී පර්වතයෙහි වාසය කරයි. ඉක්බිති ඒ ධීවර පුත්‍රයා නෑයන් විසින් අත්හරින ලදුව ඔබ මොබ සැරිසරන්නේ ඒ ප්‍රදේශයට පැමිණියේ ආහාර වේලාවට තෙරුන් සමීපයට ගියේය. තෙරුන් වහන්සේ ඔහු විචාරා ආහාර අවශ්‍යව ඇතැයි දැන ඔහුට බත් දී, අනුභව කිරීමෙන් පසුව ඔහුගේ සියලු ප්‍රවෘත්තිය දැන, ධර්ම කථාවෙන් ඔහු පැහැදුන බව දැන පැවිදිවන්නට කැමැත්තේදැයි ඇසීය. එසේය ස්වාමීනි පැවිදි වන්නෙමියි කීයේය. ස්ථවිරයන් වහන්සේ ඔහු පැවිදි කොට ඔහු ද සමගින් භාග්‍යවතුන් වහන්සේ සමීපයට ගියේය. එවිට ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළහ. ආනන්දය! මේ තෙරණට අනුකම්පා කරව! හේ නො කරන ලද කුසල් ඇති බැවින් අල්පලාභීය. ඉක්බිතිව ශාස්තෲන් වහන්සේ ඔහුට අනුග්‍රහ කරමින් භික්ෂූන්ගේ පරිභෝගය සදහා පැන් කළ පිරවීමෙහි යෙදුවේය. එය දැක උපාසකවරු ඔහුට නිති බත් එළවුහ.
ඒ සාමණේර නම ඉන්පසු කලෙකද උපසම්පදා ලැබ අර්හත්භාවයට පැමිණ භික්ෂූන් දොළොස් නමක් සමග සානුවාසී පර්වතයෙහි විසීය. ඔහුගේ නෑයෝ පන්සියයක් පමණ දෙනා නො කල කුසල් දහම් ඇතිව, මසුන් මැරීමාදියෙන් රැස්කළ පව් ඇතිව, කළුරිය කොට ප්‍රේත ලෝකයෙහි උපන්නාහුය. ඔහුගේ දෙමව්පියෝ අප විසින් මෙතෙම පෙර ගෙයින් නෙරපන ලද්දෙයයි කියා ලජ්ජාවෙන් ඔහු වෙත නො එළඹ, ඔහු වෙත සෙනෙහස දැක් වූ සහෝදරයා යැවූහ. හෙතෙමෙ තෙරුන් ගමට පිඬු පිණිස වැඩිය කල්හි දකුණු දණමඩල පොළවේ තබා කරන ලද ඇදිලි ඇතිව තමන් දක්වා “මාතා පිතාච වො භන්නෙ” ආදී ගාථා කීහ. “කුණ්ඩිනගරියො ථෙරො” යනාදී වශයෙන් මුලින්ම ගාථා පහක්, ඒ සම්බන්ධතාවය දැක්වීම පිණිස සඞ්ගීති කාරකයන් විසින් දක්වන ලදී.
කුණ්ඩී නම් නුවර, උපන් සානුවාසී පර්වතයෙහි වසන්නා වූ පොට්ඨපාද නමින් හඳුන්වන වඩනා ලද ශ්‍රද්ධාදී ඉන්ද්රිය ඇති එක් ස්ථවිර නමක් වූයේය.
ඒ තෙරුන්ගේ මව් ද පියා ද සහෝදරයා ද දුගතියට පත්ව ප්‍රේත ලෝකයෙහි උපන්නාහුය. මෙලොව දී පව්කම් කොට මෙයින් චුත වී ප්‍රේත ලෝකයට ගියාහුය.
දුප්පත් වූ ඉදිකටු මූණ බඳු රූක්ෂ වස්ත්‍රාදිය ඇති ක්ලාන්ත වූ ශරීරයෙන් හා සිතින් යුතුව, නග්නව ඒ තෙරුන්ට බියෙන් තැති ගත් නොහොත් නිතර මහත් බිය ඇති දරුණු පව්කම් කළා වූ ඒ ප්‍රේතයෝ නොදක්වත්.
ඒ තෙරුන්ගේ සහෝදරයා බියෙන් දුරුව නිර්වස්ත්‍රව එක් පදික මාර්ගයක තනිව චතුරඞ්ගයෙන් යන්නෙක්ව, අත්දෙකින් හා දණහිස් දෙකින් තෙරුන් වහන්සේට තමන් දැක්වීය.
තෙරුන් වහන්සේ ද මෙනෙහි නොකොට නිශ්ශබ්දව වැඩියේය. එවිට ඒ ප්‍රේත තෙමේ මම සහෝදරයා වෙමි. ප්‍රේත ආත්මයට පැමිණියෙමියි තෙරුන්ට කීය.
ස්වාමීනි! ඔබගේ මව්පියෝ පෙර මිනිසත් බවේ දී පව්කම් කොට, දුගතිය වූ යමලෝකයයි වහරන ප්‍රේතලෝකයේ උත්පත්තියට ගියහ.
ඔව්හු දුප්පත් වූහ. ඉදිකටු මෙන් රළු වස්ත්‍ර හදිති. නග්න වූහ. බඩගින්න නිසා ක්ලාන්ත වූ වෝය. ක්‍රෑර වූ කර්ම ඇත්තෝය. ඔබ කෙරෙහි මහත් බියක් ඇති හෙයින් ඔබ දක්නට නො එන්නාහ.
කාරුණික වූ ඔබ වහන්සේ අපට අනුකම්පා කරනු මැනව. දන් දී අපට අනුමෝදන් කළ මැනව. ඔබ විසින් දෙනු ලබන දානයෙන් ක්‍රෑර කර්ම ඇති අප යැපෙන්නාහුය. මිදෙන්නාහුය.
එහි කුණ්ඩි නගරියො ථෙරො - මේ නම් නගරයෙහි උපන්, නගරයට සම්බන්ධ ස්ථවිරයන් වහන්සේ, කුණ්ඩිත නගරො ථෙරො - කියාද සඳහන් වේ. එය එම අර්ථමැයි සානුවාසි නිවාසි තො - යනු සානුවාසී පර්වතයේ වසන පොට්ඨපාදෙති නාමෙනා - නමින් පොට්ඨපාද වූයේය. සමණො - බහා තබන ලද දුරුකරන ලද පව් ඇති, භාවිතින්ද්රියො ආර්ය මාර්ග භාවනා වඩා, ඒ මගින් වඩන ලද ශුද්ධාදී ඉන්ද්රියයන් ඇති රහත්වූයේ යන අර්ථයි. තස්සා - ඒ සානුවාසී තෙරුන්ට, දුග්ගතා - දුගතියට ගියා වූ,
සුචිකට්ටා - ඉදිකටු වැනි රූක්ෂ වස්ත්‍රාදියෙන් පීඩාවට පැමිණ සුචිගත්තා යනු ද පාඨයකි. විදින කලක් මෙනි, සුචිකා - යනු බඩගින්නෙන් හා දිය පිපාසයෙන් පීඩාවට පැමිණ පෙලෙනා සුචි කණ්ඨා කියාද ඒ පාඨයයි. ඉදිකටු සිදුරක් වැනි කටක් ඇති, සමාණ මුහුණ ඇති කිලන්තා - ක්ලාන්ත වූ කය හා සිත් ඇති නග්ගිනො - නග්න වූ රූ ඇති වස්ත්‍ර නැති, කිසා - යනු ඇට හා සම පමණක් ඉතිරි වූ කෘශ වූ දේහය ඇති, උත්ත සත්තා - යනු මේ ශ්‍රමණයා අපගේ පුත්‍රයා තැති ගැනීමෙන් භයට පැමිණීමෙන්, මහාතාසා - යනු අප විසින් පෙර කරන ලද ක්‍රියාවන් නිසා හටගත් බිය ඇතිව නදස්සෙන්ති - යනු අපට පෙනී සිටිනු නොහැකිය. සමීපයට නොයත් කුරූරිනො යනු දරුණු වූ කර්මාන්ත