9. අංකුර ප්‍රේතවස්තු වර්ණනාව
“යස්ස අත්ථාය ගච්ඡාමි” - මෙම ප්‍රේතවස්තු කථාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන සේක් අඞ්කුර ප්‍රේතයා අරභයා වදාළ සේක. මෙහි අඞ්කුර තෙම ඒකාන්තයෙන් ප්‍රේතයෙක් නොවේ. යම් හෙයකින් ඔහුගේ චරිතය වනාහී ප්‍රේතයන් හා සම්බන්ධ වූයේ ද එහෙයින් අඞ්කුර ප්‍රේත වස්තුව යයි කියන ලදී.
මේ එහි කෙටි කථාවයි - උතුරු මධුරා නුවරට අධිපති වූ මහා සාගර රජුගේ පුත්‍ර වූ, උපසාගර නිසා උත්තරාපථයේ කංසභෝගයෙහි අසිතඤ්ජන නගරයේ මහාකංස රජුගේ දියණිය වූ, දේව ගර්භාගේ කුසයෙහි අඤ්ජන දේවිය, වාසුදේවය, බලදේවය, චන්ද දේව, සුරියදේව, අග්ගි දේව, වරුණ දේව, අර්ජුන, පර්ජුන, ඝත පණ්ඩිත, අඞ්කුර, කියා වාසුදේව ආදිකොට ඇති යම් දස සහෝදරයන් හා අඤ්ජන දේවිය සමග එකොළොස් ක්ෂත්රිය කෙනෙක් වූ ද? ඔවුන් අතුරෙන් වාසුදේව ආදිකොට ඇති සහෝදරයෝ අසිතඤ්ජන නුවර ආදිකොට ද්වාරවතී නුවර අවසන් කොට සියලු දඹදිව සැට තුන්දහසක් නුවරවල සියලු රජුන් චක්‍රයෙන් ජීවිතක්ෂයට පත්කොට ද්වාරවතී නුවර වසමින් රාජ්‍යය කොටස් දහයකට බෙදා රජ කරවන්නාහුය. සොහොයුරි අඤ්ජන දේවිය සිහි නො කළාහු වෙති. නැවත සිහි වී කොටස් එකොළහක් කරමු යයි කී කල්හි සියල්ලටම බාල වූ අඞ්කුර තෙමේ මගේ කොටස ඇයට දෙව්. මම වෙළදාම් කොට ජීවත් වන්නෙමි. තෙපි තම තමන්ගේ ජනපදවල මගෙන් බදු අය නොකොට මට බදු සහන දියව් යයි කීවේය. ඔහු මැනවැයි පිළිගෙන ඒ කොටස සහෝදරියට දුන්නාය. රජවරු නවදෙන ද්වාරවතී නුවර වසති.
අඞ්කුර තෙමේ වෙළදාම් කරන්නේ නිතර මහා දන් පවත්වති. ඔහුට (අඞ්කුරට) වැඩ කැමති හිතවත් දාසයකු භාණ්ඩාගාරික වූයේය. අඞ්කුර තෙමේ ඔහු කෙරෙහි ප්‍රසන්න වූ සිතින් ඒ දාසයාට එක් කුලදුවක් ගෙනැවිත් දුනි. ඒ දාසයා (දාසියගේ කුසෙහි) දරු ගැබක් ඇති වූ කල්හිම මිය ගියේය. අඞ්කුර තෙමේ ඒ පුතා උපන් විට ඔහුගේ පියාට දුන් බත් වැටුප් ඔහුට දුන්නේය. ඒ දරුවා වැඩි වයස් වන විට මේ දරුවා දාසයෙක් වේ ද දාසයෙක් නො වේ ද යන ප්‍රශ්නයක් රජකුලයෙහි ඇති විය. එය අසා අඤ්ජන දේවිය දෙනක උපමා කොට ගෙන, මව් ස්වාමී දුවක් බැවින් පුත්‍රයා ද ස්වාමියෙක් යයි කියා දාස භාවයෙන් මිදවීය.
දරුවා ලජ්ජාවෙන් එහි විසීමට නො හැකිව භේරුව නගරයට ගොස් එක්තරා සන්නාලියකුගේ දුවක සරණකොට ගෙන සන්නාලි ශිල්පයෙන් ජීවත් විය. එකල්හි භේරුව නුවර අසය්හ නම් සිටුවරයෙක් විය. ඒ සිටුවරයා මහණ බමුණන්ට ද දුගී මගී වණිබ්බක යාචකයන්ට ද දන් දෙයි. ඒ සන්නාලි තෙමේ අසය්හ සිටුවරයාගේ ගේ නො දන්නවුනට සතුටු සිතින් යුක්තව, අසය්හ සිටුගේ ගෙදරට දකුණු අත දිගු කොට මෙතැනට ගොස් කැමති දෙයක් ලබාගන්නැයි පෙන්වයි. ඔහුගේ කර්මය පෙළෙහිම දැක්වෙයි.
හෙතෙම මෑතකාලයෙහි කළුරිය කොට කාන්තාරයක නුග ගසෙක භූමාටු දෙවියෙක් වී උපන්නේය. ඔහුගේ දකුණු අත කැමති කැමති සම්පත් දෙයි. එම භේරුව නගරයෙහි අසය්හ සිටුගේ දානයෙහි යෙදුණු සැදැහැ නැති අප්‍රසන්න වූ මිථ්‍යාදෘෂ්ටික වූ පින් කිරියවත්හි ආදර සිත් නැති එක්තරා පුරුෂයෙක් කළුරිය කොට ඒ දෙව්පුත් වසන තැනට නුදුරු තන්හී ප්‍රේතයෙක්ව උපන්නේය. ඔහු විසින් කරන ලද කර්මය ද පෙළෙහි ආයේය. අසය්හ මහ සිටුතෙම කළුරිය කොට තව්තිසා දෙව්ලොව සක්දෙවිදුගේ පිරිවරෙහි කෙනෙකු බවට පත්විය.
පසු කලෙක අඞ්කුර තෙමේ ගැල් පන්සියයකින් ද, තවත් බමුණෙකුගේ ගැල් පන්සියයකින්දැයි ගැල් දහසකින් යුතුව භාණ්ඩ රැගෙන මරුකතර මහ මගට පිළිපන්නේය. එහිදී මග වැරදී මංමුලා වී බොහෝ දවසක් එහිම හැසිරෙන්නේ තණ ආහාර, දිය ආදිය සියල්ල අවසන් විය. අඞ්කුර තෙම සිය දූතයන් ලවා පැන් සොයවීය. ඉක්බිතිව ඒ කැමති සම්පත් දෙන අත් ඇති දෙවි තෙමේ ඔවුන්ගේ ඒ ව්‍යසනය දැක, අඞ්කුර විසින් තමන්ට පෙර කරන ලද උපකාර සිතා, ඒකාන්තයෙන් මොහුට මා විසින් මේ වෙලාවේ අවශ්‍යයෙන්ම පිහිට විය යුතු යයි සලකා තමන් වසන නුගරුක දැක්වීය. ඒ නුගරුක වනාහී විහිදී ගිය අතු පතර ඇත්තේය. ඝනට වැඩුණු කොළ ඇති, මනාව සෙවන ඇති, බොහෝ උඩින් ඇදුණු මුල් ඇති (පාරොහ), දිග පළලින් ද උසින් ද යොදුනක් පමණ විය. ඒ දුටු අඞ්කුර තුටු පහටුව ඒ ගස යට කඳවුරු බැන්ද වීය. දෙව්තෙම තමාගේ දකුණත දිගු කොට පළමුව පැන්වලින් ජනයා සෑහීමට පත් කළේය. ඉන්පසුව ඒ ඒ පුද්ගලයා යම් දෙයක් කැමති ද ඒ ඒ දෙය දුන්නේය.
මෙසේ එකල්හි මහජනයා නොයෙක් ආකාර ආහාර පාන ආදියෙන් ඒ ජනයා කැමති පරිද්දෙන් සෑහීමට පත් වූ පසුව, වෙහෙස මහන්සිය නිවුණු කල්හි ඒ බමුණු වෙළද තෙමේ නුණුවනින් කල්පනා කරමින් මෙසේ සිතීය. ධන ලාභය සදහා මෙතැනින් කාම්බෝජයට ගොස් අපි කුමක් කරමු ද? මේ දෙවියා වනාහි යම්කිසි උපායකින් ගෙන යානාවට නංවා ගෙන අපේ නුවරටම යන්නෙමු යයි සිතීය. මෙසේ සිතා ඒ කාරණය අඞ්කුර වෙත කියන්නේ, ගාථා දෙකකින් කීහ.
භාණ්ඩ අලෙවි කොට ධනය උපයන්නෙමුය යන අර්ථය පිණිස, කාරණය පිණිස අපි කාම්බෝජ රටට යන්නෙමු ද, මේ දිව්‍ය පුත්‍රයා කැමති කැමති සම්පත් දෙන බැවින් මේ දිව්‍ය පුත්‍රයා අපි ගෙන යමු.
මේ දිව්‍ය පුත්‍රයා මැනවින් යච්ඤා කිරීමෙන් හෝ, මර්දනය කොට බලහත්කාරයෙන් හෝ අල්ලා ගෙන සැප පහසු යානාවකට නංවාගෙන ද්වාරවති නුවරට වහාම යමු.
එහි යස්ස අත්ථාය - යම්කිසි කාරණයක් සඳහා කාම්බොජං - කාම්බෝජ නම් රටට, ධනහාරක බඩු විකුණා ධනය ගෙන ඒම පිණිස, කාමදදො කැමති කැමති දේ ලබා දෙන්නා වූ, යක්ඛො දේව පුත්‍රයා නිය්යාමසෙ -කැඳවාගෙන යමු. පමුණුවාගෙන යමු. සාධුකෙන යපත් ලෙස ආයාචනා කොට, පසය්හා - මැඩ පවත්වා බලහත්කාරයෙන් හෝ යානං - සුවපහසු වාහනයකට (නංවා) ද්වාරකං - ද්වාරවතී නුවරට, මේ ඔහුගේ අදහස බලාපොරොත්තුවයි. යම් ප්‍රයෝජනයක් අර්ථයක් සඳහා අපි කාම්බෝජයට (යන්නට) යනු කැමැත්තේ ද, ඒ ගමනෙහි සංසිද්ධිය ප්‍රයෝජනය මෙහිදීම සිදුවිය. මේ දෙවියා කැමති කැමති දේ දෙන්නේය. එහෙයින් මේ දෙවියා ආරාධනා කොට, කැමැත්ත පරිදි හෝ ඉදින් එසේ නො යන්නේ නම් බලහත්කාරයෙන් හෝ යානයකට නංවා යානයේ දී දෙඅත් පිටුපසට බැඳ ඔහුද කැටුව වහා ද්වාරවතී නගරයට යමු.