2. උබ්බරී වර්ගය
1. සංසාරමොචක ප්රෙතවස්තු වර්ණනාව
“නග්ගා දුබ්බණ්ණ රූ පාසී” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි වැඩ වාසය කරන කල්හි මගධ රට ඉට්ඨකාවතී නම් එක්තරා ප්රේතියක අරබයා වදාළ සේක. මගධ රට ඉට්ඨකාවතී ද දීඝරාජී ද කියා ගම් දෙකක් වූහ. එහි සංසාර මෝචක කුලයෙහි මිථ්යාදෘෂ්ටිකයෝ බොහෝදෙනෙක් වසති - අතීතකාලයේ අවුරුදු පන්සියයකට පෙර එක්තරා ස්ත්රියක් ඒ ඉට්ඨකාවතී නම් ගමෙහි එක්තරා සංසාර මෝචක කුලයෙහි ඉපිද, මිථ්යාදෘෂ්ටි වශයෙන් බොහෝ පණුවන් හා පලගැටියන් මරා ප්රේතයන් අතර උපන්හ.
ඒ ප්රේතිය වසර පන්සියයක් මුළුල්ලේ සා පිපාසාදී දුක් අනුභව කොට, අපගේ බුදුන් ලොව පහළ වී පවත්වන ලද උතුම් දම්සක් ඇතිව, පිළිවෙළින් රජගහනුවර ඇසුරු කොට වේළුවනාරාමයෙහි වැඩ වසන කල්හි, නැවතත් ඉට්ඨකාවතී නුවර සංසාරමෝචක කුලයකම ඉපිද සත් අට හැවිරිදි වයස් කාලයේ අනෙක් දැරියන් සමග පාර තොටේ සෙල්ලම් කිරිමට සමත් වී ද? එකල්හි, ආයුෂ්මත් සැරියුත් තෙරුන් වහන්සේ ඒ ගමම ඇසුරු කොට අරුනවතී විහාරයෙහි වාසය කරන සේක, එක් දවසක් දොළොස් නමක් භික්ෂූන් සමග, ඒ ගම්දොර සමීපයෙන් වඩින සේක. එකෙණෙහි බොහෝ ගම්දැරියෝ ගමින් නික්ම ගම්දොර සමීපයෙහි ක්රීඩා කරන්නේ ප්රසන්න මනසින් යුතුව මව්පියන්ගේ පිළිවෙත් දැකීමෙන් යුහුව ගොස් සැරියුත් තෙරුන් හා අනෙක් භික්ෂූන් පසඟ පිහිටුවා වැන්දාහුය. සැදැහැනැති කුලයෙහි උපන් ළමයා බොහෝ කලක් කුසල් පුරුදු නො කළ බැවින් ද, යහපත් ජනයාගේ සිරිත් විරිත් නැති බැවින් ද, ආදර රහිතව, නො හික්මුණු තැනැත්තියක් මෙන් සිටියාය. තෙරුන් වහන්සේ ඇගේ පූර්ව චරිතය ද දැන් සංසාර මෝචක කුලයෙහි ඉපදීම ද නැවත මතු කාලයෙහි අපායෙහි උපදින්නට සුදුසු තැනැත්තියක් බව ද, දැක, ඉදින් ඕ ද මා වඳින්නේ නම් නිරයෙහි නූපදින බව ද, ප්රේතියක වසයෙන් ඉපදුනත් තමන් නිසාම සම්පත් ලබන්නේ යයි දැන, කරුණා පෙරදැරි සිතින් ඒ ළදැරියන්ට මෙසේ වදාළහ. “තෙපි භික්ෂූන් වදිව්. මේ දැරිය වනාහි නො හික්මුණු දැරියක් සේ සිටියායයි කීහු. එවිට අනෙක් දැරිවියෝ ඈ අතින් අල්වා ඇදගෙන ඇවිත් බලහත්කාරයෙන් තෙරුන්ගේ පා වැන්දවුහ.
ඕතොමෝ වැඩිවිය පැමිණ දීඝ රාජි නම් සංසාරමෝචක කුලයේ එක්තරා කුමාරයකුට විවාහ කොට දෙන ලදුව, පිරුණු ගැබ ඇතිව කළුරිය කරන ලදී, ප්රේත යෝනියේ ඉපදී නග්නව දුර්වර්ණව, සා පිපාසා දෙකින් මඩනා ඉතා බියකරු දැකුමෙන් යුතුව ඇවිදින්නී, රාත්රි කාලයෙහි ආයුෂ්මත් ශාරි පුත්ර ස්ථවිරයන්ට පෙනෙන සේ එකත්පස්ව සිටියාය. සැරියුත් හාමුදුරුවන් වහන්සේ ඒ ප්රේතිය දැක ගාථාවකින් මෙසේ ඇසීය.
1. උස්ව නැගුනු ඉල ඇට ඇතිව, කෘශ වූ තැනැත්තිය, නග්නව පිළිකුල් දනවන පැහැය ස්වභාව ඇතිව, ඉල්පී ගිය නහර වැල් ඇතිව, මෙහි සිටින තී කවරීද?
එහි - ධමනිසන්ථතා - මස් ලේ නැති බැවින් නහර දැල් ප්රකටව පෙනෙන, උප්ඵාසුලිකෙ උස්ව නැගුණු ඉල ඇට, කිසිකෙ - කෙට්ටු වූ කෘශ වූ ශරීරය, පෙර “කිසා” යයි කියා නැවත “කිසිකෙ” යන වචනය - ඇට සම නහර පමණක් ඇති ශරීර ඇති බැවින් අතිශයින්ම කෙට්ටු බව දක්වන යන අර්ථය කියන ලදී. එය අසා ප්රේතිය තමාව හඳුන්වමින් ප්රකාශ කරන්නී.
2. ස්වාමීනි මම දුකට පැමිණියා වූ, යම ලෝකයයි කියන ලද ප්රේත අපායෙහි උපන්නා වූ, ප්රේත දුවක් වෙමි. පව්කම් කොට මිනිස් ලොවින් චුතව ප්රේත ලෝකයට පැමිණියෙමි’යි
කියා නැවත තෙරුන් වහන්සේ
3. කයින් - සිතින් වචනින් කවර අකුශලයක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයකින් ප්රේත ලෝකයේ ඉපදුනේ ද?
කරන ලද කර්මය විචාරන ලදුව නො දෙන සුලුව, මසුරුකමින් යුක්ත වීම නිසා ප්රේත යෝනියෙහි ඉපිද මහත් දුක් අනුභව කරන බව දක්වන්නී.
4. ස්වාමීනි පහන් සිත් ඇතිව මහණ බමුණන්ට දන් දෙවයි කියා අනුකම්පාවෙන් මට කියාදුන් මවක් හෝ පියෙක් හෝ නෑ කෙනෙක් හෝ වෙනත් අනුකම්පා කරන කෙනෙක් හෝ මට නො සිටියේය.
5. මෙබඳු වූ නග්නව බඩගින්නෙන් හා පිපාසයෙන් පෙළනු ලබමින්, මෙතැන් පටන් අවුරුදු පන්සියයක් මුළුල්ලෙහි මම හැසිරෙම් ද? මාගේ පාපකර්මයාගේ විපාකය මෙය වේ.
6. ආර්යයන් වහන්ස නුඹ වහන්සේ පහන් සිත් ඇතිව මම වඳිමි. මහත් ආනුභාව ඇති ධීරයන් වහන්ස මට අනුකම්පා කරනු මැනව. යම්කිසි දාන වස්තුවක් දී මට පින් දුන මැනව. ස්වාමීනි ගතියෙන් මා මුදනු මැනවි.
එහි අනුකම්පකා- පරලොව දී ලැබෙන ඵලය සදහා උපකාර වුව මැනවි. භන්තෙ - තෙරුන් වහන්සේ ඇමතීමයි. යෙ මං නියොජෙය්යුං - මවක් හෝ පියෙක් හෝ - නැති නම් ඤාතියෙක් හෝ මෙබඳු පැහැදුණු සිතක් ඇතිව මහණ බමුණන්ට දන් දෙවයි, අනුකම්පාවෙන් මා යොදවන්නට කිසිවෙක් නො සිටියේය යන යෙදීමයි.
ඉතො අහං වස්සසතානි පඤ්ච යං එවරූපා විචරාමි නග්ගා මේ ප්රේතී තොමෝ මෙයින් තුන්වන ජාතියෙහි තමාගේ ප්රේත ආත්මභාවය සිහිකොට දැනුදු එසේම වසර පන්සීයයක් ගෙවන්ට වේදැයි යන සිතිවිල්ලෙන් ඇදහිල්ලෙන් සිටී. එහි - ය යනු යම් හෙයකින් දානාදී පිනක් නො කළ බැවින් මෙබඳු වූ නග්න වූ ස්ත්රියක්ව, මෙවක් පටන් වර්ෂ පන්සියයක් වසන්නට වේ දැයි විමසයි. තණහාසා - පිපාසය ඛජ්ජමානා - කනු කැමැත්තී බොනු කැමැත්තී යන අර්ථයි.
වන්දාමි තං අය්යපසන්න චිත්තා - ආර්යයන් වහන්ස සැදැහැ සිතින් මම ඔබ වඳින්නෙමි. මට දැන් කළහැකි එකම පුණ්යකර්මය එය පමණක් බව දක්වයි. අනුකම්පමං - අනුග්රහය දැක්වීම. මා උදෙසා දයාවෙන් කරුණාව දක්වනු මැනව. දත්වාචමෙ ආදිස්සයංහි කිඤ්චි - දීමට සුදුසු වූ කිසියම් දෙය්ය ධර්මයක් මහණ බමුණන්ට දී, ඒ දක්ෂිණාවේ, පින් මා සඳහා උදෙසන්න. ඒ පිණින් මේ ප්රේත ආත්මභාවයෙන් මිදී නිදහස් වන්නේය යන බලාපොරොත්තුව කියයි. එහෙයින් කීය. මොචෙහි මං දුග්ගතියා භවන්තෙ -