10. උත්තරමාතෘ ප්රෙතවස්තු වර්ණනාව
“දිවා විහාර ගතං භික්ඛුං” - යන මෙම උත්තරමාතු ප්රේතවත්ථු කථාවෙහි අර්ථ වර්ණනාව වන්නේය. ශාස්තෲන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි පළමු මහා සංගායනාව පවත්වා ආයුෂ්මත් මහා කාශ්යප ස්ථවිරයන් වහන්සේ භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් සමග කොසැඹෑ නුවරුව එක්තරා අරණ්යායතනයක විසීය. එසමයෙහි උදේන රජුගේ එක්තරා ඇමතියෙක් මළේය. ඔහු විසින් පෙර නුවර කර්මාන්ත විධාන කරන ලද්දේය. එකල්හි රජතුමා ඔහුගේ පුත් උත්තර නම් තරුණයා කැඳවා ඔබ ද පියා විසින් පිහිටුවන ලද කර්මාන්තයන් විධාන කරවන්නැයි කියා පියා සිටි ඇමති තනතුරේම පිහිටුවීය.
හෙතෙම මැනැවැයි පිළිගෙන එක් දවසක් නුවර ප්රතිසංස්කරණ කටයුතු සදහා ලී ගෙන ඒම පිණිස තවත් වඩුවන් පිරිසක් සමග වනයට ගියහ. එහි ආයුෂ්මත් මහා කාශ්යප තෙරුන් වසන තැනට පැමිණ, තෙරුන් පාංශුකූල සිවුරු දරා විවේකව හිඳිනු දැක ඒ ඉරියව්හි පැහැද කරන ලද පිළිසඳර කථාවෙන් පසුව වැඳ එකත්පස්ව සිටියේය. එවිට තෙරුන් වහන්සේ ධර්ම දේශනා කළහ. ඔහු ධර්ම ශ්රවණය කොට රත්නත්රයෙහි හටගත් ප්රසාද ඇත්තේ සරණ සිල්හි පිහිටා ස්වාමීනි අනුකම්පා කොට හෙට දවස භික්ෂූන් වහන්සේලා සමග මගේ දානය පිළිගනු මැනවැයි තෙරුන්ට ආරාධනා කළේය. ස්ථවිරයෝ ද නිශ්ශබ්දතාවයෙන් ඉවසා වදාළහ. හෙතෙම එතැනින් නික්ම නගරයට ගොස් මා විසින් හෙට දවස දානය සදහා භික්ෂූන්ට ආරාධනා කරන ලදී. තොපත් මාගේ දන් දෙන තැනට ආ යුතුයයි අනෙක් උපාසකවරුන්ට කීයේය.
හෙතෙම දෙවන දවස්හි උදෑසනම ප්රණීත වූ ආහාර පාන පිළියෙළ කොට කල් දන්වා, භික්ෂූන් සමග වැඩිය තෙරුන් වහන්සේට පෙර ගමන් කොට, වැඳ උන්වහන්සේ පෙරටු කොට ගෙට වැඩමවීය. ඉක්බිති මහා වටිනා කැප පලස් අතුළ ආසනයෙහි ස්ථවිරයන් හා භික්ෂූන් ද වැඩහුන් කල්හි ගඳදුම්, මල්, පහන් ආදියෙන් පුජා කොට ප්රණීත වූ ආහාර පානාදියෙන් වළඳවා පැහැදුණු සිතැත්තේ ඇඳිලිබැඳ අනුමෝදනාව අසා කරන ලද භුක්තානුමෝදනාවෙන් පසුව තෙරුන් ගිය කල්හි පාත්රය රැගෙන අනුව යන්නේ නගරයෙන් නික්මී, නැවතී කියන්නේ ස්වාමීනි නුඹ වහන්සේලා නිතර මගේ ගෙදරට වැඩිය යුතුයයි ආයාචනා කොට තෙරුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා සෝවාන් ඵලයට පැමිණියේය. හෙතෙම විහාරයක් ද කරවීය. තමන්ගේ සියළු ඤාතීන් සසුන් කෙරෙහි පහන් සිත් ඇත්තවුන් කළහ.
එහෙත් ඔහුගේ මව වනාහි මසුරු මලයෙන් පීඩිත වූ සිත් ඇත්තීව මෙසේ පරිභව කළාය. යම්හෙයකින් නුඹ මා අකමැති කල්හිම මහණුන්ට කෑම් බීම් දෙයි. ඒ ආහාර පාන නුඹට පරලොවදී ලේ වී ඉපදේවා. විහාර පුජා දවසෙහි එක් මොනර පිල් මිටියක් දීමට අවසර දුන්නේය. ඕ තොමෝ කළුරිය කොට ප්රේත යෝනියෙහි උපන්නේය. මොනර පිල් මිටියක් දන් දුන් පින අනුමෝදන් වීමෙන්, ඒ ප්රේතියගේ කේශයෝ නිල් වූයේ සිනිදු වූයේ වෙළුණු අග ඇතිව සියුම්ව දිගට වැඩුණි. ඕ තොමෝ යම් විටක ගංගා නම් ගඟට පැන් බීම පිණිස බැස්සේ ද? එකල්හි නදිය ලෙයින් පිරේ. ඕ පණස් පස් වසක් සා පිපාසාවෙන් හැසිර එක් දවසක් කඞ්ඛාරේවත ස්ථවිරයන් ගංගා තීරයෙහි දිවා විහරණයෙහි වැඩ හිඳිනු දැක තමන්ගේ කෙස්වලින් ශරීරය වසාගෙන තෙරුන් වෙත එළඹ බීමට පැන් ඉල්ලුවාය.
දුර්වර්ණ වූ බියකරු දැකුම් ඇති, ඒ ප්රේතිය, ගං තෙරෙහි දිවා විහරණයට පැමිණි ඒ භික්ෂුව වෙත එළඹියාය.
ඉතා දික් වූ හිසකෙස් බිම දක්වා එල්බෙත්. ඒ කේශයන්ගෙන් විළි වසාගත් ප්රේතිය භික්ෂුවට මෙසේ කීවාය.
මේ ගාථා දෙක සංගිති කාරකයන් විසින් මෙහි යොදන ලද්දේය.
එහි භීරුදස්සනා භයානක දැකුම් ඇති, කිපුණු පෙනීම් ඇති, රුද්දදස්සනා යනුවෙන් ද පාඨයකි. පිළිකුල් සහගත දකුම් ඇති. යාවභුමාච ලම්බරෙ - පොළව දක්වා දිගට එල්බ පුබ්බෙ භික්ඛුන්ති - ච පච්ඡා සමණා කඞ්ඛාරේවත ස්ථවිරයන් සදහා කියන ලදී.
ඒ ප්රේතී තොමෝ තෙරුන් වෙත පැමිණ පැන් ඉල්වත්.
ස්වාමීනි! මම යම් දවසක කළුරිය කළෙමි ද? එතැන්පටන් වසර පනස් පහක් මුළුල්ලෙහි, කෑමක් හෝ බීමක් හෝ නො දනිමි. නො ලදිමි. පිපාසයෙන් මිරිකෙමි පැන් ටිකක් සොයා ඇවිදින මට ස්වාමීනි පැන් ටිකක් දුනමැනවි.
[missing trans] තසිතා යනු පිපාසිත බවයි. පානියායා - යනු වතුර ටිකක් බීම පිණිස ඇවිදින්නා වූ මට පැන් ටිකක් දෙන්න හාමුදුරුවනේ!
මෙයින් පසු -
සිහිල් දිය ඇති මේ ගංගාව හිමාලයේ සිට ගලා එයි. මේ ගඞ්ගා නම් ගඟෙන් වතුර ගෙන බොව! මගෙන් කුමකට ඉල්ලන්නේ ද?
ස්වාමීනි! ඉදින් මම ගංගා නම් ගඟෙන් මමම පැන් ගන්නේ නම්, එවිට මේ ගඟේ වතුර ලේ බවට පෙරලේ. එහෙයින් මම පැන් ඉල්ලා සිටිමි.
ඔබ කය වචනය සිත යන තුන් දොරින් කිනම් අකුසල කර්මයක් කරන ලද්දේ ද? කවර කර්ම විපාකයකින් ගඞ්ගා නදියේ ජලය තිට ලේ වන්නේ ද?
මාගේ පුතා උත්තර නම් විය. ඔහු මහත් ශ්රද්ධා ඇති උපාසකයෙක් වූයේය. ඔහු භික්ෂූන්ට දන් දෙද්දී මගේ අකමැත්ත විරුද්ධත්වය පළ කෙළෙමි.
ඔහු භික්ෂූන්ට සිවුරු ද පිණ්ඩපාතය ද, ගිලන්පස ද, සෙනසුන් ද දුන්නේය. මසුරු මළයෙන් පිඩිත වී ඒ පින්කම් කෙරෙහි පරිභව කළෙමි අපහාස කළෙමි.
මා අකමැත්තෙන් නුඹ ශ්රමණයන්ට ආහාර, සිවුරු, ගිලන්පස, සේනාසන දෙන්නේ ද?
උත්තර (නම් පුත්රය) මේ සියලු පූජාවන්ම සංසාරයේ දී ඔබට ලේ වේවායි (මම පරිභව කළෙමි) ඒ අකුසල කර්මයෙන් මට ගඞ්ගා නදියේ ජලය ද ලේ වන්නේය.
මේ තෙරුන්ගේ හා ප්රේතියගේ වචන හා ප්රතිවචන වෙයි.
එහි හිමවන්තතො - විශාල වශයෙන් හිම ඇති බැවින් හිමවන්ත වේ. හිමවත් යයි නම් ලද පර්වත රාජයායි. සන්දති - ගලාබසී, පවතී එත්තො යනු මේ මහා ගංගාවෙන්, කිං යනු කුමක් හෙයින් මගෙන් පැන් ඉල්ලන්නෙ ද මේ ගඞ්ගා නදියට බැස කැමති පරිද්දෙන් බීමට හැකිනේදැයි දක්වයි.
ලොහිතං මෙ පරිවත්තතී යනු ගලායන ජලය මගේ පාප කර්ම වසයෙන් ලේ බවට පරිවර්තනය වෙයි. එයින් අතට ගන්නා වූ ජලයත් ලේ ම වන්නේය.