11. සූත්ත ප්‍රේතවස්තු වර්ණනාව
“අහං පුරෙ පබ්බජිතස්ස භික්ඛුනො” යනු මේ සුත්ත ප්‍රේත වස්තුවයි. එය කා වෙනුවෙන් උපන්නේ ද? සැවැත් නුවර සමීප වූ එක්තරා ගමක, අපගේ ශාස්තෲන් වහන්සේ ලොව පහළ නොවූ කල්හිම අවුරුදු හත් සියයකට පෙර එක්තරා දරුවෙක් එක් පසේ බුදු නමකට උපස්ථාන කළේය. ඔහුගේ මව ඔහු තරුණ වයසට පැමිණි කල්හි, සමාන කුලයකින් ඔහුට එක්තරා කුල දියණියක් විවාහ කොට ගෙන ආවාය. විවාහ දවසෙහිම ඒ තරුණයා යහළුවන් සමග දිය නෑම සඳහා ගියේ සර්පයකු විසින් දෂ්ට කරන ලදුව මිය ගියේය. යකෙකු විසින් ගන්නා ලදයි සමහරු කියති. හෙතෙම පසේ බුදුවරයාට උපස්ථාන කරමින් බොහෝ කුශල කර්මයන් රැස් කළ සිටියත් (විවාහක) ඒ දැරිය කෙරෙහි පිළිබඳ සිත් ඇති බැවින් විමාන ප්‍රේතයෙක් වී උපනි. හේ මහාර්ධි සම්පන්නය. මහේසාක්යය මහානුභාව සම්පන්නය.
එකල්හි ඒ විමාන ප්‍රේත තෙමේ ඒ තරුණිය තමාගේ විමනට ගෙන එනු කැමැත්තේ කවර උපායකින් මෑ ඉහාත්මයෙහිම විපාක දෙන්නා වූ කුශල කර්මයක් කොට මා හා සමාන මේ විමන්හි සිත් අලවන්නේදැයි කියා ඇයට දිව්‍ය සම්පත් විඳීමට හේතු විමසමින්, පසේ බුදුන් සිවුරක් මසනු දැක මිනිස් වෙසින් එහි ගොස් වැඳ ස්වාමීනි නූල් වලින් ප්‍රයෝජන ඇත්තේදැයි ඇසීය. උපාසකය මම සිවුරක් මහමියි පසේ බුදුන් වදාළහ. එසේ නම් ස්වාමීනි අසවල් තැනට නූල් සඳහා පිඬු සිඟා වඩිනු මැනවැයි ඒ කුමරියගේ ගෙය පෙන්වීය. පසේ බුදුන් වහන්සේ එහි වැඩමවා ගෙදොර වැඩසිටි සේක. එකල්හි එහි වැඩ සිටිය පසේ බුදුන් දැක ඒ තරුණිය මාගේ ආර්යයන් වහන්සේට නූල්වලින් වැඩ ඇතැයි සිතා දැන පහන් සිතින් එක් නූල් ගුලියක් පූජා කළාය. එවිට ඒ විමාන ප්‍රේතයා, මිනිස් වෙසින් ඒ ගෙට ගොස් ඇගේ මවට යාඥා කොට ඈ සමග කීප දවසක් වාසය කොට, ඇගේ මවට අනුග්‍රහ පිණිස ඒ ගෙයි සියලු භාජනයන් රන් රුවන්වලින් පුරවා “මේ දෙවියන් විසින් දුන් ධනය කිසිවකු විසින් නොගතයුතු යයි කියා සියලු භාජනවල මතුපිට ලියා, ඒ තරුණිය රැගෙන තම විමානයට ගියහ. ඇගේ මව බොහෝ ධන සම්පත් ලබා තම නෑදැයින්ට ද දුගී මගී යාචකාදීන්ට ද දී තමන් ද අනුභව කොට කළුරිය කරන්නී, ඉදින් මගේ දියණිය ආයේ නම්, ආ දිනක මේ ධනය ඇයට පෙන්වන්නැයි කියා කළුරිය කළාය.
ඉක්බිතිව අවුරුදු සත් සියයක් ඇවෑමෙන්, අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළව පවත්වන ලද උතුම් දත් ඇතිව, අනුපිළිවෙලින් සැවැත් නුවර වාසය කරන කල්හි, ඒ විමාන ප්‍රේතයා සමග විසූ ඒ ස්ත්‍රියට කළකිරීමක් ඇති විය. ඕ ඔහුට කීවාය. ආර්ය පුත්‍රය මා මගේ (උපන්) නිවසට නැවත පමුණුවනු මැනවි.
මම පෙර මා වෙත පිඬු සිඟා පැමිණි ප්‍රව්‍රජිත නම් වූ, භික්ෂු වූ පසේ බුදුන්ට නූල් ගුටියක් පිදීම්. ඒ දානයාගේ මහත්ඵල විපාකය දැන් ලබමි. බොහෝ වූ කෝටි ගණන් වස්ත්‍රයෝ මට උපදිති.
මලින් ගැවසුනා වූ සිත් අලවන නොයෙක් චිත්‍රකර්ම ඇති නොයෙක් විසිතුරින් බබලන ස්ත්‍රී පුරුෂයන් විසින් සෙවුනා ලද, මේ විමන මම පරිභෝග කරමි. පොරවා ගනිමි (කැමති සළුවක්) බොහෝ වස්තු උපකරණ ඇත. ඒවා ක්ෂය නොවේ.
ඒ කුසල කර්මයේ හේතුවෙන් සැප විපාක වූ සැපය මේ විමානයෙහි දී ලැබේ. ඒ මම නැවත ද මිනිස් ලොවට ගොස් කුසල් දහම් කරන්නෙමි ආර්ය පුත්‍රය මා මගේ නිවසට පමුණුවනු මැනවි.
මේ අදහස් පහළ කළහ.
එහි පබ්බජිතස්ස භික්ඛුනො - යනු මෙය පසේ බුදුන් සඳහා කියන ලදී. හෙතෙම තමාගේ කාමාදී වූ ක්ලේශ පරම්පරාව ඉතිරි නොකොට විනාශ කළ බැවින්, ප්‍රව්‍රජිතයෙක් වූ බැවින් පරමාර්ථ වශයෙන් ප්‍රව්‍රජිත යයි කියයි. බිඳුනු කෙළෙස් ඇති බැවින් භික්ඛු යයි කීමට සුදුසුයි. සුත්තං - යනු කපු පුළුනෙන් තැනූ නූල්, උපගම්මා යනු මගේ ගෙට පැමිණ, යාචිතා - යනු ආර්යයෝ උදෙසා සිටිත් මේ ආර්යයන්ගේ ඉල්ලීමයි. මෙසේ කියා ඇත. කාය විඤ්ඤත්ති ප්‍රයෝග වශයෙන් - කයින් කරන හැඟවිම් වශයෙන් භික්ෂාවෙහි යෙදීම ඉල්ලීම, තස්සා - යනු ඇගේ නූල් දානයේ, විපාකො විපුල ඵලුප ලබ්හති - යනු මහත්ඵල මහා විපාක ලබයි. භුක්ති විඳියි. බහු යනු නොයෙක් වත්ථ කොටියො - නොයෙක් දහදහස් ගණන් විවිධ වූ වර්ණවත් වූ වස්ත්‍ර යන අර්ථයි.
අනෙක චිත්තං - යනු නොයෙක් චිත්‍ර කර්ම නොයෙක් මුතු මැණික් රුවන් ආදියෙන් විසිතුරු රූප, නරනාරි සෙවිතං යනු ස්ත්‍රීන් හා පුරුෂයන් වූ පිරිවර ඇසුරු කරමින් සාහං භුඤ්ජාමි යනු ඒ මම විමානය පරිභෝග කරමි. පාරුපාමි යනු කැමති කැමති පරිද්දෙන් නොයෙක් කෙළගණන් වස්ත්‍ර හඳිමි, පොරවමි පහුත චිත්තා - යනු බොහෝ වූ පුළුල් වූ ගෘහෝපකරණ මහා වස්තුව මහත් සම්පත් තාව ඛීයති - යනු ඒ වස්තුව ක්ෂය නොවේ. ගෙවීයාමක් විනාශ වීමත් නොවේ.
තස්සෙව කම්මස්ස විපාකමන්වයා ඒ නූල් දීම නම් වූ පුණ්‍ය කර්මයේ මෙලොවදීම විපාක දීමේ හේතුවෙන් ලද විපාකය වූ කලී සුවයි. මිහිරියි මනෝඥයි සිත්කළුයි ඒ සියලු සුවයන් මේ විමානයේ ලැබෙයි. ගනත්වා පුනරෙව මානුසං - යනු නැවත මිනිස් ලොවට ගොස්, කාහාමි පුඤ්ඤානි යනු මාගේ සුඛ විශේෂයන් වැඩි දියුණු කර ගැනීම සඳහා පින් කරන්නෙමි. මේ සා සම්පත් ලැබීමේ අදහසයි. නයය්ය පුත්ත මං - යනු ආර්ය පුත්‍රය මා මිනිස් ලොවට පමුණුවව ගෙනයව යන අර්ථයි.