12. කර්ණමුණ්ඩ ප්‍රේතවස්තු වර්ණනාව
“සොවණ්ණ සොපාන ඵලිකා” - යන මේ ප්‍රේතවත්ථු කථාව ශාස්තෲන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන සමයෙහි කණ්ණ මුණ්ඩ ප්‍රේතියක (කන් සිදුනු) අරභයා වදාළ සේක. දුරාතීතයේ කාශ්‍යප බුදුන් දවස කිම්බිල නම් නුවර, එක්තරා සෝවාන් වූ උපාසකයෙක්, තවත් උපාසකවරුන් පස් දෙනෙකු සමග සමාන අදහස් ඇතිව භික්ෂූන් වසන තැන්, මල් වතු, ඒ දඬු දැමීම, සක්මන්මළු තැනීම ආදී පුණ්‍ය කර්මයන්හි නියැලී වසන්නේ. සංඝයාට විහාරයක් කරවා ඒ උපාසකයන් ද සමග කලින් කල විහාරයට යයි. ඔවුන්ගේ භාර්යාවෝ ද උවැසියන් වී ඔවුනොවුන් සමග තෙල් මල් පහන් සුවඳ ආදිය ගෙන කලින්කලට විහාරයට ගන්නා හු අතරමග ආරාම විශ්‍රාම ශාලාවන්හි නැවතී විහාරයට යති.
ඉක්බිති එක්දවසක් ධූර්තයෝ කිහිප දෙනෙක් ඈගේ රූප සම්පත්තිය දැක පිළිබඳ සිත් ඇතිව, ඔවුන්ගේ ශීලාචාර ගුණසම්පන්න බව ද දැන, මේ එකියක් සමග හාද වී එකියකගේ සීල භේදය කරන්නට සමර්ථ කෙනෙක් ඇත්තේදැයි කථාවක් ඉපිද වූහ. එහිදී ඔවුනතුරෙන් එක් අයෙක් මම සමර්ථයෙමියි කීය. පුදුමයකි ඔබට එසේ කළ හැකි නම් අපි මසුරන් දහසක් දෙන්නෙමු යයි අනෙක් අය කීහ. පුදුම නොවෙනු මම එය කරමියි දහසක් ඔට්ටු තැබීය. නොකළහොත් තොප අපට දහසක් දිය යුතුයයි (ඔට්ටුව විය) හෙතෙම ලෝභයෙහි බැඳුණු බයෙන් ද නොයෙක් උපායෙන් ගායනා කරන්නේ ඒ උපාසිකාවන් ශාලාවට ආ කල්හි, මිහිරි හඬින් වීණා වාදනය කරමින්, මිහිරි ස්වරයෙන් පඤ්චකාම ගීත ගයමින්, ඒ ස්ත්‍රීන් අතුරෙන් එක් ස්ත්‍රියක් ගී හඬින් පොළඹවා, ඇය ශීලභේදයට පමුණුවා, ඈ සමග අසද්ධර්මයෙහි යෙදී, ඒ ධූර්තයන් දහසකින් පරාජය කරන ලදී. (මසුරන් දහස දිනා ගන්නා ලදී) ඔහු විසින් දහසකින් පරදන ලද අනෙක් ධූර්තයෝ මේ කාරණය ඒ ස්ත්‍රියගේ ස්වාමී පුරුෂයාට කීහ. ඔහු එය නො අදහන්නේ ඇගෙන් විමසීය. කිමෙක් ද මෙබඳු දෙයක් අසවල් පුරුෂයෝ කියති. එබඳු දෙයක් සිදුවූ දැයි ඒ පුරුෂයා ස්ත්‍රියගෙන් විචාළේය. ඇය මම එවැනි දෙයක් නො දනිමි, නො කෙළෙමියි ප්‍රතික්ෂේප කොට, ඔහු එය නො අදහන්නේ, ළග සිටි බල්ලෙකු පෙන්වා දිව්රීමක් කළාය. ඉදින් යම් විධියකින් මා එවැනි පාපකර්මයක් කළේ නම් මේ කන් කොට කළු බල්ලා ඒ ඒ භවයන්හි ඉපදුණු මා කා දමාවායි කියා බොරු දිවිරීමක් කළාය. අනෙක් පන්සියයක් ස්ත්‍රීහු ද ඒ ස්ත්‍රීයගේ අනාචාර හැසිරීම දන්නෝම, (ඇගේ ස්වාමි පුරුෂයා අනාචාරී ස්ත්‍රිය පිළිබදව ඔවුන්ගෙන්) කිම මෝ තොමෝ එවැනි පාප ක්‍රියාවක් කළෝ ද නො කොළෝදැයි ඇසූ කල්හි, අපි එවැන්නක් නො දනිමුයි බොරු කියා, ඉදින් අපි එසේ දන්නෙමු නම් සසර භවයක් භවයක් පාසා ඇගේම මෙහෙකාරියෝ වෙත්වායි දිවිරීමක් කළහ.
ඉක්බිති ඒ වරදෙහි බැඳුණු ගැහැණිය ඒ නිසාම විපිළිසරව, දවුණු හදින් යුතුව වියලී වැඩි කල් නොගොස්ම කළුරියකොට, හිමවත් පර්වතරාජයා සමීපයෙහි වූ සත්වැදෑරුම් මහවිල් අතුරෙන් එක්තරා කර්ණ මුණ්ඩ නම් විල්තෙර විමාන ප්‍රේතියක්ව උපන්නීය. ඇගේ විමන අසල කර්ම විපාක අනුසාවියට සුදුසු වූ එක් විලක් ද පහළ විය. සෙසු පන්සියයක් ස්ත්‍රීහු කළුරිය කොට දිවිරීම් වශයෙන් ඇගේම දාසියන් වී උපන්නාහුය. ඈ පෙර කරන ලද කුශල කර්මයන්ගේ විපාකයෙන් දවල් කාලයෙහි දිව්‍ය සම්පත් අනුභව කොට රාත්‍රි කාලයෙහි පාප කර්ම බලයෙන් චෝදනා කරන ලදුව යහනින් නැගිට පොකුණු තෙරට යයි. එතැනට ගිය ඒ ස්ත්‍රිය භයානක රූප ඇති සිඳුණු කන් ඇති තියුණු වූ දැඩි වු දත් ඇති දිලිසෙන කිහිරි අඟුරු මෙන් ඇස් ඇති නිතර පවත්නා වූ විදුලියක් හා සමාන දිව ඇති, තියුණු නියපොතු ඇති, රළු දික් දුර්වර්ණ ලෝම ඇති, ඇත් පැටවකු පමණ වූ කළු බල්ලෙක් ඒ පොකුණෙන් නික්ම අවුත් ඉතා බඩසයින් පෙළුණකු මෙන් බලහත්කාරයෙන් බිම හෙලා මස් කා ඇට සැකිල්ල පමණක් ඉතිරි කොට දත්වලින් ඇදගෙන ඇවිත් පොකුණෙහි දමා අතුරුදන් වෙයි. ඕ තොමෝ ද ඒ පොකුණෙහි බහාලු කෙනෙහි යළි ප්‍රකෘති රූපයෙන් විමනට පැමිණ යහනෙහි නිදන්නීය. අනෙක් ස්ත්‍රීහු ඇයට දාසියන් වී විවිධ දුක් විදිති. මෙසේ වසන්නා වූ ඔවුන්ට අවුරුදු පන්සිය පනහක් ගෙවිණි.