13. උබ්බරී ප්‍රේතවස්තු වර්ණනාව
“අහුරාජා බ්‍රහ්මදත්තො”- මේ උබ්බරී ප්‍රේත වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වාසය කරන කල්හි එක්තරා උපාසිකාවක් අරභයා දේශනා කළ සේක. සැවැත් නුවර එක්තරා උපාසිකාවකගේ ස්වාමිපුත්‍රයා කළුරිය කළේය. ඕ තොමෝ ස්වාමියාගේ වියෝගයෙන් දුකින් ආතුර වැ ශෝක කරන්නී ආදාහන කළ තැනට ගොස් හඬයි. භාග්‍යවතුන් වහන්සේ ඇයට සෝවාන් වීමේ හේතු සම්පත් ඇති බව දැක කරුණවෙන් තෙත් වූ මනසින් යුතුව ඇගේ ගෙට ගොස් පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. උපාසිකාව ශාස්තෲන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත්පසෙක සිටියාය. ඉක්බිතිවැ ශාස්තෲන් වහන්සේ ඇයිද උපාසිකාවෙනි ශෝක කරන්නේ ද ඇසීය. එසේය ස්වාමීනි! ප්‍රිය වියෝගය නිසා ශෝක වන්නෙමියි කී කල්හි ඇගේ ශෝකය පහකරනු කැමැත්තේ අතීත කථාව ගෙනහැර දැක්වීය.
යටගිය දවස පඤ්චාල රට කපිල නුවර චූලනී බ්‍රහ්මදත්ත නම් රජෙක් රාජ්‍යය කළහ. හෙතෙම අගතිගාමී නොවී තමාගේ විජිතයෙහි ප්‍රජාවට හිතකර වූ දශරාජ ධර්මය කඩ නොකොට රාජ්‍ය විචාරණ කල්හි, කිසියම් දවසක තමන්ගේ රාජ්‍යයේ රටවැසියන් කුමක් කියන්නේදැයි අසනු කැමතිව, සන්නාලියකුගේ වෙස් ගෙන දෙවැන්නෙක් නැතිව තනිවම නගරයෙන් නික්ම ගමින් ගමට ජනපදයෙන් ජනපදයට හැසිරෙමින් සමස්ත රාජ්‍යයම රාජද්‍රෝහීන් රහිත, පීඩා නැතිව, මිනිසුන් සතුටු වෙමින්, නොවැසූ දොරවල් ඇතිව වාසය කරනු දැක, සොම්නසින් යුතුව නැවත නගරයට අභිමුඛව එන්නේ එක්තරා ගමක එක් දුගී වැන්දඹු ස්ත්‍රියකගේ ගෙට ගියේය. ඕ තොමෝ ඔහු දැක ආර්යයෙනි! ඔබ කවරෙක් ද? කොහි සිට එන්නේ ද? ඇසීය. මම සන්නාලියෙක්මි. කුලී පිණිස සන්නාලිකම් කරමින් ඇවිදින්නෙමි. ඔබලාගේ ගෙදර සන්නාලි කර්මයක් ඇත්නම් බත් හා වැටුප් දෙව්, නුඹලාටත් සන්නාලි කර්මය කරමියි කීය. අපට එවැනි කර්මාන්තයක් හෝ බත් වැටුප් නැත. ආර්යයෙනි වෙනත් අයගේ කාර්යයක් කරනු මැනැවි හෙතෙම කිහිප දිනක් එහි වසමින් ධාන්‍ය පුණ්‍ය ලක්ෂණ ඇති ඇගේ දුව දැක, මෑණියනි! මේ දැරිය කිසිවකු විසින් විවාහ ගිවිසගන්නා ලද්දියක් ද නැතිනම් විවාහ ගිවිස නො ගන්නා ලද්දියක් ද, ඉදින් කිසිවකු විසින් විවාහ ගිවිස නො ගන්නා ලද්දියක් නම් මේ කුමරිය මට දෙව, මම නුඹලා සුවසේ ජීවත් කරවීමට පුළුවන් කෙනෙක් වෙමි කීයේය. ඕතොමෝ ආර්යයෙනි! යහපතැයි කියා ඔහුට කුමරිය දුන්නාය.
හෙතෙමේ ඈය සමග කිහිප දිනක් වැස ඇයට කහවණු දහසක් දී “මම කීප දවසකින්ම එන්නෙමි, සොඳුර තී කල නොකිරවයි කියා තමන්ගේ නුවරට ගොස් නුවර හා ඒ ගම අතරමග පාර සමතලා කරවා සරසවා මහත් රාජ්‍යානුභාවයෙන් ඒ ගෙදරට ගොස් ඒ කුමරිය කහවණු රැසක් මත සිටුවා රන් රිදී කළස්වලින් පැන් නහවා උබ්බරී යයි නම් කරවා අග මෙහෙසිය තනතුරෙහි තබා ඒ ගම ඇගේ නෑයන්ට දී මහත් රාජානුභාවයෙන් ඒ නුවරට ගෙනැවිත් ඈ සමග අභිරමණය කරමින් ජීවිතාන්තය දක්වා කල්යවා, රජ සුව විඳ ආයු කෙළවර කළුරිය කළේය. ඔහු කළුරිය කළ කල්හි ද, මළ සිරුර ආදාහන කළ කල්හි ද, උබ්බරී දේවිය ස්වාමියාගේ වියෝ දුකින් දැඩි ශෝකය නමැති හුල් ඇනුණු හදින් යුතුව ආදාහන ස්ථානයට ගොස් බොහෝ දවස්වල සුවඳ දුම් ආදිය පුදා රජුගේ ගුණ වර්ණනා කරමින් උමතු වූවාක් මෙන් හඬමින් විලාප කියමින් ආදාහන ස්ථානය පැදකුණු කරයි.
එ සමයේ අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝසත්වැ ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි වී ධ්‍යාන ප්‍රව්‍රජ්‍යා අභිඥා උපදවා හිමවත සමීපයෙහි එක්තරා වන පෙදෙසක වසන්නේ, සෝක තැවුලින් තැවෙන්නා වූ උබ්බරිය දිවැසින් දැක අහසින් අවුත් දෘශ්‍යමානරූපීව අහසෙහි ඒ ඒ තන්හි සිට මේ ආදාහන භූමිය කවරෙකුගේ ද? මේ ස්ත්‍රීය බ්‍රහ්මදත්ත යයි කියමින් කවරෙකු සඳහා විලාප කියමින් හඬන්නේදැයි මිනිසුන්ගෙන් ඇසීය. එය අසා මිනිස්සු ස්වාමීනි! මේ තැනැත්තිය බඹදත් රජුගේ උබ්බරී නම් දේවිය වෙයි. ඕ තොමෝ රජු කළුරිය කළ තැන් පටන් මළ සිරුර දැවු තැනට අවුත් බ්‍රහ්මදත්ත, බ්‍රහ්මදත්ත යයි ඔහුගේ නම කියමින් හඬමින් විලාප කියයි කීවාහුය, ඒ කරුණ පවසන සංගිති කාරකයෝ මෙම ගාථා සය තැබූහ.