8. චුල්ලසෙට්ඨි ප්‍රේතවස්තු වර්ණනාව
“නග්ගො කිසො පබ්බජිතො සි භන්තෙ” - මේ (කථාවස්තුව) ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයේ වැඩ වසන්නේ චුල්ලසෙට්ඨි ප්‍රේතයා අරබයා දේශනා කළහ.
බරණැස් නුවර එක් ගෘහපතියෙක් සැදැහැ නැත්තේ, (තෙරුවන් කෙරෙහි) ප්‍රසන්න නුවූයේ මසුරු වූයේ තද ලෝභී වූයේ පුණ්‍ය ක්‍රියාවන්ට කැමැත්තක් නො දැක්වූයේ විය. ඔහු නමින් චුල්ල සෙට්ඨි නම් විය. හෙතෙම කළුරිය කොට ප්‍රේත ලෝකයෙහි උපන්නේය. ඔහුගේ ශරීරය පහව ගියා වූ මස් ලේ ඇත්තේ ඇට සම නහර පමණක් විය. හිස මුඩු විය. වස්ත්‍ර රහිත විය. ඔහුගේ දුව අනුලා අන්ධකවින්ද රට ස්වාමියාගේ ගෙයි වසමින් තම පියා උදෙසා බ්‍රාහ්මණයන් බුදිනු කැමති වූ හාල් ආදී දානෝපකරණ සම්පදනය කළේය. ප්‍රේත තෙමේ එය දැන ආහාර තෘෂ්ණාවෙන් අහසින් එහි ගොස් රජගහ නුවරට සැපත් විය. ඒ සමයෙහි අජාසත් තෙමේ දෙව්දතුන් විසින් මෙහෙයවන ලදුව පියා මරවා ඒ විපිලිසරින් හා නරක සිහින දැකිමෙන් නින්දට නො පැමිණියේ මතු පහයට නැගී සක්මන් කරද්දී අහසින් යන මේ ප්‍රේතයා දැක, මෙසේ විචාළේය.
ස්වාමීනි! වස්ත්‍ර රහිත වූ කෘශ වූ පැවිද්දෙක් වූයෙහි ද? කවර හේතුවකින් රාත්‍රියෙහි කොහේ යන්නේ ද? ඒ කරුණ මට කියව! හැකිකමක් ඇත්තේ නම් නුඹට සියලු භෝගයෙන් හා උත්සාහයෙන් වස්තුව ලබාදෙන්නෙමි.
මෙහි පබ්බජිතො - ශ්‍රමණයා - රජු වනාහි ඔහුගේ නග්න බව නිසා ද, හිස මුඩු නිසා ද මොහු ශ්‍රමණයෙක් යන හැඟීමෙන් නග්ගො කිසො පබ්බජිතොසි ආදිය කීහ. කිස්ස හෙතු - කවර නිමිත්තක් ද? සබ්බෙන චිත්තං පටිපාදයෙ තුවං - ධනයෙන් හෝ උපකරණ වලින් හෝ සියලු භෝගයන්ගෙන් ඔබේ අදහස අනුව සියලු උත්සාහයෙන් අවශ්‍ය දේ සම්පදනය කරන්නෙමි. එසේ කරන්නට ලැබීම ඉතා යෙහෙකි. මට හැකිවන්නේය. එහෙයින් ආචික්ඛමෙතං - ඔබ මෙසේ යන ගමන මට කියව! යන අර්ථය.
මෙසේ රජු විචාරණ ලද්දේ, ප්‍රේතයා තමන්ගේ ප්‍රවෘත්තිය පැවැත්ම කියන්නේ
සියලු තැන ප්‍රකට වූ බරණැස් නම් නුවරක් ඇත. ඒ නගරයෙහි මම මහත් ධන සම්පත් ඇති, නිහීන සිත් ඇති, දන් නො දෙන්නා වූ කාම සැපතෙහි ගිජු සිත් ඇති, ගෘහපතියෙක් වීමි. දුසිල් කර්මය නිසා ප්‍රේත ලෝකයට පැමිණියේ වෙමි.
ඒ මම කරන ලද පාපකර්ම හේතුකොට ගෙන සාගින්නෙන් පීඩිත වූයේ වෙමි. ඒ හෙයින්ම කිසියම් ආහාරයක් ප්‍රර්ථනා කොට නෑයන් සමීපයට යමි. දන් නො දෙන සුළු තැනැත්තෝ පරලොව දී දානයාගේ විපාක ලැබේ යයි නො අදහත්.
මගේ දියණිය තොමෝ මව්පියන් උදෙසා ද මුතුන් මී මුතුන් උදෙසා ද දන් දෙමියි නිතර කියයි. දාන වස්තු සකසා බමුණන් වළදවන්නී වෙයි. මම අන්ධක වින්ද නගරයට කෑමට යමි.
එහි දුරඝුට්ඨං යනු දුර සිටම ගුණ කීම් වසයෙන් කීර්තිය ප්‍රකාශ කෙරෙමින් ඝෝෂා කරන ලද කීර්තිය පැතිර යාද සියලු තන්හි ප්‍රකට වූ යන අර්ථයි. අඩ්ඪකො - ආඪ්‍ය වූ, මහත් වූ භෝග සම්පත් ඇති, දීනො නිහීන සිත් ඇති, නො දෙන අදහස් ඇති, එහෙයින් කීහ. අදාතා ගෙධිත මනො ආමිස්මිං - පඤ්චකාම සම්පත්තියෙහි ගිජු වූ බලවත් සේ ඇලුණු සිත් ඇත්තෙක් වීම්. දුස්සීල්යෙන සම විසයම්හි පත්තො - තමන් විසින් කරන ලද දූස්සීල කර්මයෙන් ප්‍රේත ලෝකයට පැමිණියේ වෙමි.
සො සූචිකාය කිලමතො - ඒ මම ඉදිකටුවලින් විදින්නාක් මෙන් සා පිපාසා දෙකින් විදුන ලදුයේ නිරතුරුවම බඩගින්නෙන් ක්ලාන්ත බවට පැමිණියේ වෙමි. කිලමථො යනු ද මෙසේ ද පාඨයක් වේ. තෙහි මෙසේ දන් නො දීම් ආදී කියන ලද පාපකර්ම හේතුවෙන් ඒ ප්‍රේතයාට එම පාප කර්මයන් සිහි කරති. කර්ම ඉතා තියුණු දොම්නසක්ම උපදී. එහෙයින් මෙසේ කීහ. තෙනෙවා - ඒ හෙයින්ම ඇති වූ සාගිති දුකින්, ඤාතීසු යාමි ඤාතීන් සමීපයට යමි. ආමිසකිඤ්චි හේතු යනු කිසියම් ආමිසයක් නිමිතිකොට, කිසියම් ආහාරයක් අපේක්ෂා කොට යන අර්ථයි. අදානසීලා නව සද්දහන්ති දානඵලං හොති පරම්හි ලොකෙ - මා යම්සේ ද එමෙන්ම අනෙක් මිනිස්සු ද දන් නො දෙන සුළු වන්නේ ද ඔව්හු දානවිපාකය ඒකාන්තයෙන් පරලොවහිදී මට පිහිට වේයයි නො අදහත් ද? මා මෙන්ම ප්‍රේතයෙකු වී මහා දුක් අනුභව කරන්නේය යන අදහසයි.