7. ධනපාල ප්‍රේතවස්තු වර්ණනාව
“නග්ගො දුබ්බණ්ණ රූපො” - යන මේ කථා වස්තුව “ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වසන සමයේ ධනපාල නම් ප්‍රේතයා අරභයා වදාරණ ලදී. බුදුවරයන් වහන්සේ නමක් ලොව පහළ නුවූ කල්හි, දසන්න රට ඒරකච්ඡ නම් නගරයේ ධනපාල නම් සිටුවරයෙක් සිටියේය. හේ ශ්‍රද්ධා නැත්තේය. පැහැදීමක් නැත්තේය. තද මසුරෙකි. කර්මයන්හි විපාක නැතැයි කියන නාස්තික දෘෂ්ටි වාදියෙකි. ඔහුගේ ක්‍රියා පිළිවෙළ දේශනා පාලියෙන්ම ප්‍රකට වේ. හෙතෙම කළුරිය කොට මරු කතරක ප්‍රේතයකු වී උපන්නේය. ඔහුගේ ශරීරය තල් කඳක් පමණ විය. ඉල්පීගිය සම රළුය. අවුල් වූ, විරූප වූ හිස කෙස්ය. බියකරු දැකුම් ඇත්තේය. දුර්වර්ණය, අතිශයින් විරූප වූයේ භයානක දැකීම් ඇත්තේය. ඔහු පනස් පස් වසරක් මුළුල්ලෙහි බත් ඇටයක් හෝ දියබිඳක් නො ලබාම, වියලුණු උගුර තොල් දිව ඇතිව සා පවසින් යුතුව ඔබ මොබ හැසිරෙයි.
අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වී, පවත්වන ලද උතුම් ධර්ම චක්‍ර ඇත්තේ, පිළිවෙළින් සැවැත් නුවරට වැඩමවා වසන්නේ, සැවත් නුවරවාසී වෙළෙන්දෝ පන්සියයක් පමණ ගැල බඩු පුරවාගෙන උත්තරාපථයට ගොස් ඒ භාණ්ඩ අලෙවිකොට, එහෙන් ගත් බඩු ගැල්වල අසුරා ආපසු එනවිට සවස් යාමයේ එක්තරා දිය වියලී ගිය ගඟක් ලඟට පැමිණ ගොනුන් ලිහා රාත්‍රිය නවාතැන් ගත්හ. එහිදී මේ ප්‍රේතයා පිපාසයෙන් පෙළුනේ පැන් සඳහා පැමිණ එහිදී වතුර බින්දුවක් වත් නො ලැබ, පැන් ආශාව සිඳී කපා දැමු තල් ගසක් මෙන් වැටුණේය. ඔහු දුටු වෙළෙන්දෝ.
නිර්වස්ත්‍ර විරූප වූ ඉතාම බියකරු දැකුම් ඇති ඉල්පී ගිය නහර වැල් ඇති උස් වූ ඉල ඇට ඇති ඉතාමත් කෘශ වූ තෝ කවරෙක් ද?
මෙසේ කරුණු විමසු විට ප්‍රේත තෙමේ,
පින්වතුනි මම යමලෝක යයි කියන ලද ප්‍රේතලෝකයේ ප්‍රේතයෙක්මි. පෙර පාපකර්මයන් කොට මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයට ගියේ වෙමි.
නැවත වෙළඳුන් විසින්,
ඔබ විසින් කය වචනය සිත යන තුන් දොරින් කුමන අකුශල කර්මයක් කළේ ද? කවර අකුශල කර්ම විපාකයකින් ප්‍රේත ලෝකයට ගියේ වේ ද? ප්‍රේත ලෝකයේ උපන්නේ ද?
[missing trans]
දසන්න රට ඒරකච්ඡ යයි ප්‍රසිද්ධ වූ නගරයක් විය. ඒ නගරයෙහි පෙර ආත්ම භාවයක දී මම ධනපාල නමින් සිටුවරයෙක් වීමි. මහජනයා ඒ නමින් මා දනිත්.
මට අමු රන් පිරූ කරත්ත අසූවක් විය. මට රත්තරන් ද මුතු ද වෛඩූර්ය ආදී බොහෝ මැණික් ද තිබුණි.
එපමණ මහා ධනයක් තිබුනු මට දන් දීමට කැමැත්තක් නොවීය. යාචක ජනයෝ මා නො දකිත්වායි ගෙයි දොර කවුළු වසාගෙන තනිවම අනුභව කරමි.
ශ්‍රද්ධා නැත්තේ, මසුරෙක් තද මසුරෙක් වශයෙන් පරිභාසයට ලක්වීමි. දන් දෙන්නා වූ පින් කරන්නා වූ බොහෝ ජනයා ඒවායින් වැලැක්වීමි.
දන්දීමේ විපාක නැත. සීලයෙන් කවර ප්‍රතිඵලයක් ලැබේ ද? පැන් පොකුණු හා ළිං ද තනන ලද ආරාම උයන් වතු පැන් හල්, යන එන තන්හි ඒ දඬු වනසාලීම්.
මම නො කළ කුසල් ඇතිව, කරන ලද අකුසල් ඇතිව, ඒ අත්බවින් චුත වූයේ. (වෙමි) ප්‍රේත යෝනියෙහි ඉපදී, සා පිපාසාවෙන් වඩනා ලද්දේ වෙමි.
යම් දිනක මා කළුරිය කළේ ද පනස් පස් අවුරුද්දක් මුළුල්ලෙහි ආහාර අනුභවයක් හෝ පැන් බීමක් හෝ නො දනිමි.
(කිසිවකුට කිසිවක් නොදීම යන) සංයමයක් වීද? එය සැනසීමක් වෙයි. එය නොදීම යන සංයමයයි. යම් පරිත්‍යාගයක් නො කිරීමක් වේ ද එය වැනසීමකැයි ප්‍රේතයෝම දනිත්.
මම පෙර බොහෝ ධනය තිබීයදීත් දන් නුදුන්නෙමි. පින් කිරීමෙන් වැළකුනෙමි. දාන වස්තු ඇති කල්හි තමන්ට පිනක් නො කෙළෙමි. ස්වකීය කර්ම විපාකයට පැමිණියා වූ මම දැන් පසුතැවෙමි.