6. කෘෂ්ණ ප්‍රෙතවස්තු වර්ණනාව
“උට්ඨෙහි කණ්හ කිං සෙසි” - මේ කථා වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වසන්නේ එක්තරා පුතෙකු මළ උපාසකයකු අරභයා වදාළ සේක. සැවැත් නුවර වැසි එක්තරා උපාසකයකුගේ පුතෙක් කාලක්‍රියා කළහ. හෙතෙම එම ශෝකයෙන් මඩනා ලද්දේ ස්නානය නොකරයි. ආහාර නොගනියි. රැකියාවෙහි නොයෙදේ. බුද්ධෝපස්ථානය සඳහා නොයයි. හුදෙක් දරුව! පිය පුත්‍රය මා හැර කොහි ගියේ ද කියමින් වැළපේ. ශාස්තෲන් වහන්සේ උදැසන කාලයේ ලොව දෙස බලන්නේ ඔහුට සෝවාන් ඵල ලැබීමට ඇති හේතු වාසනා දැක, දෙවන දවසේ භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව සැවැත්පුර පිඬු පිණිස හැසිර, කරන ලද බත් කිස ඇත්තේ භික්ෂූන් පිටත් කර යවා ආනන්ද තෙරුන් දෙවැනි කොට ගෙන ඒ උපාසකයාගේ ගෙදරට වැඩම වූහ. බුදුන් පැමිණි බව උපාසකයාට කීය. ඉක්බිති ගෙදර මිනිස්සු ගේ තුළ ආසන පනවා ශාස්තෲන් වහන්සේ වඩා හිදුවා උපාසකයා අල්වාගෙන ශාස්තෲන් වහන්සේ සමීපයට ආහ. එකත් පසෙක හුන් උපාසකයා දෙස බලා උපාසකය! පැරණි නුවණැත්තෝ පණ්ඩිතයන්ගේ කථාව අසා මළ දරුවා ගැන ශෝක නො කළාහු යයි වදාරා ඔහු විසින් අයදින ලදුව අතීත කථාව ගෙන හැර දැක්වීය.
යටගිය දවස ද්වාරතී නගරයේ දස බෑ රජ කෙනෙක් වූහ. වාසුදේව, බලදේව, චන්ද දේව, සුරිය දේව, අග්ගිදේව, වරුනදේව, අජ්ජුන, පජ්ජුන, ඝත පණ්ඩිත - අඞ්කුර යන මොව්හු වූහ. ඔවුන් අතුරෙන් වාසුදේව මහරජුගේ පුතා කළුරිය කළේය. ඒ හේතුවෙන් රජු ශෝකයෙහි ගිලුනේ සියලු කාර්යයන් අත්හැර ඇඳක ඇඳිලි බැඳගෙන විලාප කියමින් හොත්තේය. එකල ඝත පණ්ඩිත තෙමේ මෙසේ සිතීය. මා හැර වෙන කිසිවෙක් මගේ සහෝදරයාගේ ශෝකය අත්හරවන්නට සමර්ථ නොවේ. උපායකින් ශෝකය දුරු කරන්නෙමියි, හෙතෙම උමතු වෙසක් ගෙන සාවෙකු මට දෙව සාවෙකු මට දෙවයි කියමින් අහස බලාගෙන මුළු නුවර හැසුරුණේය. ඝත පණ්ඩිත තෙමේ උමතු වූයේ යයි සියලු නුවර කැළඹින.
එකල රෝහණෙය්‍ය නම් ඇමතියා වාසුදේව රජු සමීපයට ගොස් ඔහු සමග කථාව ආරම්භ කරමින් මේ ගාථාව කීය.
කෘෂ්ණ ගෝත්‍ර ඇති වාසුදේව රජතුමනි! නැගිටිනු මැනවි. ඔබ නිදීමෙන් කවර (වැඩක් ද) අර්ථයක් ද? නුඹගේ හදවත වැනි වූ දකුණැස බඳු වූ ස්වකීය සහෝදර වූ ඝත පණ්ඩිතයන්ගේ වාතය බලවත් වී සාවෙකු ඉල්ලමින් විලාප කියයි. කේශව නම් වාසුදේවය නැගිට බලණු මැනවි මේ ගාථාව කීහ.
එහි කණ්හා - වාසුදේවයන්ගේ ගෝත්‍ර නාමයෙන් අමතයි. කො අත්‍ථො සුපිනෙන - නිදීමෙන් තොපට කවර නම් වෘද්ධියක් වේ ද? සකො භාතා - එක කුස උපන් සහෝදරයා - හදයං චක්‍ඛුඤ්ච දක්‍ඛිණං - හදවතට ද දකුණු ඇසට ද සමාන වේ යන අර්ථයි. කස්ස වාතා බලී යන්ති - ඔහුගේ වරින් වර උපදින්නා වූ උම්මාද වාතය බලවත් වී ඇත්තේ වැඩෙත්, ඔහු මැඩ පවත්වත් සසං ජප්පති - හාවෙකු මට දියව් යයි විලාප නගති. කෙසවො සෝභන කෙසේ ඇති බැවින් කේශව යයි ව්‍යවහාර කෙරේ, ඔහුගේ ඒ නමින් අමතයි.
ඔහුගේ වචනය අසා යහනින් නැගිටින බව දක්වමින්, සම්බුද්ධ වූ ශාස්තෲන් වහන්සේ මේ ගාථාව වදාළහ.
කේශව නම් වූ වාසුදේව රජු ඒ රෝහිණෙය්‍ය ඇමතියාගේ වචනය අසා සහෝදර කැක්කුමෙන් පෙළන ලදුව වෙවුලමින් නැගී සිටියේය.
රජු නැගිට වහා පහයෙන් බැස ඝත පණ්ඩිතයා ළගට ගොස් දෙ අතින් ඔහු දැඩිකොට අල්ලා ගෙන, ඔහු සමග කථා කරන්නේ මේ ගාථා තුන කීහ.
කිමෙක් ද? උමතු වූවෙකු මෙන් මේ මුළු ද්වාරවතී නුවර සාවා සාවා යයි කියමින් යයි ද විලාප දෙයි ද කෙබඳු සාවකු කැමති වන්නේ ද?
රනින් කළා වූ මිනියෙන් කළා වූ, ලෝහයෙන් කළා වූ, රිදියෙන් කළා වූ සක් සිළා පබළුවෙන් කළා වූ සාවෙකු නුඹට කරවන්නෙමි.
වනය ගොදුරු කොට වෙනත් සාවෝ කැලයෙහි වසති. එවුනුන් නුඹට ගෙනෙන්නෙමි. කෙබඳු සාවෙකු කැමති වෙයි ද?
මෙහි උම්මත්ත රූපොවා - පිස්සකු මෙන්, කෙවලං - සියලු, ද්වාරකං - ද්වාරවතී නගරයෙහි හැසිරෙන්නේ, සසො සසො ති ලපසි - සාවා සාවා කියා වැළපෙයි. ලොහමයං - තඹ ආදී ලෝහවලින් නිම වූ, රූපියාමයං - රිදීයෙන් නිමකළ - යමක් කැමැත්තේ නම් කියව! කුමක් සඳහා ශෝක වෙයි ද? වෙනස් වූ කැලෑවෙහි වනය ගොදුරුකොට ඇති සාවෝ සිටිත් ඔවුන් ගෙන එම් ද? යහපත් මුව ඇත්ත. කැමති දෙයක් කියව! (ආදි වශයෙන්) හාවෙකුගෙන් ප්‍රයෝජන ඇතැයි යන අදහසින් සාවෙකු ගෙන ඒමට පැවරුවේය. එය අසා ඝත පණ්ඩිත තෙමේ, මේ අදහස කීය.
කේශව නම් වාසු දේවය! පොළව ඇසුරු කොට ඇති යම් සාවෝ සිටිත් ද ඒ සාවුන් මම නො කැමැත්තෙමි. සඳමඬලෙන් සාවෙකු කැමති වෙමි. ඒ සාවා මට ගෙන දෙව!
එහි - ඔහරා - පහතට ගනුව: ඒ අසා රජු නිසැකයෙන්ම, අනිවාර්යයෙන්ම සහෝදරයා උම්මත්තකු වී යයි දොම්නසට පැමිණියේ,