5. මට්ටකුණ්ඩලී ප්රෙතවස්තු වර්ණනාව
“අලඞ්කතො මට්ටකුණ්ඩලී” මෙම කථා වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මට්ටකුණ්ඩලී දේවපුත්රයා අරභයා වදාළ සේක. එහි කිවයුතු යමක් වේ නම් එය පරමත්ථ දීපනී නම් වූ විමාන වත්ථු වර්ණනාවේ කියන ලද්දේමය. එහෙයින් එහි කියන ලද ආකාරයෙන් දත යුතු
මෙහිද මට්ටකුණ්ඩලී දේව පුත්රයාගේ විමාන දේවතා භාවය ආදිය ද විමාන වස්තු පාළියෙහි සඞ්ග්රහ වීය. යම්හෙයකින් ඒ දේව පුත්රයා අදින්න පුබ්බක බ්රාහ්මණයාගේ පුත්ර ශෝකය උපයෝගී කොටගෙන සොහොනට ගොස්, ආදාහන කල තැනට කැටුව ගොස්, හඬන්නහුගේ ශෝකය පහකිරීම සඳහා තමන්ගේ දේවරූපය ප්රදර්ශනය කරවා, රත් සදුනෙන් ආලේප කළ ගාත්රා ඇතිව දෙ අත් පිටුපසට බැදගෙන හඬන දුකින් මැඩුණු ප්රේතයකු මෙන් තමන් දැක්වීය. මනුෂ්යාත්ම භාවයෙන් පහවී ප්රේත ආත්ම භාවයක් ලැබීයයි ඒ කථාව ප්රේත වස්තු පාලියෙහි ද සංග්රහ කර දක්වන ලද්දේ යයි දත යුතුයි.
මට කොඩොල් ප්රේත වත්ථු වර්ණනාව නිමියේය.
6. කෘෂ්ණ ප්රෙතවස්තු වර්ණනාව
“උට්ඨෙහි කණ්හ කිං සෙසි” - මේ කථා වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වසන්නේ එක්තරා පුතෙකු මළ උපාසකයකු අරභයා වදාළ සේක. සැවැත් නුවර වැසි එක්තරා උපාසකයකුගේ පුතෙක් කාලක්රියා කළහ. හෙතෙම එම ශෝකයෙන් මඩනා ලද්දේ ස්නානය නොකරයි. ආහාර නොගනියි. රැකියාවෙහි නොයෙදේ. බුද්ධෝපස්ථානය සඳහා නොයයි. හුදෙක් දරුව! පිය පුත්රය මා හැර කොහි ගියේ ද කියමින් වැළපේ. ශාස්තෲන් වහන්සේ උදැසන කාලයේ ලොව දෙස බලන්නේ ඔහුට සෝවාන් ඵල ලැබීමට ඇති හේතු වාසනා දැක, දෙවන දවසේ භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව සැවැත්පුර පිඬු පිණිස හැසිර, කරන ලද බත් කිස ඇත්තේ භික්ෂූන් පිටත් කර යවා ආනන්ද තෙරුන් දෙවැනි කොට ගෙන ඒ උපාසකයාගේ ගෙදරට වැඩම වූහ. බුදුන් පැමිණි බව උපාසකයාට කීය. ඉක්බිති ගෙදර මිනිස්සු ගේ තුළ ආසන පනවා ශාස්තෲන් වහන්සේ වඩා හිදුවා උපාසකයා අල්වාගෙන ශාස්තෲන් වහන්සේ සමීපයට ආහ. එකත් පසෙක හුන් උපාසකයා දෙස බලා උපාසකය! පැරණි නුවණැත්තෝ පණ්ඩිතයන්ගේ කථාව අසා මළ දරුවා ගැන ශෝක නො කළාහු යයි වදාරා ඔහු විසින් අයදින ලදුව අතීත කථාව ගෙන හැර දැක්වීය.
යටගිය දවස ද්වාරතී නගරයේ දස බෑ රජ කෙනෙක් වූහ. වාසුදේව, බලදේව, චන්ද දේව, සුරිය දේව, අග්ගිදේව, වරුනදේව, අජ්ජුන, පජ්ජුන, ඝත පණ්ඩිත - අඞ්කුර යන මොව්හු වූහ. ඔවුන් අතුරෙන් වාසුදේව මහරජුගේ පුතා කළුරිය කළේය. ඒ හේතුවෙන් රජු ශෝකයෙහි ගිලුනේ සියලු කාර්යයන් අත්හැර ඇඳක ඇඳිලි බැඳගෙන විලාප කියමින් හොත්තේය. එකල ඝත පණ්ඩිත තෙමේ මෙසේ සිතීය. මා හැර වෙන කිසිවෙක් මගේ සහෝදරයාගේ ශෝකය අත්හරවන්නට සමර්ථ නොවේ. උපායකින් ශෝකය දුරු කරන්නෙමියි, හෙතෙම උමතු වෙසක් ගෙන සාවෙකු මට දෙව සාවෙකු මට දෙවයි කියමින් අහස බලාගෙන මුළු නුවර හැසුරුණේය. ඝත පණ්ඩිත තෙමේ උමතු වූයේ යයි සියලු නුවර කැළඹින.