4. නන්දා ප්‍රේතවස්තු වර්ණනාව
“කාළි දුබ්බණ්ණ රූපා” යන මේ ප්‍රේතවස්තු දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වාසය කරන්නේ, “නන්දා” නම් ප්‍රේතියක් අරබයා දේශනා කළ සේක. සැවැත් නුවරට නුදුරෙහි එක්තරා ගමක නන්දසේන නම් උපාසකයෙක් විසීය. හේ ශ්රද්ධාවත්හ, ප්‍රසන්නයහ, ඔහුගේ භාර්යාව නන්දා නමි. ඈ සැදැහැයෙන් තොරය. අප්‍රසන්න පැවතුම් ඇත්තීය. මැසිරිය, සැඩය, ඵරුස වචන කියයි. ස්වාමියාට අගෞරව කරන්නීය. නැන්දනියට සෙරිය කියා ආක්‍රෝශ කරන්නීය. පරිභව කරන්නීය. ඕ කෙටි කලකින් මිය ගොස් ඒ ගමට නුදුරෙහි හැසිරෙන ප්‍රේතියක් වී ප්‍රේත යෝනියෙහි උපන්නීය. එක් දවසක් නන්දසේන උපාසකයා ගමින් නික්ම යද්දී නුදුරෙහි දී ම ලඟම වූ තැනක සිට තමන් දැක්වූවාය. හෙතෙම ඇය දැක,
කළු වූ දුර්වර්ණ වූ ශරීර ඇති, රළු දේහයක් ඇති, පිඟුවන් ඇස් ඇති, කළු දත් ඇති, තී මනුෂ්‍ය ස්ත්‍රීයක් යයි මම නො සිතමි.
යන ගථාව කීහ. එහි කාලී - කළු පැහැය. දැවුණු අඟුරක් සේ වර්ණ වූයේය, ඵරුසා - ගොරෝසු ශරීර ඇති, භීරු දස්සනා බිය උපදවන දැකුම් ඇති, සර්පයකු සේ බියකරු භීරුදස්සකා - යනු ද පාඨයකි. දුර්වර්ණ වූ දැකුම් ඇත්තී, නපුරු දැකීම් ඇති, දැකීමට නුසුදුසු යන අර්ථයි. පිඞ්ගලා - ගිනිදළු පැහැ ඇස් ඇත්තී, කළාරා - කළු පැහැ ගැන්වූ දත් ඇති, න තම්මඤ්ඤාමි මානුසී - මම ඔබ මිනිසකු යයි නො හඟිමි. ප්‍රේතියක් යයි සිතමි යන අදහසයි. එය අසා ප්‍රේතිය තමන් ගැන පවසන්නේ, මේ ගාථාව කීවාය.
නන්දසේනය, මම පෙර ජාතියෙහි නුඹේ භාර්යාව වූ නන්දා වෙමි. පව්කම් කොට මිනිස් ලොවින් චුතව ප්‍රේත ලෝකයට පැමිණියේ වෙමි.
එහි, අහං නන්දානන්දසෙනා - ස්වාමී වූ නන්දසේනය: මම නන්දා වෙමි, භරියා තෙ පුරෙ අහුං - (මගේ) පෙර ජාතියෙහි ඔබගේ භාර්යාව වීම්. එයින් මතු
ඔබ කයින්, වචනයෙන්, මනසින්, කිනම් අකුසලයක් කළේ ද? කවර නම් කර්මයක විපාකයෙන් මෙසේ ප්‍රේත ලෝකයෙහි උපන්නේ ද?
එම උපාසකයාගේ විචාරීමට ඕ මේ ගාථාවලින් පිළිතුරු දුන්නාය.
මම ක්‍රෝධයෙන් යුක්ත වීමි. රළු බස් කියන්නියක් වීම්. නුඹ කෙරෙහි ගරු නොකරන්නියක් වීම්, මම ඒ නිරර්ථක ක්‍රියාවන් නිසා මිනිස් ලොවින් ප්‍රේත අපායට පැමිණියෙමි.
නැවත ඒ උපාසකයා කියන්නේ
එබැවින් පිට උතුරු සළුව දෙමි. මේ වස්ත්‍රය හැඳ ගනුව, මේ වස්ත්‍රය හැඳගෙන එව, තී ගෙදරට පමුණු වන්නෙමි.
වස්ත්‍ර ද ආහාර පාන ද ගෙට ගිය පසු තිට ලැබේ. තිගේ පුතුන් ද, තිගේ යෙහෙළියන් ද දැකීමට පුළුවන.
එවිට ඈ -
ඔබ විසින් අතින් අතට දෙන ලද්දක් මට නො ලැබෙයි. පහ වූ කෙලෙස් ඇති, බහුශ්‍රැත වූ සීල සම්පන්න වූ භික්ෂූන් වඩමවා.
ආහාර පානාදියෙන් සන්තර්පනය කරව, (භික්ෂූන්ට පුජා කරව) එයින් ලැබෙන පින් මට අනුමෝදන් කරව, එකල්හි මම සියලු කාමයෙන් සමෘද්ධව සුවපත් වන්නෙමි.
එයිනික්බිතිව,
හෙතෙම මැනවැයි පිළිගෙන මහත් වූ දන් පැවැත්වීය. ආහාර පාන වර්ග ද යුතු දේ ද රෙදි පිළි ද සෙනසුනු ද ඡත්‍ර ද සුවඳ මල් මාලා ද, නන් වැදෑරුම් පාවහන් ද, පිළියෙළ කොට
වීතරාගී වූ බහුශ්‍රැත වූ සුපේශල වූ සිල්වත් වූ, භික්ෂූන් වැඩමවා පූජාකොට භික්ෂූන් සතප්පවා ඒ කුශලයන් අනුමෝදන් කළේය.
එසේ පින් උදෙසූ විටම ඇයට විපාක ලැබිණ. ආහාර පාන ආදීය දන් දීමේ විපාක ඵලය මෙසේ වේ.
එයින් පසුව නැහැමෙන් පිරිසිදු වූ ශරීර ඇතිව, හඳනා ලද පිරිසිදු වස්ත්‍ර ඇතිව, කසී සළුවලටත් වඩා උතුම් වස්ත්‍ර හැඳ, සැමියා වෙත එළඹීයාය.
සඞ්ගීති කාරකයන් විසින් ගාථා සතරක් කියන ලදී.
පින්වත් දෙව්දුව! යම් බඳු වූ තී බැබලෙන්නා වූ ශරීර වර්ණයෙන් ඕසධී තරුව මෙන් සියළු දිසාවන් බබුළුවමින් සිටින්නෙහිය.
කවර හේතුවකින් තීගේ මෙබඳු වූ ශරීර වර්ණයක් ඇති වී ද? කවර කුශලා නිසංශයකින් මෙබඳු යහපත් පල ඇතිවීද? තිගේ සිත් පිනවන මේ භෝග සම්පත් කෙසේ උපදී ද?
මහානුභාව දේවිය! තිගෙන් විචාරමි. මිනිස් ජීවිතයේ දී කිනම් පිනක් කරන ලද්දේ ද කවර කුශල හේතුවකින් මෙසේ දිලිසෙන ආනුභාව ඇත්තී ද? තිගේ ශරීර වර්ණය සියළු දිසාවන් බබුළුවයි.
නන්දසේනය! (මගේ) පූර්ව ජාතියෙහි ඔබගේ බිරිඳ වූ නන්දා මම වෙමි. පාප කර්මයන් කොට ප්‍රේත ලෝකයට ආවෙමි.
ඔබ විසින් දෙන ලද දානයෙන් දුන් කුසල් අනුමෝදන්ව බිය නැත්තෙක් වීමි. ගෘහපතිය ඔබ සියළු ඤාතීන් සමග බොහෝ කාලයක් ජීවත් වේවා!
ගෘහපතිය! ලෝහ ද්වේශ ආදී මසුරු මල දුරුකොට මෙහිදී ධර්මයෙහි හැසිර දන් දී ශෝක රහිත වූ රජස් නැත්තා වූ, තමා වසයෙහි පවත්නවුන්ට වාසස්ථාන වූ, ස්වර්ග යයි කියන ලද දෙව්ලොවට නින්දා නැතිව පැමිණෙව.
උපාසකයාට ප්‍රේතිය විසින් කියන ලද පිළිතුරු ගාථාය.
එහි දානංවිපුල මාකිරි - දක්ෂිණාර්භයන් නමැති ක්ෂේත්රයේ, දෙය්ය ධර්ම නමැති බීජ වපුරන්නාක් මෙන් මහා දන් පැවැත්වීය. ඉතිරිය අනෙක් වස්තු සමානය,
මෙසේ ඕ තොමෝ තමන්ගේ දිව්‍ය සම්පත්තිය හා එයට අදාළ කරුණු නන්දසේනට පහදා දී තමන් වසන තැනටම ගියාය. උපාසක තෙමේ ඒ ප්‍රවෘත්තිය භික්ෂූන්ට දැන්වීය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණි සිටි පිරිසට ධර්ම දේශනා කළහ. ඒ දේශනා තොමෝ මහා ජනයාට සාර්ථක වූයේය.
නන්දා ප්‍රේත වස්තු වර්ණනාව නිමියේය.
5. මට්ටකුණ්ඩලී ප්‍රෙතවස්තු වර්ණනාව
“අලඞ්කතො මට්ටකුණ්ඩලී” මෙම කථා වස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මට්ටකුණ්ඩලී දේවපුත්‍රයා අරභයා වදාළ සේක. එහි කිවයුතු යමක් වේ නම් එය පරමත්ථ දීපනී නම් වූ විමාන වත්ථු වර්ණනාවේ කියන ලද්දේමය. එහෙයින් එහි කියන ලද ආකාරයෙන් දත යුතු