3. තුන්වැනි මත්තා ප්‍රේතවස්තු වර්ණනාව
“නග්ගා දුබ්බණ්ණ රූපා” - මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරන්නේ මත්තා නම් ප්‍රේතියක් අරබයා දේශනා කළ සේක. සැවැත්නුවර ශ්‍රද්ධාවන්ත වූ තුණුරුවන් කෙරෙහි පැහැදුණු එක්තරා කෙළෙඹියෙක් වාසය කළේය. ඔහුගේ බිරිඳ ශ්‍රද්ධා නැත්තීය. අප්‍රසන්නයහ, ක්‍රෝධ බහුලය. දරුවන් නැත්තියක් ද වුවා. නමින් මත්තා නම් විය. ඉක්බිති ඒ කෙළඹියා කුලවංශය නසී යයි බියෙන් සමාන කුලයකින් තිස්ස නම් වූ අනෙක් කන්‍යාවක් ගෙන ආයේය. ඕ තොමෝ සැදැහැ ඇත්තීය. ප්‍රසන්නයහ. ස්වාමීයාට ප්‍රියය. මනාපය වැඩිකල් නොගොස්ම ඇය ගැබිනියක වී දසමස් ඇවෑමෙන් පුතෙකු වැදීය. ඔහුට භුත තිස්ස යයි නම් කළේය. ඕතොමෝ ගෙට ස්වාමි දුවක් වී භික්ෂූන් සිව් නමකට මනාව උපස්ථාන කළාය. වඳ තැනැත්තිය ඇයට ඊර්ෂ්‍යා කළාය.
ඔව්හු දෙදෙනම එක් දවසක් හිස නා තෙත් කෙසින් යුතුව සිටියාහුය. කෙළෙඹි තෙමේ ගුණධර්ම වශයෙන් තිස්ස නම් ස්ත්‍රිය කෙරෙහි බැඳුනු සිතින් හද බැදි සිතින් ඈ සමග බොහෝ කොට කථා කරමින් සිටියේය. එය නො ඉවසන්නා වූ මිත්තා ඊර්ෂ්‍යාව ප්‍රකෘති කොට ඇතිව ගෙය හැම ද එකතු කර තිබුණු කසල තිස්සා නම් ස්ත්‍රියගේ හිස මත්තෙහි බහාලීය. ඕ තොමෝ ටික කලකින් කළුරිය කොට ප්‍රේත යෝනියෙහි ඉපදී, තමන්ගේ අකුසල කර්ම බලයෙන් පස් වැදෑරුම් දුක් අනුභව කරයි. ඒ පස් වැදෑරුම් දුක් වනාහී දේශනා පෙලෙන්ම ප්‍රකාශ වේ. එක් දවසක් ඒ ප්‍රේතිය සැන්දා කාලය ඉක්ම ගිය කල්හි ගෙයි පිටිපස නහමින් සිටි තිස්සා නම් ස්ත්‍රියට තමන් දැක්වීය. ඒ ප්‍රේතිය දැක තිස්ස නම් ස්ත්‍රිය -
35. නිර්වස්ත්‍ර වූ විරූප වූ ඉතා බියකරු දැකුම් ඇති රූපයකින් යුතුව දුගඳ වූ, කුණුගඳ හමන ශරීරයකින් යුතුව, හාත්පස නිල මැස්සගෙන් ගැවසි ගති, මෙතැන සිටින්නා වූ තී කවරී ද?
36. පෙර ජන්මයේ මම මත්තා නම් වීම්. ඔබ තිස්ස නම් වූවාය. ඔබගේ සම හිමියා ඇත්තේ වීම්. පව්කම් කොට මේ මිනිස් ලොවින් ප්‍රේත ලෝකයට ගියෙමි.
එහි අහං මත්තා තුවං තිස්සා - මම මත්තා නම් වීම් ඔබ තිස්සාය. පුරෙ - පෙර ආත්ම භාවයෙහි - තෙ - යනු ඔබගේ ස්වාමියාගේ සම බිරිඳ (සපත්නී) වූයෙමි යන අර්ථයි. නැවත තිස්ස විචාළාය.
37. කයින් වචනයෙන් සිතින් කවර අකුසල කර්මයක් කළේ ද? කවර නම් කවර නම් කර්මය විපාකයක් හේතුවෙන් ප්‍රේත ලෝකයට ගියේ ද?
යන ගාථාවෙන් කරන ලද කර්මය විචාළාය. නැවත මිත්තා -
38. ක්‍රෝධ ඇත්තියක්ව ද, ඵරුස බස් කියන්නියක්ව ද, ඊර්ෂ්‍යා කරන්නියක්ව ද මසුරු තැනැත්තියක්ව ද, කෛරාටික පැවතුම් ඇත්තියක්ව ද විසුයෙමි. මම නිරර්ථක වචන කියා ප්‍රේත ලෝකයෙහි උපත ලැබීමි.
එහි චණ්ඩී - ක්‍රෝධ ඇතී, ඵරුසා - ඵරුස වචන - ආසිං - කියන්නියක් වූයෙමි. තාහං ඒ මම. දුබ්භාසිතං - නරක වචන - නිරර්ථක වචන, මෙයින් මතු වචන හා ප්‍රතිවචන වශයෙන් ගාථා පැවැත්වීය.
39. යම්සේ තී ක්‍රෝධ කරන්නියක් වී ද? ඒ සියල්ල මමත් දනිමි. තිගෙන් අනිකක් විචාරමි. කවර කර්මයක් හේතු කොට ගෙන කසල පස්වලින් සිරුර ගැවසුනේ වේ ද?
40. තී ඉස් සෝදා නහා පිරිසිදු ඇඳුම් ඇඳ ලස්සණට සැරසුනාය. මම ද ඔබට වඩා වැඩියෙන් අලංකාර ඉතා (ලස්සනට සැරසුනේ වෙමි.)
41. මා බලා සිටිය දී ම ස්වාමියා සමග කථාකළාය. ඒ දුටු මගේ හිත ඊර්ෂ්‍යාවෙන් පරිපීඩිත ක්‍රෝධය උපන්නේය.
42. එහෙයින් කුණු පස් ගෙන තිට පිටුපසින් සිට තිගේ ඔළුවේ සිට දැමීමි. ඒ අකුසල කර්ම විපාකයෙන් කසළ පස්වලින් ගැවසුණු ශරීර ඇත්තියක් වීමි.
43. ඒ සියල්ල මම දනිමි. තිගෙන් අනිකක් විචාරමි. කවර හේතුවක් නිසා කැසිම් රෝගයකින් පෙළෙන්නේද?
44. බෙහෙත් ගෙනෙන්නට අපි දෙදෙන වනයට ගියෙමු. ඒ බෙහෙත් රැගෙන ආවෙහිය. මම කසඹිලියා ගෙඩි ගෙනයෙමි.
45. තොපට නො පෙනෙන්නට ඒ කහඹිලියා ගෙඩි තිගේ ඇඳේ හාත්පස විසුරුවා දැමීම ඒ අකුසල කර්මයෙන් විපාක හේතුවෙන් කැසීම් රෝගයෙන් පෙළෙමි.
46. ඒ සියල්ල මම දනිමි. අනෙක් කරුණක් අසමි. ඔබ නග්න වූයේ, නිර්වස්ත්‍ර වූයේ කවර අකුශල කර්මයකින් ද,
47. ඤාතීන්ගේ මිත්‍රයන්ගේ සමාගමක් විය. සැමියා සමග තී එහි යන්ට සැරසුනාය. මට එහි ආරාධනාවක් නොවීය.
48. ඒ උත්සවයට තිට ඇඳන් යාමට තිබු වස්ත්‍රයක් තී නොදැනුවත්ම මම සොරා ගතිමි. ඒ අකුසල කර්මයාගේ විපාකයෙන් මම නිර්වස්ත්‍ර වූයෙමි.
49. තී මගේ වස්ත්‍රයක් සොයාගත් බව ආදී සියල්ල මම දනිමි. වෙනත් කරුණක් විචාරමි. තී දුගඳ හමන්නී කිනම් අකුසල කර්මයකින් ද?
50. තීගේ සුවඳ ද්‍රව්‍යයන් ද, මා හැඟි වූ මල් මාලාවක් ද, තිගේ සුවඳ විලෙවුන් ද අශුචි වලෙක මම දැමුවෙමි. ඒ පාප කර්මය මා විසින් කරන ලදී. 51. ඒ අකුසල කර්මය හේතු කොට ගෙන දුගඳ හමන සිරුරක් ඇත්තියක් වීම්
52. අනිකක් ද තිගෙන් විචාරමි. කවර හේතුවකින් දුප්පත් වූයේ ද?