2. ශාරිපුත්රස්ථවිරමාතෘ ප්‍රෙතවස්තු වර්ණනාව
“නග්ගා දුබ්බණ්ණ රූපා සී” - මේ ධර්මදේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවන විහාරයෙහි වැඩ වාසය කරන්නේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්ට මෙයින් ආත්ම පහකට පෙර මව වූ එක්තරා ප්‍රේතියක් අරභයා වදාළ සේක. එක් දවසක් ආයුෂ්මත් සාරිපුත්‍ර, ආයුෂ්මත් මොග්ගල්ලාන, ආයුෂ්මත් අනුරුද්ධ, ආයුෂ්මත් කප්පින යන තෙරවරුන් රජගහ නුවරට නුදුරු, එක්තරා ආරණ්‍යයක වාසය කරති. ඒ සමයෙහි බරණැස් නුවර ආඪ්‍ය වූ මහාධනවත් වූ, සම්පත් බහුල වූ, බ්‍රාහ්මණයෙක් මහණ බමුණන්ට හා දුගී මගී, යාචක හා බැගෑපත් උදවියට ද පුලන්නන්ට ද මහා පැන් පොකුණක් සමානව ආහාර පාන, වස්ත්‍ර සයනාසන ආදිය දෙයි. එසේ දෙන්නේ ද පැමිණි පැමිණි අයට කාලයට සුදුසු පරිදි පා දෝනා පැන්, පා ගල්වා බෙහෙත් ආදිය දීමෙන් පිළිවෙළින් සියල්ල දීමෙහි යෙදුනේ වෙයි. පෙර බත් කාලයෙහි භික්ෂූන්ට ආහාර පානාදිය සකස්කොට පිරිනමයි. හෙතෙමේ විදේශයකට යන්නේ සිය බිරිඳට මෙසේ කීහ. පින්වතිය, යම්කිසි ආකාරයකින් මේ දානවිධිය පවත්වා ගෙන ආයේ ද ඒ පිළිවෙළ නො ඉක්මවා සකස් කොට පවත්වාගෙන යවයි, කීයේය. ඕ තොමෝ මැනවැයි පිළිගෙන ඔහු ගිය කල්හි පළමුකොට භික්ෂූන්ට දෙන ලද දන්වැට නැවැත්වීය. වාසය පිණිස පැමිනි මගීන්ට ගේ පිටිපස හැරදමන ලද දිරාපත් වූ ශාලාව පෙන්වා එහි නිදාගනිවූ යයි කීවාය. ආහාර පානාදිය සදහා මගීන් ආ කල්හි අසූචි කා පියව්, මුත්‍ර බීපියව්, ලේ බීපියවූ, තොපගේ මව්වරුන්ගේ මොළ කාපියව්, යම් යම් පිළිකුල් සහගත දෙයක් ඇද්ද ඒ ඒ දේ වල නම් කියා රළු වචන කියයි.
ඕ තොමෝ කෙටි කලකට පසුව කළුරිය කොට අකුශල කර්මානුභාවයෙන් ඔසවාදමන ලදුව ප්‍රේත යෝනියෙහි ඉපිද, තමාගේ වාග්දුශ්චරිතයට අනුරූපව දුක් අනුභව කරත්, පෙර ආත්මභාවය සමරා ආයුෂ්මත් සැරියුත් තෙරුන් වෙත එළඹීමට කැමැත්තේ ඒ විහාරයට පැමිණියාය. එවිට විහාරයට අධිගෘහිත දේවතාවෝ ඇයට විහාරයට ඇතුල්වීම වැළැක්වූහ. ඕ තොමෝ වනාහි මෙයින් (පෙර) පස්වැනි ආත්ම භාවයෙහි සැරියුත් තෙරුන්ගේ මව වූවාය. එහෙයින් මෙසේ කීහ. “මම ආර්ය වූ සැරියුත් තෙරුන්ගේ පස් වැනි ජාතියෙහි ආත්මභාවයෙහි මව වූයෙමි. තෙරුන් දකින්නට විහාර දොරටුවෙන් ඇතුල් වීමට මට ඉඩ හරිවු” යයි කීවාය. ඒ ඇසූ දෙවියෝ ඇයට ඇතුල්වීමට අවසර දුන්හ. ඕ පිවිස සක්මන කෙළවර සිට තෙරුන් වහන්සේට තමන් දැක්වීය. ස්ථවිරයන් වහන්සේ දැක කරුණාවෙන් චෝදනා කරන ලද සිත් ඇතිව
22. උස්ව නැගුණු ඉළ ඇට ඇතිව, කෘශ වූ තැනැත්තිය, විලි වැස්මක් නැතිව, දුර්වර්ණ ස්වභාව ඇතිව, ඉල්පී ගිය නහර වැල් ඇතිව, මෙහි සිටින්නා වූ තී කවරෙක් ද?
යී ඇසීය. ස්ථවිරයන්ගේ විමසිමට පිළිතුරු දෙන්නේ,
23. මම මින් පෙර වෙනත් ජාතියක දී ඔබගේ මව වීමි. ප්‍රේත ලෝකයෙහි උපන්නී සා පිපාසා දෙකින් මඩනා ලද්දෙමි.
24. වමනය ද, මුව මල ද, කෙල ද, සොටු ද, සෑයෙහි දවනු ලැබු මෘත ශරීරයන්හි වුරුණු තෙල ද, වැදූ ස්ත්රීන්ගේ ලේ හා ගැබ් මල ද,
25. වණ ඇත්තවුන්ගේ හා හිස හා නාසය කැපුවන්ගේ ලේ ද, ස්ත්‍රී පුරුෂ ශරිරයන් අසුරු දේ ද, සා ගින්නෙන් මඩනා ලද මම අනුභව කරමි.
26. ගෙරින්ගේ ද මිනිසුන්ගේ ද, සැරව හා ලේ අනුභව කරන්නී වෙමි. පිහිටක් නැත්තී වසන තැනක් නැත්තී, සොහොන් අලු හා අඟුරු බහුල වූ සොහොන් බිමම සයනය කරන්නේ වෙමි.
27. පුත්‍රයාණනි! මා උදෙසා දානයක් දුන මැනවි. එහි පින් මට උදෙසනු මැනවි. ලේ සැරව බුදීමෙන් මුදන්නේ නම් ඉතාමත් යෙහෙකි. මේ ගාථා පහ කීය.
එහි අහං තෙ සකියා මාතා - මම ඔබගේ ජනනී වසයෙන් ස්වකීය මව් වෙමි. පෙර වෙනත් ආත්මයක මව් වෙමි - මේ ආත්මයෙහි නොවේ. මෙයින් ආත්ම පහකට පෙර අනෙක් ජාතියක යනු දක්වන ලදී. උප්පන්නා පෙත්ති විසයං - ප්රතිසන්ධි වශයෙන් ප්‍රේත ලෝකයට පැමිණියෙමි. ඛුප්පිපාසා සමප්පිතා - බඩගින්නෙන් ද පිපාසාවෙන් ද, යුක්ත වූයේ වෙමි. නිරන්තරයෙන් බඩසයින් පිපාසයෙන් පෙළෙන්නේ වෙමි යන අර්ථයි.
ඡඩ්ඩිතං - වමනය කළ - වැමෑරූ යන අර්ථයි. ඛිපිතං - කිඹිසීමත් සමග මුඛයෙන් පිටවෙන මල ඛෙලං කෑරීම් කෙළගැසීම, සිඞ්ඝානිකං - හිස් මොළයෙන් ගලා බසින නාසයෙන් නික්මෙන්නා වූ මල සිලෙසුමං - සෙම, වසංව ඩය්හමානං - සෑයෙහි දවන ලද මෘත ශරිරයෙන් ගලන වසා තෙල් විජාතානංච ලොහිතං - ස්ත්‍රීන් දරුවන් ප්‍රසූත කිරීමේ දි වැගිරෙන ලේ හා ගැබ් මල, වණීතානං - හට ගත්තා වූ වණ (විශාල තුවාල) යං - ලේ වලට සම්බන්ධයි. ඝණ සීසච්ඡන්නා නං - නාසය, හිස කැපීමෙන් යම් දෙයක් ගලා නම් එය අනුභව කරමි. ඝාණසිසච්ඡින්නානං - යම්හෙයකිනි අත් පා ආදිය කැපීමෙන් ද, ගලන්නා වු ලේ බොන්නෙමියි එසේ වර්ණනා කරන ලද්දේ යයි, මෙයින් නැගුණු ලේ එක් වූයේය යනුයි දත යුතුයි. ඛුදා පරෙතා - බඩගින්නෙන් පෙළුණු, ඉත්ථිපුරිසනිස්සිතං - ස්ත්‍රී පුරුෂ ශරීර ඇසුරු කරගෙන පවතින්නා වූ අනෙක් සම් මස් නහර, ආදිය අනුභව කරන්නෙමියි දක්වයි.
පසුනං - එළු - ගව ආදීන්, අලෙනා - අසරණ වූ, අනගාරා - නිවාස රහිත - නිල මඤ්චපරායනා - සොහොනෙහි දමන ලද මෘත දේහ නමැති ආසන - ගිනි අඟුරු බහුල අළු බහුල සොහොන් බිම අභිප්‍රේතයි. උද්දිසාභිමෙ - යම්සේ දෙන ලද දානයක දක්ෂිණාව (පිංපෙත්) මට උදෙසනු මැනව, මා උදෙසා පත්තිදානය දෙනු මැනව. අප්පෙවනාම මුඤ්චෙය්යං ප්රබ්බලොහිත භෝජන - ඔබගේ පින්දීම කරණකොට ගෙන පූයා සහිත ලේ ආහාර වශයෙන් ගන්නා වූ මේ ප්‍රේත ආත්මයෙන් මිදෙන්නෙමි.