9. මහාපෙසකාර ප්රේතවස්තු වර්ණනාව
“ගූථඤ්චඤ්ච මුත්තං රුහිරඤ්ච පුබ්බං” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වැඩවාසය කරන්නේ එක්තරා පේශකාර ප්රේතියක අරභයා (මේ ප්රේත වස්තුව) වදාරණ ලදී. දොළොස් නමක් පමණ වූ භික්ෂූන් වහන්සේලා බුදුන් සමීපයෙන් කමටහන් ගෙන, වාසයට සුදුසු තැනක් සොයමින්, වස්වසිමට කාලය ළංවූ හෙයින්, සිසිල් සෙවණක් යුතු ජල පහසුකම් ඇති - සිත්කළු වූ, එක්තරා අරණ්යයක් හා එයටම නුදුරින් ඉතා ළං නොවූ ගොදුරු ගම ද දැක එහි එක් රැයක් වැස දෙවෙනි දවසේ ගමට පිඬුසිඟා වැඩියහ. ඒ ගම ද පේශකර්මාන්තයෙහි නියුතු වූ එකොළොස් දෙනෙක් වාසය කරති. ඔව්හු ඒ භික්ෂුන් දැක හටගත් සොම්නසින් යුතුව තම තමන්ගේ ගෙවලට වඩවඩා ප්රණිත ආහාරයෙන් වළදවා, ස්වාමීනි! ඔබ වහන්සේලා කොහි වඩින්නහුද? ඇසූහ. යම්කිසි තැනක් අපට පහසු වන්නේ ද අපි එහි යන්නෙමුයි කීහ. එසේනම් මෙහිම වස් වසන්නැයි උන්වහන්සේලාට ගම්වැස්සෝ ආරාධනා කළාහුය. භික්ෂූන් වහන්සේලා ආරාධනාව පිළිගත්හ. උපාසකයෝ ඒ අරණ්යයෙහි භික්ෂූන්ට ආරාම තනවා දුන්හ. භික්ෂූහු එහි වස් විසුහ.
එහි ජ්යෙෂ්ඨ පෙහෙකරු භික්ෂූන් දෙනමකට සිව්පසයෙන් උපස්ථාන කළේය. අනෙක් අය එක් එක් භික්ෂු නමකටම උපස්ථාන කළහ. එහි ජ්යෙෂ්ඨ පෙහෙකරුගේ භාර්යාව සැදැහැ නැත්තීය. අප්රසන්නයහ. මිසදිටු අදහස් ඇත්තීය, තෘෂ්ණා ඇත්තීය. මසුරු තැනැත්තියක ඕ භික්ෂූන්ට සකස්කොට උපස්ථාන නො කරයි. හෙතෙම එය දැක ඇගේම බාල සොහොයුරිය ගෙනැවිත් තම ගෙදර අධිපතිබව භාර දුන්නාය. ඕ ශ්රද්ධා සම්පන්න වූවා, සකස්කොට මනාව භික්ෂූන් පෝෂණය කළාය. ඒ සියලුම පේශකාරකයෝ වස් පැවරූ භික්ෂුන්ට එක් එක් භික්ෂුවට එක එක සළුව බැගින් දුන්හ. එහිදී ජ්යෙෂ්ඨ පේශකාරයාගේ මසුරු සිත් ඇති බිරිඳ දූෂිත වූ සිතින් තමන්ගේ හිමියාට පරිභව කළාය. නුඹ විසින් ශ්රමණ ශාක්ය පුත්රයන්ට දෙන ලද ආහාර පාන ආදී යම් දානයක් වේ නම් ඒ දානය නුඹට පරලොව දී මල මුත්රව ද, සැරව හා ලේ ද වී පහළ වේවා! වස්ත්ර දිලිසෙන අයෝමය වස්ත්ර වෙත්වා කීවාය.
එගම විසූ ජ්යෙෂ්ඨ පේශකාර්මිකයා පසුකලක කළුරියකොට වින්ධ්යා පර්වතස්ථානයේ ආනුභාව සම්පන්න රුක් දෙවියෙක්ව උපන්නේය. ඒ ප්රධාන පේශකාරයාගේ මසුරු බිරිඳ කළුරිය කොට රුක් දෙවියා වසන තැනට නුදුරුව ප්රේත දුවක්ව උපන්නේය. ඒ ප්රේතිය නග්නව දුර්වර්ණව සාපිපාසයෙන් මඬනා ලදුව ඒ බූමාටු දෙවියන් වෙතට ගොස් ස්වාමීනි මම වස්ත්ර නැතිව සාපිපාසාවෙන් මඬනා ලදුව ඇවිදිමි. මට වස්ත්ර හා ආහාර පාන දුන මැනැවියි කීය. එවිට ඒ දෙවිතෙම ඒ ප්රේතියට දිව්ය ආහාර පාන දුන්හ. ඒ ආහාර පාන වර්ග ඒ ප්රේතිය ගත් ඇසිල්ලෙහිම මල මුත්ර බවට හා පූයා ලේ බවට පෙරළෙති. දෙන ලද සළුව ද ඇය විසින් ඇදගත්කළ දිලිසෙන යපට වෙයි. ඒ ප්රේතිය මහත් දුක් විඳිමින් වස්ත්රය හැරදමා හඬමින් ඇවිදින්නේය.
එකල්හි එක්තරා භික්ෂුවක් වස්වැස පවරා බුදුන් වැඳීමට යන්නේ මහත් ගැල් සමුහයක් සමග වින්ධ්යා අඩවියට පැමිණියේය. ගැල්කරුවෝ රාත්රියෙහි මග ගෙවා ගොස් දවල් කාලයෙහි වනයෙහි ඝන සෙවණින් හා ජලයෙන් යුත් ප්රදේශයක් දැක ගොනුන් මුදා මද වේලාවක් ගිමන් හැරියහ. ඒ භික්ෂුව විවේක කැමති බැවින් මදක් ඉවත්ව ඝන සෙවණින් යුත් වනයේ සෙවණ ඇති ගහක් යට සඟල සිවුර පනවා හුන්නේ රාත්රි ගමන් වෙහෙස නිසා ක්ලාන්ත වූයේ නින්දට පැමිණියේය. ගැල් පදවන්නෝ විඩා සන්සිදුවා ගෙන මගට පිළිපන්හ. ඒ භික්ෂුතෙම නො පිබිදියේය. පසුව සවස් කාලයෙහි නැගී සිට ගැල් පදවන්නන් නො දක්නේ එක්තරා වැරදි මගකට වැටී පිළිවෙලින් ඒ දෙවියා වසන තැනට පැමිණියේය. එකල්හි ඒ දෙව්පුත් තෙම මිනිස් වෙසින් ලඟට පැමිණ පිළිසඳර කථා කොට, තම විමනට වැඩමවා පයගානා අඳුන් ආදිය දී ළංව හුන්නේය. එකල්හි ද ප්රේතිය ඇවිත් ස්වාමීනි මට ආහාර පාන වස්ත්ර දාන මැනවැයි කීය. දිව්ය පුත්රයා ඇයට ආහාර පානාදිය දුන්නේය. ඒවා ඈ ගත් ඇසිල්ලකින්ම මළ මුත්ර පූයා ලේ ද, දිලිසෙන අයෝමය වස්ත්ර ද වූහ. ඒ භික්ෂුව ඒ දැක උපන් සංවේග ඇතිව ඒ දෙවියන්ගෙන් විචාරන්නේ,