1. උරගවර්ගය
1. ඛෙත්තූපම ප්රේතවස්තු වර්ණනාව
භාග්යවතුන් වහන්සේ රජගහනුවර ඇසුරු කරමින්, ලෙහෙනුන්ට බත් වැටුප් දුන් බැවින් කලන්දක නිවාප නම් වූ වේළුවනාරාමයෙහි වසන කල්හි එක්තරා සිටු පුතෙකු අරභයා මේ ඛෙත්තූපම ප්රේත වස්තුව දේශනා කළ සේක. රජගහනුවර ධන සම්පත්තියෙන් ආඪ්ය වූ, මහත් ධන ඇති, මහා සම්පත් ඇති, නොයෙක් වස්තු හා උපකරණ ඇති, රැසේකරන ලද කෝටි ගණන් ධනය ඇති, එක්තරා සිටුවරයෙක් සිටියේය. ඔහුගේ මහා ධන සම්භාරය නිසා ඔහු මහාධන සිටාණෝ යයි නම් ලදහ. ඔහුට එක් පුතෙක් විය. ඔහු ප්රිය මනාපය. ඒ පුත්රයා නුවණැති බවට පත් කල්හි දෙමාපියෝ මෙසේ සිතූහ. අපේ පුතා දිනපතා දහස බැගින් වියදම් කළත් අවුරුදු සියයකින්වත් මේ ධනය අවසන් නොවේ. ඒ නිසා ශිල්ප ශාස්ත්ර උගැන්වීමෙන් අර්ථයක් නැත. ක්ලාන්ත නුවූ කයින් හා සිතින් යුතුව සුවසේ මේ සම්පත්වලින් සැප විඳීවායි සිතා කිසිවක් නො ඉගැන්නුවේය. වයසට පැමිණිකල ඔහුට කුලයෙන් ද රූපයෙන් ද, යෞවන විලාසයෙන් ද සම්පූර්ණ වූ පඤ්චකාම රසාස්වාදයටම සිත නැමුණු. ධර්මය පිළිබඳ නො සිතන කාන්තාවක් විවාහ කර දුන්හ. ඔහු ඇය සමග අභිරමණය කරන්නේ කුසල ධර්මයන් පිළිබඳව කල්පනා නොකළේය. ශ්රමණ බ්රාහ්මණයන් හා ගුරු දෙමව්පියන් කෙරෙහි ආදර ගෞරව රහිතව, සුරා සොඬුන් ආදීන් ඇසුරු කරමින් තුටු පහටු වෙමින් පසේකම් සැප විඳීමෙහිම ඇලෙමින් මෝහයෙන් අන්ධ වී කල් යවා, දෙමාපියන් මිය ගිය කල්හි නළු නිළි ගායක ගායිකාවන්ට කැමති පරිදි දෙමින් ධනය විනාශ කොට, කෙටිකලකින්ම වස්තුව පිරිහී ණයට ගෙන ජීවත්වන්නේ, පසුව ණය ද නො ලබා, හිමියන්ට තමන් සතු ඉඩකඩම් ගෙවල් දොරවල් දී කබල් ගත් අත් ඇතිව හිඟා කමින්, එම නුවර අනාථ ශාලාවක ජීවත් වේ.
එකල්හි එක් දවසක් සොරුන් පිරිසක් පැමිණ ඔහුට මෙසේ කීය. එම්බල පුරුෂය! ඔබ තවම තරුණය, අත් පාවල ශක්තිය හොඳට තිබේ. අත් පා විකල වුවෙකු මෙන් මේ අන්දමට දුක් ජීවිතයක් ගත කරන්නේ ඇයි? අපත් සමග එකතු වී අප සමග අනුන්ගේ ධන සම්පත් සොරකම් කොට සුවසේ ජීවත් වෙමුයි කීහ. හෙතෙම මම සොරකම් කරන්න නොදනිමියි කීයේය. සොරු අපි ඔබට උගන්වන්නෙමු. හුදෙක් අප කියන දේ පමණක් කරවයි කීහ. හෙතෙම මැනවැයි පිළිගෙන ඔවුන් සමග ගියේය. අනතුරුව සොරු ඔහුගේ අතට පොල්ලක් දී, ගෘහ සන්ධි බිඳිමින් ගෙට ඇතුල් වෙමින්, ඔහුව ගේ බිඳි කපොල්ල ලඟ සිටුවා ඉදින් යම් කෙනෙක් මෙහි ආයේ නම් ඔහු මේ මුගුරෙන් ගසා එක පහරින්ම මරවයි කීයේය. අඳ බාල වූ හෙතෙම කිසිවක් නො දන්නේ අනුන්ගේ පැමිණීමම බලමින් එහි සිටියේය. සොරු ගෙට පිවිස ගත යුතු දේ ගෙන, ගෙදර මිනිසුන් දැනගත් කල්හිම එහෙන් මෙහෙන් පලාගියහ. ගෙදර මිනිස්සු නැගිට වහ වහා දුව ගොස් එහෙ මෙහෙ බලන්නේ ගේ බිඳි තැන සිටි ඒ පුරුෂයා දැක, එම්බා දුෂ්ට හොරා යයි කියා අල්ලා ගෙන පොලුවලින් ගසා අත් පා ආදීය බැඳ මුගුරු ආදියෙන් තලා මහරජ මෙතෙම අපේ ගෙවල් බිඳි මහ සොරාය. ගෘහසන්ධියෙහි සිට අල්ලා ගත්තේ යයි කියා රජුට භාර දුන්නේය. එවිට රජතුමා මේ සොරාගේ හිස කපා දමවයි නගරගුත්තිකට පැවරීය. අණ කළේය. නගර ගුත්තිකයා ද යහපති දේවයිනියි කියා ඔහු ගෙන්වාගෙන පිටිතල හයා දැඩිකොට බැඳ රත් පැහැ මල්දම් බෙල්ලේ දමා, ගඩොල් සුණු ගල්වන ලද හිස් ඇතිව වධය සඳහා ගසන බෙරහඬින් යුතුව වීදියෙන් වීදියට මංසන්ධියෙන් මංසන්ධියට ගෙනයමින් කසවලින් ගසමින්, වධකස්ථානයට ගෙනගියේය. මේ නගරයෙහි දේපල පැහැරගත් සොරා අප විසින් අල්ලා ගන්නා ලදැයි නගරයේ හැම තැන පැතිර ගියේය.
එකල්හි එම නගරයෙහි සුලසා නම් වූ නගරසෝභිනිය ප්රාසාදයෙහි සිට කවුළුවෙන් බලන්නේ, එසේ වධයට ගෙන යන ඒ පුද්ගලයා දැක, පෙර ඔහු සමග වාසය කර පුරුදු ඇත්තී, මේ පුරුෂයා මේ නගරයෙහිම මහත් සම්පත් විද දැන් මෙබඳු වූ අනතුරකට විපතකට පැමිණියේයයි ඔහු පිළිබඳව කරුණාව උපදවා අග්ගලා සතරක් හා පියයුතු පැන් ද මෙහෙකරුවකු අත යැවීය. මේ පුරුෂයා මේ අග්ගලා කා පැන් බොනතුරු ස්වාමි තෙමේ බලාපොරොත්තු වේවායි කියා නගර ගුත්තික ඇමතියාට ආයාචනයන් ද යැවීය.
මේ අතර මහා මුගලන් ස්ථවීරයන් වහන්සේ දිවැසින් බලන්නේ ඔහු ව්යසනයට පැමිණි බව දැක, කරුණා පෙරදැරිව. මේ පුරුසයා පින් නොකළ කෙනෙක. පව් කළ කෙනෙක, ඒ හේතුවෙන් මොහු නරකයෙහි උපදින්නේය. මා එහි ගිය කල්හි අග්ගලා හා පැන් මට දී භූමාටු දෙවියෙක් වී උපදින්නේය. එබැවින් මේ තැනැත්තාට පිහිට වන්නේ නම් මැනවයි සිතා පැන් හා අග්ගලා ගෙනෙන මෙහොතෙහි ඒ පුරුෂයා ඉදිරියේ පහළ වූ සේක. ඒ විපතට පත් පුරුෂයා මුගලන් මහ තෙරුන් වහන්සේ දැක පහන්සිත් ඇතිව, තව මොහොතකින් මේ වධකයෝ මා මරා දමති. අග්ගලා කෑමෙන් මට කවර ප්රයෝජනද, මෙය පරලොව යන්නා වූ මට මග වියදම් වන්නේ යයි සිතා අග්ගලා සහ පැන් තෙරුන් වහන්සේට පුජා කළේය. ස්ථවිරයන් වහන්සේ ද ඔහුගේ ප්රසාදය වර්ධනය කිරීම පිණිස ඔහු බලා සිටිය දී ම සුදුසු තැනෙක වැඩ හිඳ, අග්ගලා වළදා, පැන් බී, හුනස්නෙන් නැගිට වැඩියේය. ඒ පුරුෂයා චෝර ඝාතකයන් විසින් වධකස්ථානයට පමුණවා හිස කපා මරණයට පත්කරන ලදී. අනුත්තර වූ පින්කෙත් වූ මුගලන් හිමියන් කෙරෙහි කරන ලද පින්කර්ම හේතුවෙන් මහත් සම්පත් ඇති දිව්ය ලෝකයෙහි ඉපදීමට සුදුසුකම් පැවැතියත්, සුලසාව නිසා මා විසින් දානමය පින්කම කරන ලද්දේ යයි සුලසාව පිළිබඳව ඇතිකර ගත් ස්නේහය නිසා මරණ මොහොතෙහි සිත කිලුටුවුයෙන්, හීනාත්මයක් ලදුයේ පර්වතයෙන් ගැවසීගත් පෙදෙසක ගන සෙවණ ඇති මහා නුග රුකෙක රුක් දෙවියකු වී උපන්නේය.