10. ඛල්ලාටිය ප්‍රේතවස්තු වර්ණනාව
“කානු අන්තො විමානස්මිං” යනාදී ධර්ම දේශනාව සැවැත්නුවර ගොදුරුගම් කොට වසන්නේ එක්තරා මුඩුහිසක් ඇති - (බල්ලාටිය) ප්‍රේතියක් අරභයා කියන ලදී. අතීතයෙහි බරණැස් නුවර එක්තරා විශිෂ්ඨ රූ ඇත්තා වූ, දැකුම්කළු වූ, ප්රසාදජනක වූ වර්ණසෞන්දර්යෙන් යුත් අතිමනෝහර කෙස් කළඹක් ඇති රූප සම්පත්තිය නිසා ජීවත් වූ එක්තරා වෛශ්‍ය ස්ත්‍රියක් ජීවත් වූවාය. ඇගේ නිල් වූ දික් වූ, තුනී මොලොක් වූ සිනිඳු වූ වෙළන ලද අග ඇති දෙ අතින් ගතයුතු වූ කේශ කලාපය නොවිසිරි මෙවුල් කලාපය දක්වා එල්බෙත් ඇගේ ඒ කේශකලාපය දැක බොහෝසෙයින් තරුණයෝ ඇය පිළිබඳව සිත් ඇත්තෝ වූහ. එකල්හි ඇගේ ඒ කේශ ශෝභාව නො ඉවසමින් ඊර්ෂ්‍යාවෙන් මැඩුණු ස්ත්‍රීන් කීප දෙනෙක් කතිකාකොට ඇගේම මෙහෙවර කරන්නා වූ එක් දාසියකට මුදල් දී පොළඹවා ඒ දාසිය ලවා ඇගේ හිසකේ වැටෙන බෙහෙතක් දෙව්වාහුය. ඒ දාසිය ඒ බෙහෙත නහනසුණු සමග යොදා ගඞ්ඟා නදියේ නානවිට ඒ වෙසඟනට දුන්නීය. ඒ ස්ත්‍රී තොමෝ ඒ බෙහෙතින් මුල් සහිත හිසකේ තෙමා දියේ ගිලුණාය. ගිලුණු ඇසිල්ලෙහිම සියලුම කේශයෝ සහ මුලින් ඉදිරි වැටුණේය. ඇගේ හිස තිත්ත ලබු ගෙඩියක් මෙන් විය. එකල්හි ඕ තොමෝ ඉදුරුණු කෙස් ඇතිව සිඳින ලද මුදුන ඇති පරෙවි ධේනුවක් මෙන් අවලස්සනව ලජ්ජාවෙන් ඇතුළු නගරයට යා නොහැක්කේ වස්ත්‍රයකින් හිස වෙලාගෙන නගරයෙන් පිටත වෙනත් තැනෙක වාසය කළාය. කිහිප දවසක් ගිය විට පහ වූ ලජ්ජා ඇතිව තල මිරිකා තෙල් වෙළදාම ද, සුරා වෙළදාම ද කරමින් ජීවත් වූවාය. ඕ තොමෝ එක් දවසක් සුරා මතින් මත් වූ මිනිසුන් දෙතුන් දෙනෙකු නිදා ගත් කල්හි ඔවුන්ගේ හැදිවත් සොරා ගත්තේය.
ඉක්බිති එක් දවසක් එක් රහතන් වහන්සේ නමක් පිඬු පිණිස හැසිරෙනු දැක පහන් සිත් ඇතිව, තම ගෙට වැඩමවා පණවන ලද අසුනෙහි වඩා හිදුවා තෙල් මිශ්‍ර වූ වැගිරෙන තෙල් ඇති තල කැරලි දන් දුන්නේය. ඒ රහත් තෙරහු ඇය කෙරෙහි අනුකම්පාවෙන් එය පිළිගෙන වැළඳු සේක. ඈද පහන් සිත් ඇතිව තෙරුන්ගේ හිසට කුඩයක් අල්ලාගෙන සිටියාය. ඒ තෙරුන් වහන්සේ ද ඇගේ සිත සතුටු කරමින් අනුමෝදනා බණ වදාරණ කල්හිම මගේ හිසකේ තුනී සිනිඳු මොලොක් නැමුණු අග ඇති වෙත්වායි ප්‍රාර්ථනා කලාය.
ඕ තොමෝ මෑත කාලයෙහි කළුරිය කොට (පින් පව්) කුශලා කුශල කර්මයන්ගේ විපාකයෙන් මුහුද මැද රන් විමනෙක හුදෙකලාවම උපන්නීය. ඇගේ කේශයෝ ප්‍රාර්ථනා කළ අයුරින්ම බැබළීමෙන් පිහිටියාහුය. මිනිසුන්ගේ හැඳිවත් සොරකම් කිරීම නිසා අකුශලයෙන් නග්න විය. ඕ ඒ රන්විමනෙහි නැවත නැවත ඉපදෙමින් එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහිම නිර්වස්ත්‍රවම කල් යැවීය. අනතුරුව අපගේ භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ වී පවත්වන ලද උතුම් ධර්ම චක්‍ර ඇත්තේ පිළිවෙළින් වැඩමවා සැවැත් නුවර වසන සමයෙහි සැවැත්නුවර වැසි සියයක් පමණ වෙළෙන්දෝ වෙළදාම් පිණිස ස්වර්ණ භූමියට යන නැවකින් මහා සමුද්‍රයට සේන්දු වූහ. ඔවුන් නැගී නැව සුළග සැඩ වීමෙන් ගසා ගෙන යන ලදුව ඔබ මොබ කරකැවෙමින් ඒ විමාන ප්‍රේතිය වසන පෙදෙසට පැමිණියේය. එකල්හි ඒ විමාන ප්‍රේතිය විමානය සමගම තමන් ඒ වෙළදුන්ට දැක්වීය. ඒ දුටු ප්‍රධාන වෙළෙන්දා මෙසේ විමසීය.
59. මේ විමන තුළ සිටින තී කවර ස්ත්‍රීයක් ද? විමනෙන් නො නික්මෙයි. සොඳුර මහත් (ඍද්ධි) සම්පත් ඇති ඔබ දකිනු කැමැත්තෙමු විමනින් එළියට එනු මැනවි.
එහි කානු අන්තො විමානස්මිං තිට්ඨන්ති - විමානය ඇතුළෙහි සිටින ඔබ කවරීද මනුෂ්‍ය ස්ත්‍රීයක් ද? නැතිනම් අමනුෂ්‍ය ස්ත්‍රියක් ද? විචාළේය. නුපනික්ඛමි - විමානයෙන් නො නික්මෙයි. උපනික්ඛමස්සු භද්දෙ ත්වං පස්සාම තං මහිද්ධිකං - සොඳුර මහත් සම්පත් ඇති ඔබ දකිනු කැමැත්තම්හ. එහෙයින් විමානයෙන් නික්මෙනු මැනවි. උපනික්ඛමංසු භද්දං තෙ යනු ද පාඨයි.
ඉක්බිති තමාට එළියට පිවිසීමට නොහැකි බව පවසමින් මේ ගාථාව කීහ
60. මම නග්න වෙමි. පිටතට නික්මීමට පිළිකුල් ඇත්තේ වෙමි. දුක් ඇති වෙමි. ලජ්ජා ඇතිවෙමි. හිසකේවලින් පිළිසන් සිරුර ඇත්තියක් වෙමි. මා විසින් මද පිනක් කරන ලදී.
එහි අට්ටියාමි - නග්නව සිටින බැවින් පිටත නික්මීමට දුක් ඇත්තේ වෙමි. හරායාමි ලැජ්ජා ඇත්තේ වෙමි. කෙසෙහම්හි පටිච්ඡන්නන්තා - මම මගේ කේශයන්ගෙන් වසන ලද පොරවන ලද සිරුර ඇත්තේ වෙමි. මා විසින් සුළු කුශල කර්මයක් පමණක් කරන ලදී. තලමුරුවට තල කැරලි දුන් දානය පමණක් යන අදහසයි.