11. නාග ප්‍රේතවස්තු වර්ණනාව
“පුරතො ව සෙතෙන පලෙති හත්‍ථිනා” මෙම ධර්ම දේශනා කථාවස්තුව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි බ්‍රාහ්මණ ප්‍රේතයන් දෙදෙනකු නිසා වදාරන ලදහ. ආයුෂ්මත් සංකිච්ච සාමණේරයන් වහන්සේ සත්වැනි වියේ දී කරගෙහි දී ම (හිසමුඩු කරද්දීම) අර්හත්වයට පැමිණ සාමණේර තත්ත්වයේම සිටියේ තිස්නමක් පමණ වූ භික්ෂූන් සමග ආරණ්‍යයෙහි වසන්නේ. පන්සියයක් සොරුන්ගෙන් භික්ෂූන්ට පැමිණි මරණ තර්ජන වලක්වා ඒ සොරුන් දමනය කොට පැවිදි කරවා, ශාස්තෲන් වහන්සේ සමීපයට වැඩියේය. ශාස්තෲන් වහන්සේ ඒ භික්ෂු පිරිසට ධර්මය දේශනා කළ සේක. දේශනාවසානයෙහි ඒ භික්ෂූහු රහත් බවට පැමිණියහ. ඉක්බිති සංකිච්ච තෙරණුවෝ පිරිපුන් වයස් ඇත්තේ උපසම්පදාලාභීව, පළමු කී භික්ෂූන් පන්සියයක් සමග, බරණැසට ගොස්, ඉසිපතනයෙහි වාසය කළහ. මහජනයා තෙරුන් සමීපයට ගොස් බණ අසා පහන්සිත් ඇතිව වීථි පිළිවෙළින් කණ්ඩායම් වශයෙන් එකතුව ආගන්තුක දානය දුන්හ. මෙහිදී එක්තරා උපාසකයෙක් නිති බත් දීමෙහි මිනිසුන් සුදානම් කරවීය. ඔව්හු ශක්ති පමණින් නිතිබත් පිහිටවූහ.
එ සමයෙහි බරණැස් නුවර එක්තරා මිථ්‍යාදෘෂ්ටික බමුණෙකුට පුතුන් දෙදෙනෙකු හා එක දුවක් සිටියහ. ඔවුන් අතුරෙන් වැඩිමල් පුතා ඒ බ්‍රාහ්මණයාගේ මිත්‍රයෙක් විය. ඒ උපාසකයා තම මිත්‍රයා කැඳවාගෙන ආයුෂ්මත් සංකිච්ච ස්ථවිරයන් වෙත ගියේය. සංකිච්ච හාමුදුරුවෝ ඔහුට බණ කීහ. හෙතෙම මෘදු සිත් ඇත්තෙක් විය. ඉක්බිති උපාසකයා ඔහුට මෙසේ කීය. ඔබ එක් භික්ෂුවකට නිතිබත් දෙවයි කීය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට නිතිබතක් දීම අප විසින් පුරුදු නො කරන ලද්දේය. එ නිසා මම නො දෙමියි කීය. හොඳයි මට වත් බතක් දෙන්නේ ද නො දෙන්නේ දැයි බ්‍රාහ්මණයා ඇසීය. කෙසේ නම් නුඹට නො දෙම් ද දෙමියි කීය. එසේ නම් මට යමක් දෙන්නේ නම්, එය එක භික්ෂුවකට දෙවයි උපාසකයා බමුණාට කීය. හෙතෙම මැනවැයි පිළිගෙන දෙවෙනි දවසේ උදැසනම විහාරයට ගොස් එක භික්ෂු නමක් කැඳවා ආහාර වැළදවීය.
මෙසේ කාලය සෙමින් ගතවෙද්දී භික්ෂූන්ගේ ප්‍රතිපත්ති දැක, බණ අසා ඔහුගේ බාල සහෝදරයා ද, සහෝදරි ද, ශාසනයෙහි ප්‍රසන්න වූයේ, පින්කම් කිරිමෙහි කැමැත්ත ඇත්තෝ වූහ. මෙසේ ඒ තිදෙනාම සම්පත් පමණින් දන් දෙමින්, මහණ බමුණන්ට සත්කාර කළහ. ගරු කළහ. වැඳුම් පිදුම් කළහ. මව්පියන් වනාහි ශ්‍රද්ධා නැත්තේය. ශ්‍රමණ බ්‍රහ්මයන් කෙරෙහි අප්‍රසන්නයහ. ඔවුනට අගෞරව කරයි. පුණ්‍ය ක්‍රියාවන්හි කැමැත්ත නො දක්වයි ආදරයක් නැත්තේයි. ඔවුන්ගේ දියණියන් මයිලණුවන්ගේ පුතුට විවාහකොට දීමට දෙපස නෑයෝ කතිකා කර ගත්හ. ඒ පුතණුවෝ ආයුෂ්මත් සංකිච්ච ස්ථවිරයන් වෙතින් ධර්මය අසා සංවේගයට කළ කිරීමට පැමිණියේ පැවිදි වී නිතර තමන්ගේ ගෙදරට දානය සඳහා වඩියි. මව් තොමෝ දියණි වූ බැමිණි කුමරිය කෙරෙහි ඒ සාමණේරයන් පොළඹවයි. ඒ හේතුවෙන් හෙතෙම උකටලී වූයේ උපාධ්‍යයන් වහන්සේ වෙත එළඹ, “මම උපැවිදි වෙමි, සිවුරු හරිමි. මට අවසර දුන මැනවැයි කීහ. උපාධ්‍යායන් වහන්සේ ඔවුන්ගේ හේතු වාසනා දැක මෙසේ කීය. සාමණෙරය! මාසයක් බලාපොරොත්තු වෙව, ඒ හෙරණ තෙම මැනවැයි පිළිගෙන සිටියේය. මාසය ඉක්මගිය කල්හි නැවත එසේම කීය. උපාධ්‍යයයන් වහන්සේ තව අඩ මසක් බලාපොරොත්තු වේව යි කීය. අඩමස ඉකුත් වූ කල්හි එසේම තව සතියක් ඉවසන්නැයි කීහ. සාමණේරයෝ එය මැනැවැයි පිළිගත්තේය. ඉක්බිති සති අන්තයේ සාමණේරයන්ගේ මාමණ්ඩියගේ ගෙය, නටුවාවු වහළ ඇත්තේ, දිරුණු දුබල බිත්ති සුළගින් හා වැස්සෙන් කඩා වැටුණේය. එහි බ්‍රාහ්මණයා ද, බ්‍රාහ්මණිය ද පුතුන් දෙදෙනා ද, දියණිය ද කඩා වැටුණු ගෙට යට වී මරණයට පත්වූහ. ඔවුන් අතුරෙන් බමුණා සහ බැමිණිය ප්‍රේත යෝනියෙහි උපත ලදහ. පුතුන් දෙදෙනා ද දියණිය ද භූමාටු දෙවියන්ව උපන්හ. ඔවුනතුරෙන් වැඩිමල් පුතුට හස්ති යානාවක් උපත කණිටු පුතුට අස් වෙළඹුන් යෙදූ රථයක් ද, දියණියට රන්සිවි ගෙයක් ද, පහළවුහ. බමුණා හා බැමිණි මහත් මහත් යකඩ පොලු ගෙන ඔවුනොවුන් කොටාගනිත්. පහර වැදුණු වැදුණු තැන්වල මහත් ගෙඩි හටගෙන මොහොතින් පැසී පැළෙත්, ඒ දෙදෙන ක්‍රෝධයෙන් මඩනා ලදුව එකිනෙකාගේ ගෙඩි පළා නිකරුණේ එරුෂ වචනයෙන් තර්ජනය කෙරෙමින් සැරව හා ලේ පානය කරමින් සතුටක් නො ලබති.
පසුව සාමණේරයන් කළකිරීමෙන් මැඩුනේ උපාධ්‍යයන් වෙත එළඹ ස්වාමීනි! මා විසින් පිළිණ දුන් දවස් ඉකුත් විය. මම ගෙදර යන්නෙමි අනුදැන වදාළ මැනවයි කීය. ඉක්බිති එසේ කී කල්හි උපාධ්‍යයන් වහන්සේ හිරු අවරට ගිය කල්හි කළුවර පක්ෂයෙහි තුදුස්වක් දින (මාසෙපෝය දවස්වල) පවත්නා කල්හි, සාමණේරයන් ද කැඳවාගෙන, ඉසිපතනාරාමයේ පිටිපසින් ටික දුරක් ගොස් සාමණේරයන් සමගම සිටියහ. එවේලෙහි ඒ දේව පුත්‍රයන් දෙදෙනා සමගින් නැගණිය ද දේව සමාගමට බුහුමන් පිණිස යති. ඔවුන්ගේ දෙමව්පියෝ පොලු ඔසවා ගෙන, අතිශය ඵරුස වචන කියමින්, කළු පැහැ සිරුරින් යුතුව, අවුල්වැ ගිය කෙහෙ සහ රැවුල් ඇතිව, දැවුණු තල් කඳන් සමානව, වැගුරුණු ලේ සැරව ඇතිව, ඉතා පිළිකුල්ව, (ඉහත කී දෙවිවරුන්) ලුහුබැඳ යත්.