12. උරග ප්‍රේතවස්තු වර්ණනාව
“උරගො ව තචං ජිණ්ණං” ආදී ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවනාරාමයෙහි වාසය කරන කල්හි එක්තරා උපාසකයකු අරභයා දේශනා කරන ලදී. සැවැත්නුවර එක්තරා උපාසකයකුගේ පුතෙක් කාලක්‍රියා කළේය. හේ පුතාගේ මරණය හේතුවෙන් හැඬීම් වැළපීම් වශයෙන් ශෝකයට පැමිණියේ, පිටත ගොස් කිසිදු කර්මාන්තයක් නො කරන්නේ ගෙයිම සිටියේය. ශාස්තෲන් වහන්සේ අළුයම් කාලයෙහි මහා කරුණා සමාපත්තියෙන් නැගී සිට ලෝකය දෙස බලන්නේ ඒ උපාසකයා දැක පෙරවරු කාලයෙහි පා සිවුරු ගෙන ඔහුගේ ගෙදරට ගොස් දොරකඩ සිටියේය. උපාසක තෙමේ ශාස්තෲන් වහන්සේ වැඩම වූ බව අසා වහා නැගිට ගොස් පෙරගමන් කොට අතින් පා සිවුරු ගෙන ගෙට වැඩමවා ආසනයක් පනවා දුන්නේය. පනවන ලද ආසනයෙහි බුදුන් වහන්සේ අසුන්ගත් පසුව උපාසකයා භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පස්ව හුන්නේය. එවිට භාග්‍යවතුන් වහන්සේ, ඇයිද උපාසකය ශෝකයෙන් පිඩිත වී වාගේ පෙනේ යයි කීහ. එසේය ස්වාමීනි! මාගේ ප්‍රිය මනාප වූ පුතා කළුරිය කළේය. ඒ ශෝකයෙන් පීඩිත වී සිටිමියි උපාසකයා කීහ. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ ශෝකය දුරුකරමින් උරග ජාතකය වදාළහ.
ඈත අතීතයෙහි කසීරට බරණැස් නුවර ධර්මපාල නම් බමුණු පවුලක් විය. එහි බ්‍රාහ්මණයා හා බැමිණිය ද, පුත්‍රයා දුවණිය ද, ලේලිය හා දාසිය ද යන මේ සියල්ලෝ මරණානුස්මෘති භාවනාවෙහි ඇලුණේ වූහ. ඔවුන් අතුරෙන් යම් කෙනෙක් ගෙයින් පිටත යේ ද එතෙම සෙසු අයට අවවාද කොට ආලය නැතුවම නික්ම යයි. එකල්හි එක් දවසක් බ්‍රාහ්මණයා පුත්‍රයා සමග ගෙදරින් පිටත්ව කුඹුරට ගොස් සී සෑම කරයි. පුත්‍රයා වියලි තණකොළ ගිනි දල්වමින් සිටියේය. එතැන්හි ගසක සිටි නාගයෙක් දැවිල්ල නිසා ඇති වූ බියෙන් රුක් සිදුරෙන් නික්ම විත් මේ බ්‍රාහ්මණ පුත්‍රයා දෂ්ට කළේය. ඒ බමුණු කුමරා විෂ වේගයෙන් මුසපත්ව එතැනම වැටී කළුරිය කළේය. ඔහු ශක්‍ර දිව්‍ය රාජයා වී දෙව්ලොව උපන්නේය. බ්‍රාහ්මණයා පුතා මළ බැව් දැන, කුඹුර සමීපයෙන් යන මිනිසෙකුට කථාකොට මෙසේ කීය. යහළුව! මගේ ගෙදරට ගොස් බැමිණියට මෙසේ කියව ස්නානය කොට, පිරිසිදු ඇදුම් ඇඳ එකෙකුට බත් හා මල් මාලා සුවඳ ආදිය ගෙන එන්නැයි” කියව ඒ මගියා ද එහි ගොස් බැමිණියට එසේ කීයේය. ගෙදර පවුලේ උදවිය ද එසේ කළේය. බ්‍රාහ්මණයා දිය නා බත් කා, සුවඳ ගල්වා පිරිවර ජනයා විසින් පිරිවරන ලදුව පුතණුවන්ගේ මළ සිරුර දර සෑයට නංවා ගිනි දල්වා දර කඩක් දවන්නාක් මෙන්, ශෝක නැතිව සන්තාපයක් නැතිව අනිත්‍යය යන හැඟීම මෙනෙහි කරමින් සිටියේය.
එකල්හි (මියගිය) බ්‍රාහ්මණ පුත්‍රයා ශක්‍රයා වී උපන හෙතෙම අපගේ බෝධිසත්ත්වයන් විය. හෙතෙම තමන් විසින් පෙර ආත්ම භාවයෙහි කරන ලද පින් කවරේදැයි නුවණින් සිතා බලන්නේ, පියාට ද නෑයන්ට ද අනුකම්පා කොට බමුණකුගේ ස්වරූපයෙන් ඒ චිතකස්ථානයට ගොස් ශෝක නොකරන නෑයින් දැක, පින්වත්නි ඔබලා “මුවෙක් දවන්නේ ද” මම ද බඩගිනි ඇත්තෙක්මි මට ද මස් ටිකක් දෙන්න යයි කීය. බමුණ මේ මුවෙක් නොවේ, මනුෂ්‍යයෙකියි බ්‍රාහ්මණයා කීය. කිමෙක් ද මේ දවන තැනැත්තා ඔබලාගේ සතුරෙක් ද? නැත, සතුරෙක් නොවේ. අපගේ එකම ඖරස පුත්‍රයා වූ මහා ගුණවත් තරුණ පුතා යයි කීය. එබඳු ගුණවත් එකම තරුණ පුතා මළ කල්හි නුඹලා කුමක් නිසා ශෝක නො කරව් දැයි විචාළේය. එය අසා බ්‍රාහ්මණයා ශෝක නො කිරීමට කරුණු කියමින්
86. සර්පයා දිරුණා වූ තම සම (හැව) සිරුරෙන් හැර දමා යන්නේ ද? එපරිද්දෙන් ශරීරය නිරර්ථක වූ කල්හි, පහවූ කල්හි කළුරිය කළ කල්හි
87. දවන්නාවූ මළ සිරුර නෑයින්ගේ හැඬීම නො දනී. එහෙයින් මේ දරුවා නිමිති කොට නො හඬමි. හෙතෙම ඔහුගේ යම් ගමනක් කැමති වී ද? (කර්මානුරූපව) එයට පැමිණියේය
යන ගාථා දෙක කීය.
එහි උරගො - බඩ ගා ගෙන යන්නේ නුයි උරග නම්, මේ සර්පයා යන වචනය තචං ජිණ්ණං - යනු ජරා බවට පැමිණි, දිරීම් බවට පැමිණි පරණ වූ තමාගේ භාවය. හිත්‍වා ගච්ඡති සං තනු - යම්සේ සර්පයා තමන්ගේ දිරාගිය සම දුක් උපදවන්නේ, රුක් අතරෙහි හෝ දර දඬු අතරෙහි හෝ, මුල් අතරෙහි හෝ, ගල් අතරෙහි හෝ, සැට්ටයක් ගලවා දමන්නාක් මෙන්, ශරීරයෙන් මුදා හැර, ඉවත දමා කැමති පරිද්දෙකින් යයි. මෙසේ මෙම සංසාරයෙහි සැරිසරන සත්ත්වයෝ, තමාගේ පැරණි කර්මයන් ගෙවී ගිය කල්හි ජරාවට පත්වූ තමාගේ සිරුර හැර යයි. කර්මානුරූපව ගමන් කරයි. පුනර්භව වශයෙන් උපදී යන අර්ථයි. එවං යනු දවනු ලබන්නා වූ පුතාගේ ශරිරය දක්වමින් කීහ. සරීරෙ නිබ්භොගෙ - මොහුගේ මෙන්ම අන්‍යයන්ගේ ද ශරිරයන් ද අයිතියක් නැති ව නිරර්ථක වූ කල්හි පෙතෙ- ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය, යන මේ තුන ශරීරයෙන් පහව ගිය කල්හි, කාලක තෙ සති මළ කල්හි, තස්මා යම් හෙයකින් දවන්නා වූ ශරීරයෙහි විඤ්ඤාණය පහව ගිය බැවින් දැවීමේ දුකක් හෝ, ප්‍රිය ඤාතීන් නැසීමක් වැළපීමක් හෝ නො දනියි. එහෙයින් මගේ පුත්‍රයා අරමුණු කොට නො හඬමි. ගතො සො තස්ස යා ගති යම් හෙයකින් කළුරිය කල පුද්ගලයා කරන ලද කර්මයන්ගේ අවකාශය පරිදි යම් ගතියක් යම් ගමනක් කැමති වී ද? චුති චිත්තයටම අනතුරුව එහි ගියේය. පෙර ඤාතීන්ගේ හැඬීමක් වැළපීමක් පසුතැවිල්ලක් හෝ නො දනී. පූර්ව ඤාතීන් බොහෝසෙයින් හැඬිමෙන් වැළපීමෙන් කවර අර්ථ සිද්ධියක් වේ ද යන අදහසයි.
මෙසේ බමුණා විසින් තමන්ගේ සිහි නුවණින් කල්පනා කිරීමේ දක්ෂතාව ප්‍රකාශ කළ කල්හි, බමුණු වෙස් ගත් ශක්‍රයා බැමිණියගෙන් මෙසේ ඇසීය. මෑණියනි ඒ මළ තැනැත්තා නුඹගේ කවරෙක් ද? දසමසක් කුසෙහි හොවා පරිහරණය කොට (ප්‍රසූතකොට) කිරි පොවා අත් පා හදා ලොකු මහත් කරන ලද මගේ පුතා යයි කීවාය. යම්කිසි හෙයින් පියා පුරුෂභාවයෙන් නො හඬනා වියහැකියි මවගේ හදවත මෘදුය. උණුවෙන සුළුය. කවර හෙයින් ඔබ නො හඬන්නි ද? එය අසා තමන් නො හඬනා කාරණ කියන්නී,