8. ගෝණ ප්‍රේතවස්තු වර්ණනාව
“කින්නු උම්මත්තරූපො වා” මේ ආදී ධර්මදේශනාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන්නේ, පියා මළා වූ එක්තරා කෙළෙඹි පුත්‍රයකු අරබයා වදාළ සේක. සැවැත් නුවර එක්තරා කෙළෙඹියකුගේ පියා කළුරිය කළේය. හෙතෙම පියාගේ මරණය නිසා ශෝකයෙන් තැවෙන සිත් ඇතිව විලාප කියමින් හඬමින් උමතු වුවකු මෙන් ඇවිදිමින් යම් යම් කෙනෙක් දකී ද? ඒ ඒ අයගෙන් “කිමෙක් ද මගේ පියා දුටු වේ දැයි” අසයි. ඒ කෙළඹියාගේ ශෝකය දුරුකරන්නට කිසිවෙකුට නොහැකි විය. ඒ කෙළඹියාගේ හෘදයෙහි කළයක් තුළ දැණු පහනක් මෙන් සෝවාන් ඵලයට හේතු සම්පත් දැල්වෙයි.
ශාස්තෲ වූ බුදුරජාණන් වහන්සේ අළුයම් කාලයෙහි ලොව බලා වදාරන්නේ ඔහුගේ සෝවාන් ඵල ලැබීමට ඇති හේතු සම්පත් දැක, මොහුට අතීත කාරණය පැහැදිලි කොට ශෝකය නිවා, සෝවාන් ඵලය ලබා දීමට වටනේය යයි සිතා දෙවන දවසේ බතින් පසුව පිණ්ඩපාතයෙන් වැළකුනේ දෙවැනි ශ්‍රමණයෙකු ද සමග ඔහුගේ ගෙදොර වෙත වැඩි සේක. හෙතෙම ශාස්තෲන් වහන්සේ පැනවූ අසුනෙහි වැඩහුන් කල්හි තෙමේම භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව සිටිමින්, කිමෙක් ද ස්වාමීනි! මගේ පියා ගියතැන නුඹ වහන්සේ දන්නේ දැයි ඇසීය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ කිමෙක් ද උපාසකය! නුඹ මේ අත්බැව්හී පියා විචාරන්නේ ද? නැතිනම් අතීතභවයේ පියා විචාරන්නේ දැයි ඇසීය. ඒ කෙළඹියා ඒ වචනය අසා “මට පියවරු බොහෝ වෙත්ල”යි සිතා තුනී වූ ශෝක ඇතිව, ස්වල්පයක් මැදිහත් බවට පැමිණියේය. එකල්හි ශාස්තෲන් වහන්සේ ඔහුගේ ශෝකය දුරු කිරිම පිණිස, ධාර්මික කතාවක් කොට, පහ වූ ශෝක ඇතිව සිත මෘදු වූ බව දැන, සිව්සස් ඇතුළත් වූ සාමුක්කංසික ධර්ම දේශනාවෙන් සෝවාන් ඵලයෙහි පිහිටුවා විහාරයට වැඩම කළ සේක.
ඉක්බිතිව භික්ෂුන් වහන්සේලා ධර්ම සභාවට රැස්ව “ඇවැත්නි බුද්ධානුභාවය බලනු මැනවි. (පියා මළ) ශෝකයෙන් පීඩිත වූ, අතිශයින් ශෝක කළා වූ උපාසකයා, භාග්‍යවතුන් වහන්සේ ඇසිල්ලකින් සෝවාන් ඵලයෙහි පිහිටුවන ලද්දේ යයි කථාව ඉපිද වූහ. ශාස්තෲන් වහන්සේ එහි වැඩමවා පනවන ලද උතුම් ධර්මාසනයෙහි වැඩ හිඳ මහණෙනි! දැන් කවර කථාවකින් යුක්තව තෙපි උන්නාහු දැයි විචාළ කල්හි භික්ෂූහු එපවත් බුදුන්ට සැළකළාහුය. එකල බුදුරජාණන් වහන්සේ වදාරණ සේක් “මහණෙනි! මා විසින් මොහුගේ ශෝකය පහකරන ලද්දේ දැන් පමණක් නොවේ. අතීතයේ ද ශෝකය පහකරන ලද්දේම යයි” වදාරා ඒ භික්ෂූන් විසින් අයදින ලදුව අතීත කථාව ගෙනහැර දක්වා වදාළ සේක.
යටගිය දවස බරණැස් නුවර එක්තරා ගෘහපතියකුගේ පියා කළුරිය කලේය. හෙතෙම පියාගේ මරණයෙන් ශෝකයට හා විලාප කීමට පැමිණියේ කඳුළු පිරි මුහුණින් යුතුව ළෙහි අත් ගසා හඬමින් ඔහුගේ චිතකය ප්‍රදක්ෂිණා කරයි. එවිට ඔහුගේ පුත්‍ර වූ නුවණැති වූ ව්‍යක්ත වූ, බුද්ධි සම්පන්න වූ, සුජාත නම් වූ, දරුවා පියාණන්ගේ ශෝකය පහකිරිමට සිතමින්, එක්දවසක් නගරයෙන් පිටත මළ ගොනෙකු දැක තණ කොළ ද, වතුර ද ගෙන වුත් ඒ (මළ) ගොනුගේ ඉදිරියේ තබා, ටික ටික දෙමින් ජීවත්ව සිටින කෙනකුට මෙන් කාපිය කාපිය බීපිය බීපිය ආදිය කියමින් අණ කරමින් සිටියේය. එතැනට පැමිණි පැමිණි අය ඒ ක්‍රියාව දැක යහළු සුජාතය නුඹ මියගිය ගොනකුට තණකොළ හා දිය ගෙනවුත් දෙන්නේ නුඹ පිස්සෙක් වූයේ ද? යනුවෙන් කියත්. හෙතෙම කිසිත් නොකියයි. මිනිස්සු ඔහුගේ පියා හමුවට ගොස්, “නුඹේ පුතා උමතු වූයේද මළ ගොනෙකුට තණ හා වතුර දේ යයි කීහ. ඒ අසා කෙළඹියාට තම පියා අරමුණු කොට තිබු ශෝකය පහව ගියේය මාගේ පුත්‍රයා උමතු වූයේය යන ශෝකයෙන් තැවුණු සිතින් වේගයෙන් පුතා වෙත ගොස් “සුජාතය, නුඹ ඤාණවන්ත, ව්‍යක්ත, බුද්ධි සම්පන්න කෙනෙක් නොවේ ද? කුමක් හෙයින් මේ මියගිය ගොනාට තණ හා වතුර දෙන්නෙහි ද? චෝදනා කරමින්,