7. සත්තපුත්‍රඛාදක ප්‍රේතවස්තු වර්ණනාව
“නග්ගා දුබ්බණ්ණ රූපා - ආදී වූ මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර වැඩ වසන කල්හි දරු සත්දෙනෙකුන් කන ප්‍රේතියක් අරභයා දෙසු සේක.
සැවැත් නුවර සමීපයේ එක්තරා ගමක උපාසකයකු හට පුත්තු දෙදෙනෙක් වූහ. ඔව්හු ප්‍රථම වයසෙහි සිටියාහු රූප සම්පත්තියෙන් සමෘද්ධ වූ, ශීලාචාර ගුණසම්පන්නයෝ වූහ. ඒ පුතුන්ගේ මව් මම පුත්‍රයන් ඇත්තියක් වෙමියි, පුත්‍රයාගේ මහන්තත්වය හිතට ගෙන (අහංකාර උපදවා) ස්වාමි පුත්‍රයාට අවමන් කෙරෙයි. (මෙසේ) බිරිඳ විසින් අවමන් කරන ලද ඒ පුරුෂයා කලකිරුණු සිතින් අනෙක් ස්ත්‍රීයක් ගෙන ආයේය. ඕ තොමෝ ටික කලකින් ගර්භනී වූවාය. එකල්හි ජ්‍යෙෂ්ඨ භාර්යාව (පළමු බිරින්ද) ඊර්ෂ්‍යාවෙන් මඩනා ලදුව එක්තරා වෙදෙකුට මුදල් දී ඔහු ලවා ඇගේ තෙමස් වූ දරුගැබ හෙළීය. එවිට ඇගේ ඤාතීන් විසින් ද ස්වාමියා විසින් ද “තී විසින් මෑගේ දරුගැබ හෙළවන” ලද්දේ දැයි විචාරණ ලද්දාහු තමන් විසින් ගැබ් හෙලීම නොකෙරෙව්වෙමියි බොරු කියා එය නො අදහන්නා වූ ඔවුන් විසින් “දිව්රුම් කරව”යි කියන ලදුව උදේ හා සවස දරුවන් සත් සත් දෙනා බැගින් වදා දරු මස් කන්නියක් වෙමියි ද, නිතර දුගඳව නිල මැස්සන්ගෙන් පිරිවරන ලද තැනැත්තියක් වන්නෙමි යයි කියා දිවුළාය.
මෝ තොමෝ මෑත කාලයක කළුරිය කොට, ගැබ හෙළීමේ හා බොරු කීමේ විපාක වසයෙන් ප්‍රේත යෝනියෙහි ඉපදී කියන ලද ක්‍රමයෙන්ම දරුමස් කමින්, එම ගමට සමීප තන්හි හැසිරෙයි. එසමයෙහි බොහෝ තෙරුන් වහන්සේලා ගම් පෙදෙසක වස් වැස වස් පවරා බුදුන් වහන්සේ දක්වා පිණිස සැවැත් නුවරට එන්නාහු ගමට නුදුරු එක් තැනක රාත්‍රියෙහි නවාතැන් ගත්හ. එකල්හි ඒ ප්‍රේතිය තෙරුන් වහන්සේලාට තමන් දැක්වීය.
36. නග්නව විරූප වූ බියකරු රූපයෙන් යුතුව, දුගඳ වූ කුණු ගඳ හමන්නා වූ හාත්පස නිල මැස්සන්ගෙන් පිරිවරන ලදුව, මෙහි සිටින තී කවරී දැයි විචාළේය.
තෙරුන් විසින් එසේ විමසන ලදුව, ප්‍රේතිය ගාථා තුනකින් උත්තර දුන්නාය.
37. ස්වාමීනි! මම යම ලොව යයි කියන ලද නම් ඇති, ප්‍රේත ලෝකයෙහි උපන්නාවූ දුකට පත් වූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට, මිනිස් ලොවින් (චුතව) ඉපදීම් වශයෙන් ප්‍රේතලෝකයට පැමිණියේ වෙමි.
38. උදය කාලයේ පුතුන් සත් දෙනෙකු ද, සවස් කාලයේ පුතුන් සත් දෙනකු ද, වදමි එසේ වැදූ දරුවන් මමම කමි. මේ තුදුස් දෙනාම නමුදු මගේ කුසගින්නට ප්‍රමාණවත් නොවේ. (බඩ නො පිරේ)
39. බඩගින්නෙන් (පෙළෙන්නා වූ) මගේ හෘදය හාත්පස දැවෙයි. දුම් නගින්නේ වෙයි. අධික රෂ්ණය සහිත අව්ව ඇති කල්හි, ගින්නෙන් දැවුණු තැනැත්තියක මෙන් සා පිපාසා දුක සන්සිඳීමකට නො පැමිණෙමි.
මෙහි නිබ්බුතන්ති - සා පිපා සා දුක නැති කිරිමට, නාධිගච්ඡාමි, ඉඩක් නො ලබමි, අග්ගිදඩ්ඩාව ආපතෙ - යනු අධික උෂ්ණ වූ අව්ව ඇති කල්හි ගින්නෙන් දැවෙන්නියක මෙන් නිවීමකට නොපැමිණියේ වෙමි යන යෙදිමය.
ඒ අසා මහ තෙරුන් වහන්සේ ඇය විසින් කරන ලද පාප කර්මය විමසන්නේ මේ ගාථාව කීහ.
40. තිගේ කායද්වාරයෙන් වාග්ද්වාරයෙන් කිනම් දුශ්චරිතයක් කරන ලද්දේ ද? කවර අකුශල කර්මයක විපාකයෙන් දරුමස් කන්නේ ද?
එයට පිළිතුරු දෙමින් ප්‍රේතිය මේ ගාථා කීවාය.
41. සමෘද්ධ වූ යොවුන් වයස් ඇති පුත්තු දෙදෙනෙක් මට වූහ. ඒ පුතුන්ගේ බලයෙන් යුක්ත වූ (ඉදිමුණු) මම මගේ ස්වාමි පුත්‍රයා අතික්‍රමණය කොට විසුවෙමි.
42. ඒ හේතුවෙන් මගේ සැමියා මා කෙරෙහි කිපුණේ සෙවෙතක්, අන් ස්ත්‍රියක ගෙන ආවේය. ඕ තොමෝ දරු ගැබක් ලැබීය. ඈ කෙරෙහි පාප කර්මයක් සිතුවෙමි.
43. ඒ මම දූෂිත වූ සිතින් ඇගේ ගැබ හෙළීම කළෙමි. ඇගේ තෙමස් වූ ගැබ කුණු ලේ වී වැටුණේය.
44. එවිට ඇගේ මව කිපී ඤාතීන් රැස් කරවීය. රැස්වී මා ලවා දිවුරවීය. බියෙන් තැතිගත් මා දරුණුම දිව්රීමෙන් දිවිරූවෙමි.
45. ඒ මම දරණුම දිවුරුමින් දිව්රා බොරු බස් කීම් මා විසින් ඒ දරු ගැබ හෙලන ලද්දෙන් දරුමස් කමි.
46. ඒ ගැබ හෙළීමේ කර්මය ද, මුසාවාද කර්මය ද යන උභය කර්මයන් හේතුවෙන් දරුමස් කමි. පුයාවෙන් හා ලෙයින් වැඩුණු සිරුරු ඇත්තියක් වීමි.
එහි පුත්ත බලු පෙතා - දරුවන්ගේ බලයෙන් යුක්ත වූ, දරුවන්ගේ වසයෙන් ලද බලය. අතිමඤ්ඤිසං - ඉක්මවා සිතුවෙමි. මැඩ පවත්වා සිතුවෙමි. පූති ලොහිතකො පති- කුණු ලේ සහිතව ගැබ වැටුනේය. සෙසු සියල්ල යටගිය කථාව මෙනි. එහි තෙරුන් අට දෙනෙකි. මෙහි බොහෝ තෙරණුවෝ වෙති. එහි පුතුන් පස් දෙනෙකි. එය පමණක් වෙනස් වේ.
මෙසේ ඒ ප්‍රේති තොමෝ තමාගේ කර්මය පවසා නැවත මහ තෙරුන්ට මෙසේ කීවාය.
ස්වාමීනි! මම මෙම ගමෙහි අසවල් ගෘහපතියාගේ භාර්යාව වී ඊර්ෂ්‍යාවෙන් වැඩී පව්කම් කොට මෙසේ ප්‍රේත යෝනියෙහි උපන්මි. වහන්ස කරුණා පෙරදැරිව ඒ ගෘහපතියාගේ ගෙට වඩිනු මැනැව. ඔහු ඔබ වහන්සේලාට දන් දෙන්නේය. ඒ දක්ෂිණාවේ පින් මා කෙරෙහි උදෙසා වදාළ මැනව. මේ ප්‍රේත ලොවින් මිදෙන්නෙමියි කීවාය.
තෙරුන් වහන්සේ එය අසා අනුකම්පා පෙරදැරිව ඈ ප්‍රේත දුකින් මුදවන ස්වභාවයෙහි පිහිටා ඒ ගෘහපතියාගේ නිවසට පිඬු පිණිස වැඩම කළහ. ගෘහපතියා ද තෙරුවන් වහන්සේ දැක හටගත් පැහැදීමෙන් යුක්තව පෙරගමන් කොට වඩමවා තෙරුන් වහන්සේලා අසුන්හි වඩා හිඳුවා ප්රණිත වූ බොජුන් වළඳවන්නට පටන් ගත්තේය. තෙරුන් වහන්සේලා ඒ කථා ප්‍රවෘත්තිය ගෘහපතියාට කියා ඒ දානය එම ප්‍රේතියට උදෙසෙව්වාහ. එකෙණෙහිම එම ප්‍රේතිය දුකින් මිදී මහත් සම්පත් ලබා කෙළඹියා හට තමා දැක්වීය. නැවත තෙරුන් වහන්සේලා පිළිවෙලින් සැවැත් නුවරට වැඩමවා ඒ පුවත බුදුරජාණන් වහන්සේට සැළකළාහුය. භාග්‍යවතුන් වහන්සේ එය අර්ථෝත්පත්ති කොට ගෙන පැමිණි පිරිසට ධර්මය දේශනා කළ වදාළහ. දේශනාව මහා ජනයාට ප්‍රයෝජනවත් විය.
පුතුන් සත්දෙනා බැගින් කෑ ප්‍රේතියගේ කථා වස්තුව නිමියේය.
8. ගෝණ ප්‍රේතවස්තු වර්ණනාව
“කින්නු උම්මත්තරූපො වා” මේ ආදී ධර්මදේශනාව ශාස්තෲන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වාසය කරන්නේ, පියා මළා වූ එක්තරා කෙළෙඹි පුත්‍රයකු අරබයා වදාළ සේක. සැවැත් නුවර එක්තරා කෙළෙඹියකුගේ පියා කළුරිය කළේය. හෙතෙම පියාගේ මරණය නිසා ශෝකයෙන් තැවෙන සිත් ඇතිව විලාප කියමින් හඬමින් උමතු වුවකු මෙන් ඇවිදිමින් යම් යම් කෙනෙක් දකී ද? ඒ ඒ අයගෙන් “කිමෙක් ද මගේ පියා දුටු වේ දැයි” අසයි. ඒ කෙළඹියාගේ ශෝකය දුරුකරන්නට කිසිවෙකුට නොහැකි විය. ඒ කෙළඹියාගේ හෘදයෙහි කළයක් තුළ දැණු පහනක් මෙන් සෝවාන් ඵලයට හේතු සම්පත් දැල්වෙයි.