6. පඤ්චපුත්‍රඛාදක ප්‍රේතවස්තු වර්ණනාව
“නග්ගා දුබ්බණ්ණ රූපා” ආදී වූ මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ සැවැත් නුවර ඇසුරු කරමින් වැඩ වසන කල්හි පුතුන් පස්දෙනෙකු කන ප්‍රේතියක් අරබයා වදාළ සේක.
සැවැත් නුවරට නුදුරු සමීප ගමක එක් ගෘහපතියකුගේ බිරිද වඳ වූවාය. ඔහුට නැදෑයෝ මෙසේ කීහු. ඔබගේ බිරිඳ වඳය. අනෙක් කාන්තාවක් කැඳවාගෙන එමු. ඒ ගෘහපතියා තම බිරිඳට ඇති ස්නේහය නිසා එයට කැමති නොවීය. ඉක්බිතිව ඒ බිරිඳ මේ කතාබහ අසා ස්වාමීයාට මෙසේ කීය. ස්වාමීනි! මම වඳ වූයෙමි. නුඹ වෙනත් කන්‍යාවක් කැඳවා ගෙන අවුත් නුඹ වහන්සේගේ කුලවංශය ගෙන යා යුතුය. හෙතෙම ඇගේ පෙළඹවීම උඩ අනෙක් බිරිඳක් ගෙන ආවේ ය. ඕ තොමෝ මෑත කලෙකින් ගැබිනියක් වූවාය. වඳ ස්ත්‍රිය මෝ තොමෝ පුතෙක් ලබා මේ ගෙදර ඉසුරු වන්නේය. (බල පුළුවන්කාරිය) යයි සිතා ඊර්ෂ්‍යාවෙන් මඩනා ලදුව ඇගේ දරු ගැබ හෙලීමට උපායක් සොයන්නී, එක්තරා පරිබ්‍රාජිකාවක් ආහාර පානාදියෙන් සතප්වා ඈ ලවා දරුගැබ වැටෙන බෙහෙත් දෙවීය. ඈ දරු ගැබ වැටුණු කල්හි තමාගේ මවට කීවාය. මව් තොමෝ තමන්ගේ නෑයින් කැඳවා මේ කරුණු කීවාය. ඔව්හු, වඳ ස්ත්‍රියගෙන් තී විසින් මේ තැනැත්තියගේ දරු ගැබ හෙළන ලද්දේනේ දැයි විචාළහ. එවිට මම දරුගැබ නොහෙළුවෙමියි ඈ කීවාය. ඉදින් තී විසින් දරුගැබ නො හෙළන ලද්දේ නම් දිවිරීමක් කරවයි ඔව්හු කීහ. එවිට වඳ ස්ත්‍රිය “ඉදින් මා විසින් දරු ගැබ හෙළන ලද්දේ නම් දුගති පරායණව සා පිපාසා දෙකින් යුතුව සවස් කාලයේ ද උදය කාලයේ ද දරුවන් පස් පස් දෙනා බැගින් වදා, ඒ වැදූ දරුවන් තෙමේම කා සෑහීමකට නොපැමිණෙන්නෙමියි, නිතර දුර්ගන්ධ වූ නිලමැස්සන්ගෙන් ගැවසී ගන්නා වූ ශරීර ඇත්තියක් ද වන්නේ මැයි” බොරු කියා දිවිරීමක් කළාය. ඒ ගැහැණි තොමෝ නොබෝ කලකින්ම කළුරිය කොට එම ගමට සමීපයේම දුර්වර්ණ ස්වරූප ඇති ප්‍රේතියක්ව උපන්නීය.
එකල්හි එම ජනපදයෙහි වස් විසූ භික්ෂූන් අට නමක් බුදුන් දක්නා පිණිස සැවැත් නුවරට වඩින්නාහු එගමට නුදුරු තැනක සිහිල් සෙවණින් හා ජලයෙන් යුත් වනයක විසීමට පැමිණියහ. ඉක්බිති ඒ ප්‍රේතිය තෙරුන් වහන්සේලාට තමා දැක්වීය. ඒ තෙරුන් අතරින් සංඝ ස්ථවිරයන් වහන්සේ ඒ ප්‍රේතියගෙන් විචාරන්නාහු මේ ගාථාවෙන් විචාළේය.
27. නිර්වස්ත්‍ර වූ ඉතාම බියකරු රූපයෙන් යුතුය. ශරීරයෙන් කුණු ගඳ ගසමින් හාත්පසින් නිලමැස්සන් ගැවසී ගත්තා වූ තී කවුද? කිනම් ඇත්තීද? කුමක් නිසා මෙතැන සිටින්නෙහිද?
එහි නග්ගා - වස්ත්‍ර රහිත, දුබ්බණ්ණරූපාසි - වීරූපී වූ අතිශයින් බිය උපදවන්නා වූ, රූපයෙන් සම්පුර්ණ වූවාය. දුග්ගන්‍ධො - ඉතා පිළිකුල් වූ ගඳ ඇත්තීය. පුති වායසි, ශරීරයෙන් කුණු ගඳ හමයි. මක්‍ඛිකා පරිතාණ්ණාවා නිලමැස්සන් විසින් හාත්පසින් පිරිවරා ගෙන ඇත. (නිල මැස්සෝ හාත්පස ගැවසී ගත්තේය) කානු ත්‍වං ඉධ තිට්ඨසී, මෙබඳු වූ රූප ඇති කවරෙක් නම් ඔබ මොබ හැසිරෙන්නේ ද යන අර්ථයි.
ඉක්බිති තෙරුන් විසින් විචාරන ලදුව, ඒ ප්‍රේතිය සත්ත්වයන්ගේ සන්තානයන්හි සංවේගය උපදවමින්, තමන්ගේ ආත්ම කථාව කීවාය.
28. ස්වාමීනි! මම යම ලෝකය නම් වූ ප්‍රේත ලෝකයෙහි උපන්නා වූ දුකට පැමිණියා වූ ප්‍රේතියක් වෙමි. පාප කර්මයක් කොට මිනිස් ලොවින් ප්‍රේත ලෝකයට පැමිණියා වෙමි.
29. උදය කාලයෙහි දරුවන් පස් දෙනෙක් ද, සවස් කාලයෙහි දරුවන් පස් දෙනෙක් ද වදමි. ඒ වැදූ දරුවන් මමම කමි. ඒ දරුවන් දස දෙනාම මගේ කුසගින්න නිවා ගැනීමට ප්‍රමාණවත් නොවේ.
30. මගේ හෘදය උදරාග්නියෙන් හාත්පස දැවෙයි. දුම් දාන්නේ වෙයි. (ඒ දැවිල්ල නිවාගැනීමට) පිය යුතු පැන් මට බීමට නො ලැබේ. විපතට පත් වූ මා දෙස බලනු මැනවියි
මේ ගාථාතුන කීවාය.
මෙහි භන්තෙ - ස්ථවිරයන් ගෞරවයෙන් ආමන්ත්‍රණය කිරීමයි. දුග්ගතා දුගතියට ගියාය. යමලොකිකා - යම ලොව යයි ලද නාමයෙන් ප්‍රේත ලෝකය කියයි. එහි එය යමලොවටම අන්තර්ගත හෙයින් මෙසේ කියන ලදී. ඉතො ගතා - මෙම මනුෂ්‍ය ලෝකයෙන් ප්‍රේත ලොවෙහි ඉපදීම් වශයෙන් උත්පත්ති වශයෙන් ගියාය.
කාලෙන - යනු රාත්‍රියේ අලුයම කාලයෙහි - මෙය භූම්‍යර්ථයෙහි කරණ වචනයි. පඤ්චපුත්තානි පුතුන් පස් දෙනෙක් ලිඞ්ග විපර්යාස වශයෙන් මෙසේ කියන ලදී. සායං පඤ්චපුත්තා පරෙ යනු සවස් කාලයෙහි නැවත තවත් පුතුන් පස්දෙනෙකු කමි යන යෙදීමයි. විජායිත්‍වා - දවස දවස පුතුන් දහය බැගින් වදා තෙපි නාහොන්ති මෙ අලං - මේ පුතුන් දසදෙනාම එක දවසක් මගේ කුසගින්න නිවා ගැනීමට ප්‍රමාණවත් නොවේ. දීර්ඝ කොට කීමෙන් කවර වැඩක්ද?
පරිඩය්හති ධූමායති ඛුදාය හදයං මමා - ඛඛ ගින්නෙන් කනු කැමති වීමෙන් පෙළෙන්නා වූ මගේ හෘද ප්‍රදේශය උදරාග්නියෙන් හාත්පස (තැවෙයි) දුම් දමයි. තැවෙයි. පානීය න ලභෙ පාතුං යනු පිපාසාවෙන් මඩනා ලදුව, තැන් තැන්වල හැසිරෙන්නේ බීමට පැන් නො ලබමි. පස්ස මං ඛ්‍යසනං ගතං ස්වාමීනි! ප්‍රේතෝත්පත්තියෙන් සාධාරණ වූ ද, අසාධාරණ වු ද, මෙබඳු දුකකට විපතකට පැමිණියා වූ මා දෙස (අනුකම්පාවෙන්) බලනු මැනැවි යනුවෙන් තමන් විදින්නා වු දුක ඒ ස්ථවිරයන්ට පැවසීය.