5. තිරොකුඩ්ඩ ප්‍රේතවස්තු වර්ණනාව
“තිරො කුඩ්ඩෙසු තිට්ඨන්ති” ආදී මෙම ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ රජගහ නුවර වැඩ වාසය කරමින් සිටිය දී, බොහෝ වූ ප්‍රේතයන් අරභයා දේශනා කළ සේක.
මේ එහි විස්තර කථාවයි. මෙයින් දෙයානූවන කල්පයෙහි කාසිපුර නම් නුවරක් විය. එහි ජයසේන නම් රජු රාජ්‍යය කරවීය. ඔහුගේ දේවිය සිරිමා නම් ඇගේ කුසෙහි “ඵුස්ස” නම් බෝසත්තුමා පිළිසිඳ ඉපදී, අනුපිළිවෙළින් සම්මා සම්බුද්ධත්වයට පත්විය. ජයසේන රජු, මගේ පුතා මහාභිනිෂ්ක්‍රමණයෙන් නික්මී, බුදු වුයේය. බුද්ධරත්නය මගේය. ධර්මරත්නය මගේය. සංඝ රත්නය මගේ යයි මමත්වය උපදවා සියලු කල්හි තමාම උපස්ථාන කරයි. අන්‍යයන්ට අවස්ථාවක් නොදෙයි
භාග්‍යවතුන් වහන්සේගේ බාල සහෝදර වූ, සුළු මවගේ පුතුන් තිදෙනා සිතූහ. බුදුවරයෝ නම් සියළු ලෝවැස්සන්ට හිතසුව පිණිසම උපදනාහුය. එක් අයෙකුගේම හිත සුව පිණිස නූපදී, අපගේ පියා අන්‍යයන්ට අවස්ථාවක් නොදෙයි. භාග්‍යවතුන් වහන්සේට හා සඞ්ඝයාට උපස්ථාන කරන්නට කෙසේ හෝ ඉඩ ප්‍රස්ථා ලබමියි, සිතූහ. ඒකාන්තයෙන් අපි කිසියම් උපායක් කරමුයි සිතු ඔවුහු, එක්තරා ප්‍රත්‍යන්ත ජනපදයක කැරැල්ලක් (කුපිත කිරිමක්) ඇති කළහ. ඉක්බිතිවැ රජතෙම ප්‍රත්‍යන්ත දේශය කුපිතවී යයි අසා, පුතුන් තිදෙනා එම කැරැල්ල මැඩ පැවැත්වීම සදහා, සන්සුන් කිරීම සදහා පිටත්කර යැවූහ. ඔවුන් ගොස් ජනපදය සන්සිඳුවා ආවහුය. රජතුමා තුටු වී ඔවුන්ට වරයක් දුන්නේය. යමක් කැමති නම් එය ගනුවයි කීය. ඔහු අපි භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කිරීමට කැමැත්තෙමු. (ඒ වරය අපට ලැබේවා) රජු එය හැර වෙනත් දෙයක් ගනුවයි කීහ. ඔව්හු අපට වෙනත් කිසිවක් එපා යයි කීහ. අනිත් දෙයකින් ප්‍රයෝජන නැතැයි කීහ. එසේ නම් “කාල සීමාවක් කොට ගණුවයි” කීහ. ඔව්හු සත් වසක් ඉල්ලූහ. රජු නුදුන්හ. මෙසේ සය වසක්, පස්වසක්, සතර වසක්, තුන් වසක්, දෙවසක්, වසක්, සත් මසක්, සය මසක්, පස් මසක්, සිව්මසක්, තුන් මසක් ඉල්ලූහ. එකල්හි රජු ගණුවයි දුන්නේය.
ඔහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මෙසේ කීහ. අපි භාග්‍යවතුන් වහන්සේට තුන් මසක් උපස්ථාන කිරීමට කැමැත්තෙමු. භාග්‍යවතුන් වහසේ ඉවසාවා! ස්වාමීන් මේ තෙමස වස් වසවයි ඉල්ලූහ. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් එය ඉවසීය. පිළිගත්හ. ඒ තිදෙන තමාගේ ජනපදයන්හි නියුතු පිරිසට ලිපියක් යැවූහ. මේ තෙමස අප විසින් භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළ යුතුය. භාග්‍යවතුන් වහන්සේ විහාර ආරාමාදිය කොට සියලු උපස්ථාන කිරීමට අවශ්‍ය දේ සම්පදනය කරව” ඔහු සියල්ල සකසා පිළිතුරු එවීය. ඔව්හු කසාවත් වස්ත්‍ර හැඳ වතාවත් කරන්නා වූ දහස සමග භාග්‍යවතුන් වහන්සේ හා මහා සඞ්ඝයාට උපස්ථාන කරමින්, ජනපදයට වැඩමවා විහාරය පවරා වස් වැස්සවූහ.
ඔවුන්ගේ භාණ්ඩාගාරික වූ එක් ගෘහපති පුත්‍රයෙක් බිරිඳ සමගම තුනුරුවන් කෙරෙහි පැහැදී ශ්‍රද්ධා සම්පන්න විය. හෙතෙම බුදුන් මුල් කොට ඇති මහා භික්ෂු සංඝයාට සකස් කොට දාන වස්තුව දුන්නේය. ජනපදයෙහි නියුක්ත පුරුෂයා හෙවත් ජනපදාධිපතියා ජනපදයෙහි එකොළොස් දහසක් පමණ මිනිසුන් සමග සකස් කොට දාන වස්තුව යැවීය. ඔවුන් අතුරෙන් සමහර ජනපද වැස්සෝ ශ්‍රද්ධා නැත්තෝ වූහ. ඒ සැදැහැ නැති අය දාන වස්තුවට අන්තරාය කොට දාන වස්තුව තුමූම කෑහ. දන් සැලද ගිනිලූහ. පිරිවර සහිත වූ ඒ රාජ පුත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේට සත්කාර කොට, භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට පිය රජු සමීපයට නැවත ගියහ. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ පිරිනිවන් පෑ සේක. රාජ පුත්‍රයෝ ද, ජනපදයෙහි නියුක්ත පුරුෂයෝ ද, භාණ්ඩාගාරික ද, පිළිවෙලින් කළුරිය කොට පිරිස සමග දෙව්ලොව උපන්හ. සැදැහැසිත් නැති (දන්කෑ) ජනයෝ නිරයෙහි උපන්හ. මෙසේ දෙපිරිස ස්වර්ගයෙන් ස්වර්ගයෙහි, නිරයෙන් නිරයෙහි උපදිමින් දෙයානූ කපක් ඉක්මවීය.