4. පිට්ඨධීතලික ප්‍රේතවස්තු වර්ණනාව
“යං කිඤ්චාරම්මණං කත්‍වා” යන මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ ජේතවන විහාරයෙහි වැඩ වසන සමයෙහි අනේපිඬු සිටාණන්ගේ දානයක් අරභයා දේශනා කළ සේක. අනේපිඬු සිටු නම් ගෘහපතියාගේ මිනිබිරියක් වූ ළදැරියකට ඇගේ කිරිමව් තොමෝ පිටියෙන් තැනූ රුවක් දුන්නාය. මේ ඔබේ දුවය. මෙය ගෙන සෙල්ලම් කරන්නැයි කීවාය. ඇය එහි දුව යන හැඟීම ඇතිකර ගෙන ක්‍රීඩා කළාය. ඉක්බිති එක් දවසක් එය ගෙන ක්‍රීඩා කරන්නේ කිසියම් ප්‍රමාදයකින් එය බිම වැටී කැඩිණ. එ දැරිය මගේ දියණිය මියගියා යයි හැඬුවාය. ඇගේ හැඬීම ගෘහවාසී කිසිවකු විසින් සනසාලිය නොහැකිවිය. ඒ සමයෙහි ශාස්තෲන් වහන්සේ අනේපිඬු සිටුතුමාගේ නිවසේ පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. මහා සිටුතුමා ද භාග්‍යවතුන් සමීපයෙහිම සිටියේය. කිරිමව ඒ ළදැරිය ගෙන සිටුතුමන් සමීපයට ගියාය. සිටුතුමා ඇය දැක කුමක් නිසා හඬන්නේදැයි ඇසීය. කිරිමව ඒ පුවත සිටුතුමන්ට කීවාය. සිටුතුමා ඒ දැරිය ඇකයෙහි හිඳුවා, නුඹේ දුව සඳහා දානයක් දෙන්නෙමුයි කියා ශාස්තෲන් වහන්සේට කීය. ස්වාමීනි! මගේ මිණිබිරියගේ “පිටි වලින් තැනූ දියණිය උදෙසා දානයක් දෙනු කැමැත්තෙමි. හෙට ඒ දානය සඳහා පන්සියයක් භික්ෂූන් සමග ඉවසා වදාරන සේක්වා! යි ආරාධනා කළේය. උන්වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ආරාධනය පිළිගත්හ.
දෙවන දවසෙහි පන්සියයක් භික්ෂුන් සමග සිටුතුමාගේ ගෙදරට වැඩ දානය වළදා අවසන්හි, අනුමෙවෙනි බණ කියන්නේ මේ ගාථාව වදාළහ.
10. නො මසුරු තැනැත්තේ යම් කිසි අරමුණක් කොට, පෙර කළුරිය කළවුන් ද, ගෘහවස්තු ආදීන්හි අධිගෘහිත දේවතාවන් ද, නැතිනම් අනෙක් දෙව් මිනිසුන් අරභයා දානය දෙන්නේය.
11. කුවේර, ධ්‍රතරාෂ්ට, විරූපාක්ෂ, විරූළ්හ යන යසස් ඇත්තා වූ ලෝක පාලක සිව්වරම් මහරජුන් (අරභයා දන් දෙයි). ඔවුහු ද දායකයා විසින් පුදන ලද්දාහු වෙත්. දායකයෝ ද නිෂ්ඵල නොවන්නෝ වෙති.
12. මියගිය අය වෙනුවෙන් හැඬිම හෝ ශෝක වීම හෝ, විලාපකීම, නොකළයුතුය. මියගිය අයට ඒ හැඬීම විලාප කීම් ප්‍රයෝජන නොවේ. අනුවණ ඤාතීහු මෙසේ සිටිත්.
13. දෙන ලද මෙම දානය වූ කලි සඞ්ඝයා විෂයෙහි මොනවට පිහිටියාය. මේ ප්‍රේතයා හට බොහෝ කලක් මුළුල්ලෙහි හිත සුව පිණිස එවේලෙහිම පැමිණේ.
එහි යං කිඤ්චාරම්මණං කත්‍වා මඞ්ගලා දී කිසියම් එක්තරා කරුණක් අරමුණු කරගෙන, උදෙසා දජ්ජා දෙන්නේ ද, අමච්ඡරී - තමාගේ සම්පත්තියෙන් අනුන් හා සාධාරණභාවය, නොඉවසීම ලක්ෂණ කොට ඇති මසුරුකම නො මැත්තේ “අමච්ඡරී” පරිත්‍යාගශීලි බව, සිතෙහි ඇතිවන්නා වූ ලෝභාදී මසුරු මල දුරුකොට දන් දෙන්නේය යන අදහසයි. ප්‍රබ්බ පෙතෙච ආරබ්හා - පෙර මිය ගියාවූ (කිසියම්) මව්පියාදීන් උදෙසා, වත්‍ථුදෙවතා ගෘහ වස්තු ආදීන්හි අධිගෘහිත දෙවි දේවතාවුන් අරභයා යන යෙදීමයි. අථවා මොවුන්ගෙන් අන්‍ය වූ දෙව්මිනිස් ආදී යම්කිසි කෙනෙක් උදෙසා දන් දීම දක්වයි.
එහි දෙවියන් අතුරෙන් ප්‍රකට වූ සමහර දෙවි කෙනෙක් දක්වන්නේ සතරවරම් මහ දෙව්රජවරු කියා, නැවත ඔවුන් නම්වලින් දක්වන්නේ කුවෙර - ධතරට්ඨං - ආදිය කීහ. කුවේර නම් වෛශ්‍රවණය, ධෘතරාෂ්ට්‍ර ආදී අනෙක් තිදෙන ලෝක පාලක නම්. තෙ චෙව පූජිතා හොන්ති - මේ මහරජවරුන් ද, පෙර මියගිය අයද, වත්තු දේවතා ආදීන් ද, උදෙසා කරන කාර්යයක් වශයෙන් ගෞරව කිරීම් වෙත්, දායකා ච අනිප්ඵලා - යමෙක් දන් දෙත් ද ඔවුහු දායකයෝය. අනුන් උදෙසා දෙන පමණින් එය නිෂ්ඵල නොවේ. තමන්ගේ දාන ඵලයේ විපාකය තමන්ට ලැබෙන්නේය.
දැන් යමෙක් තමන්ගේ ඤාතීන් මළ කල්හි හඬත් ද, ශෝක කරත් ද වැළපෙත් ද ඒ සියල්ල අරුත් රහිතය. නිරර්ථකය. තමන්ම තැවෙන්නේම යයි දැක්වීමට - නහිරුණ්ණං වා ආදී ගාථාව කීහ. එහි රුණ්ණං හැඬිම, කඳුළු හෙළීම, සොකො - සොව, හිතේ තැවිල්ල, අවබෝධය නැතිවීම යන අර්ථයි. යාචඤ්ඤා පරිදෙවනා හැඬීමේ ශෝකයෙන් වෙනස් වූ විලාපකීම. අහෝ එකම පුතා ආදී වශයෙන් (අනන් මනන්) දෙඩවීම. පරස්පර විරුද්ධ අර්ථ ඇති කථාව - එය ද නො කළ යුතුය යන අර්ථයි. සියළු ශබ්දයන්හි විකල්පාර්ථයි. න තං පෙතස්ස අත්‍ථායා - හැඬීම, දුක්වීම, ශෝකය, වැළපීම, ආදී මේ සියල්ලගෙන්ම කළුරිය කළ තැනැත්තාට පිළිසරණක් උපකාරයක් අර්ථයක් නැත. එබැවින් ඒවා නො කළ යුතුය. එසේ වුවත් (විද්‍යාවෙන්) නුවණින් තොර වූ ඤාතීහු එසේ කරති යන අදහසයි.