3. පූතිමුඛ ප්‍රේතවස්තු වර්ණනාව
දිබ්බං සභං ධාරෙසි වණ්ණ ධාතු - මේ ධර්ම දේශනාව ශාස්තෲන් වහන්සේ වේළුවනයෙහි ලෙහෙනුන්ට අභය දුන් තැන වැඩ වසන්නේ එක්තරා “පූතිමුඛ” ප්‍රේතයකු අරබයා වදාළ සේක. අතීතයෙහි කාශ්‍යප භාග්‍යවතුන් වහන්ගේ කාලයෙහි උන්වහන්සේගේ සසුනෙහි කුල කුල දරුවන් දෙදෙනෙකු පැවිදි වී සීලාචාර සම්පන්නව සැහැල්ලු පැවතුම් ඇතිව, එක්තරා ගමක ආවාසයක සමගිව විසූහ. ඉක්බිති එක්තරා පාපී අදහස් ඇති, කේලාම් කීමෙහි ඇලුණු භික්ෂුවක් ඔවුන් වසන තැනට පැමිණියේය. තෙරුන් වහන්සේලා දෙනම පිළිසඳර කථාකොට වසන තැන් දක්වා, දෙවන දිනයෙහි ඔහු ද සමගින් ගමට පිඬු පිණිස වැඩියහ. මිනිස්සු ඒ තෙරුන් දැක ඉතා යටහත් පහත් බවින් වත් පිළිවෙත් කොට කැඳ බත් ආදියෙන් පූජා කළහ. එසේ විහාරයට පැමිණි ආගන්තුක භික්ෂුව මෙසේ සීතීය. මේ ගොදුරුගම ඉතා යහපත්ය. මිනිස්සු ද ඉතා ශ්‍රද්ධා සම්පන්නයෝය. ප්‍රණීත ප්‍රණීත වූ පිණ්ඩපාතය දෙති. මේ විහාරය ද ආවාසයද සිහිල් සෙවණින් හා මිහිරි ජලයෙන් යුක්තය. මෙහිම සුවසේ වසන්නට හැකිය. මේ භික්ෂු දෙනම මෙහිම සිටිද්දී මට පහසු විහරණයක් නොවන්නේය. අතවැසිව විසීමක් මෙන් වේ. එහෙයින් මේ තෙරණුවන් දෙදෙන ඔවුනොවුන් බිඳවා, යම්සේ ඔවුන් මෙහි නොවසන්නෝද එසේ කරමියි කල්පනා කළේය.
එක් දවසක් මහා ස්ථවිරයන් වහන්සේ අනෙක් දෙනමට අවවාද දී, තමන් වසන තැනට පිවිසියේය. කේලාම් කියන ආගන්තුක භික්ෂුව, ටික වේලාවක් ගෙවා මහ තෙරුන් වෙත එළඹ වැඳ (සිටියේය) මහතෙරුන් වහන්සේ ආයුෂ්මතින් කුමක් හෙයින් මේ නොකල්හි පැමිනියේදැයි විමසීය. එසේය ස්වාමීනි කිවයුතු කිසිවක් ඇතැයි කියා, ආයුෂ්මත්නි කියවයි, තෙරුන්ගේ අනුදැක්මෙන් මෙසේ කීය. ස්වාමීනි! ඔබගේ සහායක ස්ථවිරයෝ ඔබ හමුයෙහි මිතුරෙකු මෙන් තමන් පෙනී සිට, අනභි මුඛයෙහි (නැති තැන) සතුරෙකු මෙන් නුගුණ කියයි කීය. කුමක් කීයේ දැයි විචාළ කල්හි “මේ මහා ස්ථවිරයෝ කපටියෙක, කළ වරද සඟවන මායා ඇත්තෙක. (නැති ගුණ පෙන්වන) කුහකයෙක මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව කරන්නෙක ආදී වශයෙන් ඔබගේ අගුණ කීවේ යයි කීහ. ඇවැත්නි එසේ නොකියව ඒ භික්ෂුව මා පිළිබඳව එසේ නො කියත් ගිහි කාලයේ පටන් මගේ ස්වභාව දනියි. පුපේශලය යහපත් සිල් ඇත්තේය. ස්වාමීනි ඔබ වහන්සේ පිරිසිදු සිත් ඇති බැවින් මෙසේ සිතන්නේය. එසේ සලකන්නේය. ඒ තෙරුන් සමග මගේ වෛරයක් නැත. කුමක් හෙයින් ඔවුන් විසින් නොකියන ලද්දක් මම ඔබ වහන්සේට කියන්නෙමි ද? එය එසේ වේවා! කල් යාමකින් තමන් විසින්ම දැනගනු ලබත්වා යයි කීය. මහ තෙරුන් වහන්සේ ද පෘථග්ජන බැවින් දෙගිඩියා සිත් ඇතිව මෙසේ වන්නට පුළුවන් යයි, සැක සහිත හදවතින් යුතුව විශ්වාසය මදක් ලිහිල්ව ගියේය. ඒ බාල භික්ෂුව පළමුව මහතෙරුන් බිඳවා අනෙත් භික්ෂුවද මේ ආකාරයෙන්ම බිඳවන ලදි. ඉක්බිති මේ තෙරුන් දෙදෙන, දෙවෙනි දවසෙහි ඔවුනොවුන් කථා නොකොට පාසිවුරු ගෙන ගමෙහි පිඬු පිණිස හැසිර, පිණ්ඩාහාරය ගෙන තම තමන් වසන තැන්වලටම ගොස් වළඳා කථා මාත්‍රයකුදු නොකොට ඒ දවස එසේම වැස පහන් වූ කල්හි ඔවුනොවුන් නොදන්වාම පහසු තැන් සොයා වැඩියහ.
කේලාම් කීමෙහි යෙදුන මහණ ඉටු වූ බලාපොරොත්තු ඇතිව ගමට පිඬු පිණිස වැඩියේය. මිනිස්සු ඔහු දැක ඇසූහ. ස්වාමීනි! අනෙක් තෙරවරු දෙනම කොහේ වැඩියහුද? සැමදා රාත්‍රියෙහි ඔවුනොවුන් දබර කොට, මා විසින් දබර නොකරව්, සමගි වව්, දබරය අනර්ථකාරී යයි, මතු භවයෙහිත් දුක් උපදවන්නේ යයි, පෙර දබර කෙරුවෝ විනාශයට පත් වූහයි මා විසින් කියන ලද්දේ නමුදු, මගේ අවවාද නො පිළිගෙන කොහේද ගියාහුයයි කේලාම් කී භික්ෂුව කීහ. ඉක්බිති මිනිස්සු “ඒ තෙරුන් වහන්සේ කැමති තැනකට වඩිත්වා! නුඹ වහන්සේ අපට අනුකම්පා පිණිස මෙම ආවාසයෙහි නො කළකිරී වසත්වා”යි අයැද සිටියහ. හෙතෙමේ මැනැවැයි පිළිගෙන දින කීපයකින් මෙසේ සිතීය. සීලවන්ත වූ ද, යහපත් පැවැතුම් ඇත්තාවූ ද ඒ භික්ෂුන් වහන්සේලා දෙනම මා විසින් ආවාසය පිළිබඳ ලෝභකමින් බිඳුවන ලද්දේය. මා විසින් බොහෝ වූ ළාමක පාප කර්මයක් කරන ලද්දේ යයි බලවත් විපිලිසර භාවයෙන් මඩනා ලද්දේ ශෝක වේශයෙන් ගිලන් වී නොබෝ කලකින්ම කළුරිය කොට අවීචි මහා නරකයෙහි උපන්නේය.